නා නා විධ චරිත හරහා විසිහය වසරක් පුරාවට සිනමාපට හතළිහකට වැඩි ප්‍රමාණයකින් ඔබ හමුවට ආ අර්ජුන කමලනාත් මේ දිනවල අකිල සඳකැළුම් අධ්‍යක්ෂණය කරනු ලබන හදගැස්ම සිනමා නිර්මාණයේ නිර්වාන් ලෙසින් ඔබ හමුවට එනවා. ඔය අතරේ හදගැස්ම ඉසුරු ෆිල්ම් වෙනුවෙන් නිෂ්පාදනය කිරීමට ද අර්ජුන මුලපිරුවා. වසර හතක දීර්ඝ නිහැඬියාවකට පසුව නිෂ්පාදනයෙන් වගේම රංගනයෙන් යළි එකතුවීම ගැන අර්ජුන මීවිතට කීවේ මෙවැන්න
හදගැස්මේ නිර්වාන්ට ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද?
මගේ චිත්‍රපටයක් තිරගත වෙන්නේ අවුරුදු හතකින්. මොකද මම 2018 වසරේ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා අධ්‍යක්ෂණය කළ ඝරසර්ප ඉසුරු ෆිල්ම්ස් වෙනුවෙන් නිෂ්පාදනය කළා. මම එහි රංගනයෙන් දායකවුණේ නැහැ. ඊට කලින් මම රංගනයෙන් දායකවුණේ කුසල් කියන චිත්‍රපටයේ. ඉතිං ඒකෙන් පස්සේ මම නළුවෙක් විදිහට ආපහු එළියට ආවේ හදගැස්ම චිත්‍රපටයෙන්.
මගේ රංගන ජීවිතයේ දෙවැනි ගමන පටන් ගත්තේ 2023 වසරේ. ඒ ලාල් ප්‍රියදේව අධ්‍යක්ෂණය කරපු ‘නුහුරු වෑයම’ කියන චිත්‍රපටයෙන්. ආපහු සුරංග ද අල්විස් අධ්‍යක්ෂණය කළ කිඩ්නැප් චිත්‍රපටයත් තිරගත වෙන්න තියෙනවා. ඒවාට කලින් හදගැස්ම ඉක්මන් වුණා.
හදගැස්ම හදිසියේ තිරගත කළේ ඇයි ?
ඊ. ඒ. පී. මණ්ඩලයේ ගැප් රිලීස් කියන රාමුවෙන් තමයි මේක තිරගත කළේ. ඔවුන්ගේ ආරාධනාවක් ලැබුණා දින හතළිහක් තියෙනවා කැමැති නම් දාන්න දර්ශන වාර දෙකක් දෙන්නම්, කියලත් කිව්වා. අද කාලේ චිත්‍රපටයක් දුවන්න දින හතළිහක් ඇතිනේ. අපිට ආරාධනාව ලැබිලා සතියක් ඇතුළත තමයි චිත්‍රපටය තිරගත කළේ. ඒක ලොකු අභියෝගයක්. හිතුවට වඩා ප්‍රතිචාර හොඳයි. මොකද ඡන්දයක් තියාගෙන, කඨින පිංකම් තියාගෙන, මහා වර්ෂාවක් මැද්දේ මේ යන ගමන ගැන ඇත්තටම සන්තෝෂයි. මොකද ප්‍රේක්ෂකයෝ අපිව බේරාගෙන තියෙනවා.
තිරයට එන්නේ අවුරුදු හතකින් නේද?
හැමෝම හොඳ තමයි කියන්නේ. මම දන්නේ නැහැ මූණට එහෙම කියලා තැන තැන බණිනවාද කියලා. දැනට නම් හැමකෙනාම නිර්වාන් ගැන හොඳ තමයි කියන්නේ.
කොහොමද අලුත් අත්දැකීම?
මම නිෂ්පාදනය කරපු ඝරසර්ප චිත්‍රපටයට මට හම්බවුණා හොඳම නිෂ්පාදක සම්මානය. ඊට අමතරව මේ චිත්‍රපටයට සම්මාන රැසක් ලැබුණා. ඔය අතරේ ඝරසර්ප අරගෙන රටවල් දහයකට විතර ගියා. මේ ඔක්කොම බැලුවහම මට දැන් අතහැරලා දාන්න ඕනෑ කියන හැඟීමකුත් ආවා. අනික මගේ කොන්දේ අමාරුවකුත් ආවා. ඊට පසුව තමයි සිනමාවෙන් අයින්වුණේ.
පසුගිය කාලයේ පවත්වාගෙන ගිය සිනමාශාලාවලට මොකද වුණේ?
කොරෝනා වසංගතයත් එක්ක සිනමාශාලා දෙක වැහිල ගියා. ඊට පසුව ආර්ථික අරගල ආවා. මම නිකං හිටපු කාලයේ මේ රටේ බොහෝ පරිවර්තන යුගයක් ඇතිවුණා. අවුරුදු දෙකක් විතර කොවිඩ්, ඊට පස්සේ ආර්ථික අර්බුද. මේ සියල්ල සමනයට පත්වෙලා 2022 වසරේ අවසන් කාලයේ ලාල් ප්‍රියදේව, අකිල සඳකැළුම්, රජිත හිරාන් වගේ අයගෙන්
ආරාධනාවක් ආවා ආපහු කේෂ්ත්‍රයට එන්න කියලා. ඔයා නැති එක මේ වෙලාවේ මාර පාඩුවක් කියලා කිව්වා. ඊට පස්සේ නිෂ්පාදකවරු මාත් එක්ක පස්දෙනෙක් එකතු කරගෙන නුහුරු වෑයම කළා.
හදගැස්ම නිර්මාණය වුණේ කොහොමද?
අකිල ආව මාව හොයාගෙන.
මට ඔහු පිටපතක් ගැන කිව්වා. ඒක අකිලගේ පළමු චිත්‍රපටය. මම නළුවෙක් විදිහට අකිලව දන්නවා වුණාට ලොකු හිතවත්කමක්, සම්බන්ධයක් තිබුණේ නැහැ. ඒ වුණාට ඔහුට ගෞරවයක් ආදරයක් තිබුණා. ඊට පස්සේ මහාචාර්ය සාගර කරුණාතිලක, සිරිල් රාජපක්ෂ, රංජිත් මහවිතාන කියන නිෂ්පාදකවරු තිදෙනා වගේම මම අකිල, සම්පත්, දිනූෂ යන සියලුම දෙනා එකතුවෙලා ඉසුරු ෆිල්ම්ස් වෙනුවෙන් හදගැස්ම නිෂ්පාදනය කළා. නොයෙක් බාධක, අභියෝග මැද චිත්‍රපටය ඉක්මනටම තිරගත කරන්නත් හම්බවුණා. දැන් ආපහු සිනමාව අගේ වෙලා එහි ප්‍රචාරණ වැඩවලට එහෙ මෙහෙ දුවනවා.
රජිතගේ අලුත් නිර්මාණයකට සම්බන්ධ වුණා නේද?
ඔව්. රජිත හිරාන් අධ්‍යක්ෂණය කරන ‘ඇටෑක්’ කියන අලුත්ම චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා. මේක රජිත හිරාන් අධ්‍යක්ෂණය කරන දෙවැනි චිත්‍රපටය. මෙහි මම, නිලූෂි පවන්යා, තුෂිනි ඇතුළු විශාල නළු නිළියන් ප්‍රමාණයක් රංගනයෙන් දායක වෙනවා. චිත්‍රපටයෙන් භාගයක් ජපානයේ තමයි රූගත කිරීම් සිදුකළේ. ආපහු මේ මාසයේ අන්තිම ලංකාවෙ රූගත කිරීම් ආරම්භ කරනවා. දැන් ආපහු පූර්ණකාලීනව කලාකරුවෙක් විදිහට කාලය ගතවෙනවා.
දැන් දිගට රඟපාන අදහසේ ද ඉන්නේ?
ඇඟේ හයිය තියෙනකම් කලාවේ ඉන්නවා. දැන් වෙන කරන්න දෙයකුත් නැහැ.
සිනමාශාලා කරන වැඩේ අත්හැරියාද?
කොරෝනා වසංගතයත් එක්ක තමයි සිනමාශාලා දෙක වහලා දැම්මේ. ඒ ඔක්කොම මගේ හෝල් නෙමෙයි, අනුන්ගේ හෝල්. කුලියට තමයි මම කරගෙන ගියේ. අවුරුදු එකහමාරක් තිස්සේ කුලිය ගෙවන්න ක්‍රමයක් තිබුණේ නැහැනේ. සමහර තැන්වලින් කුලිය අඩුකරන්නත් කැමැති වුණේ නැහැනේ. ඔවුන් මස් රාත්තලම ඉල්ලුවා. මටත් ඉතිං ආදායමක් නැතිව ගෙවන්නත් බැහැ. කොවිඩ් එකත් එක්ක ඔක්කොම වුණා. ණය කන්දක් විතරයි අන්තිමට ඉතුරු වුණේ. ඒ හින්දා සිනමාශාලා කරන වැඩේ අතහැරියා. දැන් ඒවාට ගත්තු ණය හෙමින් හෙමින් ගෙව ගෙවා ඉන්නවා.
හදගැස්ම මෙච්චර ඉක්මනින් තිරගත කරන්න ලැබීම ගැන මොකද හිතන්නේ?
මම හිතන්නේ මගෙත් වාසනාව. අකිලගෙත් වාසනාව. මම රංගනයෙන් දායක වුණු කිඩ්නැප්, නුහුරු වෑයම තියෙද්දී තමයි හදගැස්ම තිරගත කිරීම් ආරම්භ වුණේ. මගෙත් එක්ක මෙහි ශාලිකා, නියෝමි රංගනයෙන් දායකවෙනවා. මම තමයි මෙහි සිනමා නළුවෙක්ට ඉන්නේ. මගේ දෙවැනි වටය පටන් ගන්න සොබාදහම විසින්ම හදගැස්ම ඉක්මනට තිරගත කිරීම සිදුකරලා දුන්නා.
දිනේෂ් විතාන