තැනින් තැන එල්ලා තිබුණු පුංචි පුංචි සීනු සද්දේ මුළු ගෙදරම ගීතවත් කරමින් තිබුණා. ඒ අලංකාර සීනු නාදයට එකතුවුණු නත්තල් හීතල එක්ක කඳාන පැත්තට යන්න කියල හිතුවෙ පුංචිම පුංචි නත්තල් සීනූ දෙකක ඉමිහිරියාව එක්ක ගොඩක් දේවල් බෙදාගන්න.
හැමෝම දන්න චිලී. එෙහමත් නැත්නම් තිලංක විදූෂ පතිරණ. ඔහුව ලෝකයම දන්න ගායන ශිල්පියකු වුණාට ඔහුගේ පවුලේ සාමාජික සාමාජිකාවන්, අපේ ප්‍රේක්ෂකයන්ට සහ පාඨකයන්ට ආගන්තුකයි. අද අපි ඉන්නේ චිලීගේ ආදරණීය කැදැල්ලේ. කාලය කොච්චරනම් ඉක්මනට ගෙවිල ගියා ද කිව්වොත් චිලී දැන් දෙදරු පියෙක්. එහෙම නැත්නම් හුරුබුහුටි කොලු පැටියෙක්ගෙ සහ රෝස මල් කුමාරියකගේ තාත්තා කෙනෙක්.
ඉතිං චීලී කොහොමද නත්තල "
හැමදාම වගේ සුහද කතාව පටන් ගත්තෙ එතැනින්. නත්තල කියන්නෙම ඉතින් හිත්වල සතුටනේ. කාටවත් කරදරයක්, බාධකයක් නැති හැමෝගෙම හිත්වල හැම වෙලාවෙම නත්තල පිරිල තියෙනව කියල මට හිතෙනවා. එකිනෙකාට ප්‍රේම කිරීම තුළ තමයි මේ ලෝකය ලස්සන වෙන්නෙ.ලෝකය සතුටින් තියන්න පුළුවන් නම් ඒ තමයි පුද්ගලයෙක් ලබන ජයග්‍රහණය. කලා කරුවෙක් විදියට වගේම පුරවැසියෙක් විදියටත් මම ඒක කරලා තියෙනවා.
තාත්තගෙ කතාව හරියටම තේරුණා වගේ පුංචි රෝස මලේ සිඟිති මිමිණිල්ල.
ඒ පුංචි රෝස මලේ නම ජෝර්ජා. එයාට දැන් වයස අවුරුද්දක්. පුතා ලිතිල්ට අවුරුදු දෙකයි මාස තුනක්. මේ පුංචිත්තෝ දෙන්නා නිසා තමයි චිලීගෙ ගෙදර සුවඳින් පිරිලා ඉතිරිලා යන්නෙ. මේ බර ඔක්කොම කරට ගන්නේ රීනී.
"මේ දවස් ටිකේ ටිකක් කාර්යබහුල වුණා. නිර්මාණශීලී වැඩ කටයුතු ගොඩක් එක්ක තමයි ජීවිතය ගතවෙන්නෙ. ඒ හැමදේම අතරෙ පැටව් දෙන්න එක්ක කාලය ගතවෙනකොට වෙලාව යනවා දැනෙන්නෙ නෑ. ඒ තරමට ඒ අත්දැකීම වචනයට පෙරළ ගන්න බැහැ.
චිලී කියන්නෙ තාරුණ්‍යය වසඟ කළ ගායන තරුවක්. එහෙම කෙනෙක් තාත්ත කෙනෙක් වුණාම දැනෙන දේ කොහොමද?
මේ ඉඩ ඒ හදගැස්මට..
" තාත්තා කෙනෙක් වුණාම තමයි ඒ හැඟීම දැනෙන්නෙ. ඒක වචනයෙන් විස්තර කරගන්න බැරි අත්දැකීමක්. සමහර අපෙන් මිස් වෙච්ච දේවල් තාත්තා කෙනෙක් වුණාම දැනෙන්න, හැඟෙන්න පටන් ගන්නවා. ඒක ජීවිතයට අලුත්ම අත්දැකීමක් වගේම සතුටක්. පිරිමියෙක් තාත්තා කෙනෙක් වුණාම දැනෙන වගකීම වෙනම ලෝකයක්.දරුවො දෙන්න ලෝකයට බරක් නොවෙන උගත් බුද්ධිමත් දෙන්නෙක් කරන්න තමයි අපි දෙන්නා වෙහෙසෙන්නෙ.
සෑම තාත්තා කෙනකුටම මෙන්ම චිලීට ද ඇත්තේ සුවදායක අත්දැකීමකි.
ඊළඟට අප නවතින්නේ රීනි ළඟය. ඇයට තම දරුවන් ගැන ඇත්තේ උත්තරීතර හැඟීමකි.
" මේ ලෝකයට යහපත් දරුවෙක් තිළිණ කිරීම අම්මගේ, තාත්තගේ වගකීමක්. ඒ වෙනුවෙන් සෑම කාන්තාවක්ම කැපවෙනවා. තාත්තා කෙනෙක්ම කැපවෙනවා. ඒ කැපවීම තුළ තමයි ලෝකය අලංකාර වෙන්නෙ. අම්මා කෙනෙක් විදිහට මට පැවරුණු වගකීම අකුරටම කරනවා. ඒවගේම මම රූපලාවණ්‍ය ශිල්පිනියක්. මිනිස්සු ලස්සන කරන එක, හැඩ කරන එක තමා මගේ වෘත්තිය. දරුවන්ගේ කටයුතු එක්ක සතුටින් ඉන්නවා.
ඒ දෝර ගලන සතුට ඔවුන්ගේ සිත්වල ඉතිරී පැතිරී ඇත. අනාගතය ගැන ද කතා කළ යුතුය.
" අනාගතය කියලා එහෙම විශේෂයෙන් දෙයක් නැහැ. පවුල එක්ක සතුටින් ජීවත් වෙන්න තිබ්බනම් ඇති. ඒ වගේම මම රසිකයන් ගැන ලොකු අවධානයෙන් ඉන්නවා. ඒ අයට අලංකාර නිර්මාණ කිහිපයක් තිළිණ කරන්න වගේම මගේ පරණ ගීත ටික අලුත් කරන්නත් සැලසුමක් තියෙනවා. නව ගීත කිහිපයක් වෙනුවෙන් සූදානම්. ඒ වගේම දේවි කුසුමාසන චිත්‍රපටයේ වෙනස්ම චරිතයක් මට ලැබුණා. ඒ නිර්මාණයක් ඉතා ඉක්මනින් ජන ගත වේවි.
මේ සියල්ල අතර කාලය ගතවෙනවා.
ඔව්..
කාලය ඉක්මනින් ගතවේ. අප දැන් මේ සුකුමාල කැදැල්ලෙන් සමුගත යුතුව තිබේ.
" මං මේක අවස්ථාව කර ගන්නවා සියලුදෙනාට සුබ නත්තලක් සහ සුබ අලුත් අවුරුද්දක් කියල සුබ පතන්න."
චිලී කතාව නිමා කළා.
ආයෙමත් අපේ හඬ නැවතුණ තැන අර සුපුරුදු හීනි සීනු හඬ ඇහෙන්න පටන් ගත්තා. ඒ සිනා සීනු හඬින් මුළු ගෙදරම ආයේ පිරුණා.