නදීක වික්‍රමසිංහ කියන්නේ මේ දිනවල ජනප්‍රිය චරිතයක්. ඔහු යොහානි සමග ගායනා කළ ‘හේතු’ මේ දිනවල යූටියුබ් අවකාශය තුළ දැඩි කතාබහට ලක්වෙලා තියෙනවා. සංගීතයෙන් දිගු ගමනක් යන්න සැරසෙන නදීක සමග අපි පුංචි සංවාදයක යෙදුණා.
පාසල් කාලයෙන්ම මේ කතාව පටන් ගත්තොත් ?
මගේ සම්පූර්ණ නම නදීක වික්‍රමසිංහ. පාසල් ගියේ කොළඹ ඩී. එස්. සේනානායක මහා විද්‍යාලයට. සංගීතයට යොමුවුණේ පවුලේ ආභාසයත් එක්ක. මගේ සීයා ගුවන්විදුලි සංස්ථාවේ සංගීත ඒකකයේ වාදකයෙක් විදිහට කටයුතු කරලා තියෙනවා. පාසල් යන කාලේ මම ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට තමයි කටයුතු කළේ. අපේ තාත්තාගෙත් මගෙත් එකම හීනය වුණේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට හරි, කලාකරුවෙක් විදිහට ඉදිරියට යන එක. පාසල් කාලයේදී ක්‍රිකට් ගහන ගමන් සංගීතයත් කරගෙන ගියා.
පාසල් කාලයෙන් පසුව තුරුණු ශක්ති වේදිකාවේදී ලංකාවෙන් පළමුවැනියා වුණු ශෂිකා නිසංසලා අක්කා මට මුණගැසුණා. ඊට පසුව 2203 වසරේ දී තරුණ සේවා රඟහලෙන් ඉදිරිපත් කළ තරුණ ආධුනික ගී තරගයට ඉදිරිපත් වෙලා කොළඹ දිස්ත්‍රික්කයෙන් පළමුවැනියා වුණා. ඊට පසුව ක්‍රිකට් ජීවිතය මඟහැරිලා කලා ජීවිතයට එකතු වෙනවා. එතැනින් පසුව තරු ඉකිබිඳින රැයේ කියලා ගීතය මට හම්බවෙනවා. ඒ ගීතයත් එක්ක තමයි මගේ ගායන ජීවිතය ආරම්භ වෙන්නේ.
සංගීතය හදාරලා තියෙනවා ද?
ඔව්. මම දීපිකා සෞන්දර්ය ශාලිකාවේදී වසර ගණනාවක් සංගීතය හැදෑරුවා. ඊට පසුව ගීත කිහිපයක් කළා. ඔය අතරේ පුංචි කලකිරීමක් හින්දා සෑහෙන නිහඬව හිටියා. අන්තිමේ මම වෘත්තියෙන් නිර්මාණශිල්පියෙක් විදිහට වැඩකළා. ඒ හින්දාම මට රටවල් ගණනාවකට යන්න හැකිවුණා. අන්තිමේ මම ඇමෙරිකාවේ පදිංචියට ආවා.
එතකොට සංගීතය අතහැරියා ද?
නැහැ. මාත් එක්ක එදා ඉඳලා හිටපු අය කිව්වා ගායනය අතහරින්න එපා කියලා. ඔය අතරේ අලුත් ගීත කිහිපයක් නිර්මාණය කරන්න නවකයන් කිහිපදෙනෙක් එකතු කර ගත්තා.
ඔබේ අලුත් ගීතය ‘හේතු’ ගැන කතා කළොත් ?
චමත් සංගීත් තමයි මගේ නවතම ගීතය සංගීතවත් කළේ. එතකොට මේ ගීතය රචනා කළේ අචල සොලමන් සහ දුලාන් ඒ. ආර්. එක්ස්. මගේ හීනයක් තිබුණා යොහානි එක්ක ගීතයක් කරන්න.
යොහානිට කතා කළහම මොකද කිව්වේ ?
මම ඇයට මුලින්ම කතාකළාට පස්සේ ඉතාම කැමැත්තෙන් මගේ ආරාධනාව භාර ගත්තා. ඉතාමත් හොඳ සාර්ථකත්වයක් ඇය මට මේ ගීතය වෙනුවෙන් ලබාදුන්නා.
‘හේතු’ ට ලැබෙන ප්‍රතිචාර ?
හේතු ගීතයට නොහිතපු විදිහට ප්‍රතිචාර ලැබෙනවා. මට ඕනෑවුණේ මේ ගීතයටත් මගේ සංගීත ගමනටත් නැවත හොඳ ආරම්භයක් ලබාගන්නයි. ඒකට මට දැන් ලැබෙමින් පවතිනවා. ප්රේක්ෂකයන්ගෙන් හොඳ ආදරණීය ප්‍රතිචාර අදටත් ලැබෙනවා. ආදරණීය ප්‍රේක්ෂකයන් තමයි මගේ මේ ගමනට ලොකුම හයියක් වෙන්නේ.
හේතු ගී රචනාව ගැන කතා කළොත් ?
ගීතයේ රචනාව තුළ අලුත්ම සංගීතය මුසුවුණාට, මෙහි පදපේළි කිහිපයක් තියෙනවා ආදරය ඉතාමත් ආදරණීය ලෙස දකින. ආදරය කරන කෙල්ලෙක් අවසාන මොහොතේ එයාට දැනෙන බොහොම පිරිසිදු හැඟීම ඉදිරිපත් කරලා තියෙනවා. ඇත්තටම කිව්වොත් ඒ කාරණාව මෙහි සංගීතයෙන් ඉදිරිපත් කරන්න ඕනෑ වුණා.
ගීතයේ රූපරචනාව සිදුකළ ආකාරය ගැනත් කතා කළොත්?
මෙම ගීතයේ රූපරචනාව සිදුකළේ ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර දී. ඊට පසුව මෙහි ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් කරන්න ඕනෑ වැඩකටයුතු වෙනුවෙන් යොහානි ඇමෙරිකාවට ආවා. ඇත්තටම මේ ගීතය වෙනුවෙන් යොහානි මට ලොකු සහයෝගයක් ලබාදුන්නා. ඇත්තට ම යොහානි අපේ රට ලෝකයට අරගෙන ගිය දක්ෂ ගායිකාවක්. මේ වෙලාවේ මම යොහානිව ආදරණීයව මතක් කරනවා.
තවත් අලුත් ගීත කිහිපයක් නිර්මාණය කරනවා ද?
එළැඹෙන ජනවාරියේ මගේ අලුත්ම ගීත දෙකක් එළිදක්වන්න හිතාගෙන ඉන්නේ. එක ගීතයක් සංගීතවත් කරලා තියෙන්නේ යසස් මැදගෙදර. අනෙක් ගීතය නිමේෂ් කුලසිංහ කරලා තියෙන්නේ. ඒත් එක්කම අපි ඇමෙරිකාවේ ප්‍රසංග කිහිපයක් කරන්නත් සැලසුම් කරලයි තියෙන්නේ. ඒකට මම විතරක් නෙමෙයි මාත් එක්ක යොහානිත් එකතු වෙනවා. ඒ ප්‍රසංගයට මගේ ගීත වගේම යොහානිගේ ගීතත් එකතු වෙනවා.
සංගීතය ගැන මොකද හිතෙන්නේ ?
සංගීතය කියන්නේ හරියට විශ්ව ලෝකයක් වගෙයි. කොහේද කොතැනද හරි තැන කියන එක අපිට හොයාගන්න බැහැ. ඉතින් ඒ වගේ සංගීතයක් මගේ යූටියුබ් නාලිකාව හරහා කරන්න තමයි උත්සාහ කරන්නේ. එක එක වයස් කාණ්ඩවලට අවශ්‍ය ගීත කිහිපයක් කරන්න සැලසුම් හදලා තියෙනවා?
මම ඉගෙන ගත්තේ ක්ලැසිකල් සංගීතය. මගේ සංගීත ගමනේ මුල් කාලයේදී හිපොප් සංගීයට බර නිර්මාණ කිහිපයක් තමයි එළිදැක්වූයේ. නමුත් මගේ සංගීත ගමනේදී මම හැදෑරූ ක්ලැසිකල් සංගීතය තුළින් ලංකාවේ හිටපු දැවැන්තයන් වගේම ප්‍රවීණයන් සමගත් නිර්මාණ කරලා තියෙනවා. එහිදී මට ගී තනු නිර්මාණයෙන් ආචාර්ය රෝහණ වීරසිංහයන්, වික්ටර් රත්නායකයන්, නවරත්න ගමගේ, නිහාල් ගම්හේවා, ජයසිරි අමරසේකර, රංජිත් ප්‍රේමවීර, මහින්ද බණ්ඩාර දායක වුණා. ඔය අතරේ මම ප්‍රවීණ ගීත රචකයන් වන කුලරත්න ආරියවංශ, රත්න ශ්‍රී ගමගේ, බන්දුල නානායක්කාරවසම්, කුමාරදාස සපුතන්ත්‍රී, යමුනා මාලනී පෙරේරා, කැලුම් ශ්‍රීමාල්, ශෙහාන් ගලහිටියාව සහ ආරාධනා ඒකනායක වැනි දැවැන්තයන් සමගත් ගීත ගණනාවක් නිර්මාණය කරලා අවසන්. ලබන වසරේ අවසන් භාගයේදී එම ගීත එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
අද කාලේ බිහිවන නිර්මාණ ගැන මොකද හිතන්නේ ?
වර්තමානයේ ඉතාමත් හොඳ නිර්මාණ බිහිවෙනවා. අපි හැමදේම නිර්මාණය කරන්න ඕනෑ අපේ දියුණුවන අලුත් ලෝකයක් එක්කයි. අපේ කියන සංගීතය රැකගෙන තමයි නව සංගීතයත් එක්ක ලෝකය ඉදිරියට යන්න ඕනෑ. අනිවාර්යයෙන්ම අපේකමට අපි ගරු කරන්න ඕනෑ.
යොහානි එක්ක හේතු හැදුවේ හිට් වෙන්න බලාගෙන ද?
හේතු නිර්මාණය කළේ ටේරන්ඩින් වෙන්න බලාගෙනතවත් මිලියන ගණනාවක වීව්ස් බලාගෙනවත් නෙමෙයි. මට ඕනෑවුණේ වෙනස් වැඩක් කරන්න. අනික මම රැල්ලට වැඩ කරන කෙනෙක් නෙමෙයි. ඒ වගේම මට කලබලයක් නෑ. ඒකයි මම බොහොම හෙමින් ඉවසීමෙන් මේ ගමන යන්නේ. මට තරගයකුත් නැහැ. මොකද මම මේ ලෝකයේ සොබාදහම කියන එක විශ්වාස කරනවා. සොබාදහමත් එක්ක මේ පොළොවේ පයගහලා තමයි ජීවත්වෙන්නේ. සොබාදහම විසින් අපිට සියලු වැඩකටයුතුවලට කාලය නිර්මාණය කරලා දෙනවා. සොබාදහමට උදව් කළොත් අපේ ජීවිතවලට වරදින්නේ නැහැ.
දිනේෂ් විතාන