ඇය ගායන ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් වගේම නිරූපණ ශිල්පිනියක්. නමින් වොෂිකා පෙරේරා වන ඇයගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ ‘සිදාදියේ සමනලියෝ’. මේ අතර වොෂිකාගේ අලුත්ම ගීතය ‘කාමරේ’ නමින් මෑතකදී එළිදැක්වුවා.
වොෂිකා, මොනවද මේ දවස්වල වැඩකටයුතු?
දැනට මාසයකට විතර කලින් මගේ අලුත්ම ගීතය, ‘කාමරේ’ එළිදැක්වුවා. මේ ගීතයේ ගී පද, තනුව වගේ දේවල් මම ම කරගත්ත නිසා එවැනි ආකාරයේ නිර්මාණ කිහිපයක් කරමු කියල ආරාධනා ලැබිල තියෙනව. ඒ වගේම මගේ යූටියුබ් චැනල් එකට දාන්නත් ගීතයක් කරගෙන යනව.
කොහොමද ‘කාමරේ’ ට ලැබෙන ප්‍රතිචාර?
මීට අවුරුදු හයකට විතර කලින් මේ ගීතය නිර්මාණය කළා. නමුත් මට තෘප්තිමත් වෙන්න පුළුවන් මට්ටමක තිබුණෙ නැහැ. ඒ නිසයි නැවතත් අලුතින් නිර්මාණය කරල මේ විදිහට එළිදැක්වුවේ. මේ වන විට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනව.
ගීතය ලිව්වෙ, තනුව දැම්මෙ ඔබමයි. සංගීතය?
ඔව්, මම ම ගීතය ලියල ඊට ගැළපෙන තනුවකුත් නිර්මාණය කළා. සංගීතය වෙනුවෙන් මම තෝරාගත්තෙ ගයාන් රැන්ඩි පෙරේරා අයියව. විශේෂයක් තියෙනව, මේ ගීතය පුරාවට වාදනය වෙන්නෙ ගිටාරය. ප්‍රකාශ් රණසිංහ තමයි ලස්සනට ඒ වැඩේ කරල දුන්නෙ.
වොෂිකාගේ ‘කාමරේ’ එළියට - වොෂිකා පෙරේරා
කාමරෙන් කියැවෙන්නෙ වොෂිකාගෙ අත්දැකීමක්ද?
මගේ අත්දැකීම් යම්කිසි ප්‍රමාණයක් මේ ගීතයට එකතුවෙලා තියෙනව. පූර්ණ වශයෙන්ම මගේ අත්දැකීමක් නෙමෙයි. අහන, දකින මේ හැමදේකම එකතුවක් කිව්වොත් හරි.
ප්‍රසංග වේදිකාවට ලැබෙන ආරාධනා?
ප්‍රසංග වේදිකාව සඳහා ලොකුවට ආරාධනා ලැබෙන්නෙ නැහැ වගේම එළිමහන් ප්‍රසංගවලට මමත් එතරම් කැමති නැහැ.
ඔබ ටෙලි නාට්‍යයක ගීතයක් ගායනා කළා?
ඔව්. ඒ ටෙලි නාට්‍යය වෙනුවෙන් ගීත තුනක් හතරක් පමණ ගායනා කළා. ඒක ඉදිරියේදී විකාශය වෙයි කියල බලාපොරොත්තු වෙනවා.
වොෂිකා කොහොමද සංගීතයට යොමු වෙන්නෙ?
මගේ ගෙදර අය කියන විදිහට මට කතාකරන්න පුළුවන් වුණ කාලෙ පටන්ම මම ගීත ගායනා කළාලු. ටිකෙන් ටික ලොකු වෙනකොට ඔවුන්ටත් දැනිල තියෙනව ගායනයට මගේ හැකියාවක් තියෙනව කියල. ඒ අතර තාත්තගෙ යහළුවෙක් මාව රෝහණ වීරසිංහ සර්ගෙ පංතියකට යොමු කරනව. පාසලෙත් සාමාන්‍ය පෙළ දක්වා සංගීතය හදාරනව. පාසල් අතර ගායනා තරගවලටත් සහභාගි වුණා. අනෙක් විෂයයන් ඉගෙනගන්නවාට වඩා මගේ කාලය ගෙවුණෙ සංගීත කාමරේ. ඒ විදිහට තමයි මම ගායනයට යොමු වෙන්නෙ.
තවමත් වැඩි ඉඩක් දෙන්නෙ සංගීතයටද?
ඔව්, මම කැමතියි සංගීතය පැත්තෙන්ම ඉදිරියට යන්න. ඒ නිසා සංගීතය වැඩිදුර හදාරන්න කාලය වෙන්කරනව. ඒ වගේම මේ දවස්වල ගිටාර් එක ප්ලේ කරන්නත් ඉගෙන ගන්නව.
පොඩිකාලෙ හීනය වුණේ?
ඇත්තටම ගොඩක් ළමයි ඩොක්ටර්ස්ල, ටීචර්ස්ල වෙන්න හීන දැක්කත් මට එහෙම හීනයක් තිබුණෙ නැහැ. මම පුරුදු වුණේ ඇහෙන ගීත ගායනා කරන්න. ඒකත් මගේ හීනයක් නොවුණත් නොදැනීම මම යොමු වුණේ කලාව පැත්තට.
ඔබ ටෙලි නාට්‍යයකත් රඟපෑවා?
‘සිදාදියේ සමනලියෝ’ කියන්නෙ මම මුලින්ම රංගනයෙන් දායක වුණ ටෙලි නාට්‍යය. ඒක මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණා කිව්වොත් නිවැරදියි. මොකද මම රංගනය ගැන ඉගෙනගත්ත කෙනෙක් නෙමෙයි. මට ඒ චරිතය ලැබුණෙත් මියුසික් නිසා. මේ චරිතය වෙනුවෙන් සිංදු කියන්න වගේම ගිටාර් ගහන්න පුළුවන් ගැහැනු ළමයෙක් වුවමනා වෙලා තිබුණා. ඒ වෙනුවෙන් තමයි මට අවස්ථාව ලැබුණෙ.
ප්‍රවීණ රංගන ශිල්පිනියන් අතර ඔබත් ප්‍රධාන චරිතයකට පණ පොවනව?
මේ කතාවෙ ප්‍රධාන චරිත හයත් තිබුණා. ඒ අතරින් කෙනෙක් මම. ඇත්තටම ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් එක්කයි මට වැඩකරන්න තිබුණෙ. යශෝධා විමලධර්ම අක්කවත් ආදරෙන් මතක් කරන්න ඕන මේ වෙලාවෙ. මම ආධුනිකයෙක් කියන දේ මටවත් දැනෙන්න ඔවුන් ඉඩ දුන්නෙ නැහැ.
තවත් ටෙලි නාට්‍යයකට රංගනයෙන් දායක වුණා?
ඔව්, චාමර ජනරාජ් පීරිස්ගෙ ‘අමුතු දීගේ’ ටෙලි නාට්‍යයටත් මම රංගනයෙන් දායක වුණා. මේ වන විට කොටස් කිහිපයක් රූගතකිරීම් කරල තියෙනව. බොහෝ විට ඉදිරියේදී විකාශය වෙයි.
වොෂිකා දිගටම රඟපායිද?
මම එහෙම හිතල නැහැ. නමුත් මම ආසයි ලෙහෙසි දෙයක් කරනවාට වඩා මහන්සියෙන්, කැපවීමෙන් කරන්න පුළුවන් චරිතයකට. මගේ කලා ජීවිතයේ මුල් තැන දීල තියෙන්නෙ සංගීතයට.
පවුලේ විස්තර කොහොමද?
මම පදිංචිවෙලා ඉන්නෙ මත්තෙගොඩ. අපේ පවුලේ ඉන්නෙ මමයි, අම්මයි, තාත්තයි, නංගියි.
වොෂිකා මොන වගේ කෙනෙක්ද?
මම මොන වගේ කෙනෙක්ද කියල මටවත් කියාගන්න බැහැ. මම කැමතියි පාඩුවේ ඉන්න. නමුත් එහෙමම ඉන්නත් බැහැ.
කොන්සර්ට් එකක් කරන්නත් ආසාවක් තියෙනව?
ඔව්, නමුත් ඒකට මම තවම අලුත් වැඩියි. ඒ වගේම ලොකු වියදමක් යනව. මගේ නිර්මාණ ගොඩක් තියෙන්න ඕන. මේ දේවල් ටිකෙන් ටික සම්පූර්ණ කරගෙන දවසක මගේම කොන්සර්ට් එකක් කරන්න හිතාගෙන ඉන්නව.
සංගීත කණ්ඩායමකට සම්බන්ධ වෙන්න අදහසක් තියෙනවද?
දැනට නම් එහෙම අදහසක් නැහැ. නමුත් මට කතාකරනව සම්බන්ධ වෙන්න කියල. එහෙම වුණොත් මගේ නිදහස සීමාවෙන නිසා මේ විදිහට ඉන්න තමයි අදහස් කරන්නෙ.
රූ රැජන තරගවලටත් සහභාගි වුණා?
ඔව්, මම මිස් ශ්‍රී ලංකා ෆෝ මිස් අර්ත් තරගයට සහභාගි වෙලා අවසන් දොළොස් දෙනා අතරට තේරීපත් වුණා. එතැනදි මිස් ටැලන්ට් අංශයේ ජයග්‍රහණය හිමිවුණේ මට.
රියැලිටි තරග ගැන කතා කළොත්?
මම මුලින්ම ඩී්රම් ස්ටාර් තරගයට ඉදිරිපත් වුණා. ඉන් පස්සෙ සියත නාළිකාවෙන් ඉදිරිපත් කළ වොයිස් ඔෆ් ශ්‍රී ලංකා තරගයට සහභාගි වුණා. එහිදී මගේ ගීතයක් බොහොම ජනප්‍රිය වුණා. අවසාන වශයෙන් සිරස නාළිකාවේ වොයිස් තරගයටත් ඉදිරිපත් වුණා.
මහේෂ් එදිරිසිංහ