ඔහු ලාංකික කලා ක්ෂේත්‍රය තුළ තම අනන්‍යතාව තහවුරු කළ කලාකරුවෙක්. රංගනයෙන් මෙන්ම ගායනයෙන්ද විසල් දස්කම් දක්වන මොහු ප්‍රේක්ෂක සන්තානය කැලඹූ ආදරණීය කලාකරුවෙක්. හදගැස්ම හා එක් වන්නේ ප්‍රවීණ රංගන ශිල්පී සහ ගායක සජිත අනුත්තර ඇන්තනි.
ඔබ නිවේදනයෙන් එක්වන නවතම වැඩසටහන ‘ජාන’ එතැනින්ම අපි මේ කතාබහ ආරම්භ කරමු?
මම නිවේදක භූමිකාවට නැවතත් ප්‍රවිශ්ට වුණේ විශාල කාලයකට පසුව. මම මීට පෙර නිවේදකයෙක් ලෙස සිටි ඔෆ් ඩාන්ස්, සරිගම ක්‍රොස් ඕවර් වගේ වැඩසටහන්වලට සහභාගි වුණාට පසුව විශාල කාලයක් මම නිවේදනයෙන් ඈත් වී සිටියා. මට මේ වැඩසටහනේ තිබෙන සංකල්ප ගැන ලොකු ආශාවක් ඇති වුණා. චින්තක ගම්ලත් කියන්නේ ලංකාවේ ඉතා විශිෂ්ට වැඩසටහන් නිර්මාණය කළ නිෂ්පාදකයෙක්. මා නොවන මම,
ලෙය සහ ළය වගේ වැඩසටහන්ද ඒ අතර වෙනවා. ජාන උරුමය ගැන හරි ආඩම්බරයෙන් කතා කරන අවකාශයක් නිසා මම මෙයට ආශක්ත වුණා. ජානයේ මුල් උරුමක්කාරයාගේ පසු පරම්පරාව ගැන තමයි මෙහි කතා කරන්නේ. ඒ නිසා ඒ මුල් උරුමක්කාරයන් ගැන විශාල හැදෑරීමක් කරලා තමයි මම මේ වැඩ සටහනට එක්වෙන්නේ. මමත් ජාන උරුමයක් තිබෙන කෙනෙක් නිසා මටත් ඒ ගැන ආඩම්බරයි.
මේ දිනවල විකාශය වන පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යයේ කෙවින්ගේ චරිතය ගැන මොකද හිතෙන්නේ?
ශිවා මාමා කියන්නේ මගේ ටෙලිනාට්‍ය කලාවේ පියා. මම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට එන්නේ බොහීමියානුවා ටෙලිනාට්‍ය හරහා. මාව ජනතාව අතරට ගොඩක් රැගෙන ගියේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සරා කියන චරිතය. ඉතින් ඔහුගේ අලුත් වැඩේ තමයි පාට කුරුල්ලෝ කියලා කියන්නේ. කෙවින් ඩී ෆොන්සේකා කියන්නේ හරි වෙනස් චරිතයක්. සල්ලිකාර තාත්තලට ඉන්න යම් පන්තියක පරපුරක් නියෝජනය කරන සල්ලාල, මුරණ්ඩු චරිතයක් තමයි කෙවින් කියන්නේ. මේ වගේ චරිත තාත්තලගේ අඩි පාරේ යන්නේ නැහැ. මොනතරම් බලපුළුවන්කාරකම් තිබුණත් ඇතැම් අත්දැකීම්වලට මිනිස් ජීවිත වෙනස් කරන්න පුළුවන් කියලා මේ කතාවෙන් අපිට කියා දෙනවා. මේ චරිතයට මම ආසයි ඉස්සරහට බලමු මොකක් වෙයිද කියලා.
ලංකාවේ මෙගා ටෙලිනාට්‍ය කලාව පිළිබඳව බොහෝ දෙනෙක් විවේචන එල්ල කරනවා මේ ගැන මොකක්ද සිතෙන්නේ?
ඕනෑම කලාවක විවිධ ෂානර තිබෙනවා. ඒ ඒ ෂානරයන්ට ආදාළ නිර්මාණකරුවන් සහ රසිකයන් සිටිනවා. එහෙම තමයි ඒ කලාවන් පවතින්නේ. මේ ලෝකයේ පරමාදර්ශී ටෙලිනාට්‍ය කියලා ජාතියක් නැහැ. මෙගා කියන නම වුණත් වැරැදියි. දෛනික ජීවිතයේ වැඩපළ ඉවර කරලා ගෙදර ඇවිත් සරල රසවින්දනයක් සහිත නිර්මාණයක් රසවිඳිනවා මිසක සංකීර්ණ නිර්මාණ බලන්න මොළය වෙහෙස වන්න රසිකයන් කැමැති නැහැ. දෛනිකව ඒ සරල වින්දනය ලබන්න, කැමැති පිරිසක් සිටිනවා ඔවුන්ට එය අවශ්‍යයි. මෙගා හොඳ නැහැ කෙටි ඒවා හොඳයි කියලා එකක් නැහැ. ඒවා තිබෙන්නේ එක එක අවශ්‍යතා සපුරා ගන්න.
සූරිය අරණ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය සිදු කළ චන්න දේශප්‍රිය ‘දුස්රා’ සිනමාපටයේ අධ්‍යක්ෂවරයා ලෙස ඔබට හමුවෙනවා. කොහොමද මේ දුස්රා පන්දුවට ඔබ බැට් කළේ?
චන්න දේශප්‍රිය කියන්නේ මට වැඩිපුරම අත්දැකීම් තිබෙන කැමරා අධ්‍යක්ෂවරයා. මගේ අප්පච්චි අධ්‍යක්ෂණය කළ වගේම රඟපෑ බොහෝ සිනමාපට කැමරා අධ්‍යක්ෂණය කළේ ඔහු. ඇඩ්‍රස් නැහැ, එකගෙයි සොකරි වැනි සිනමාපටවලට ඔහු සිය දායකත්වය සැපයූවා. ඔහු අපිට ඉතාම සමීප පුද්ගලයෙක්. මෙය තමයි ඔහුගේ ප්‍රථම ස්වතන්ත්‍ර නිර්මාණය. එහි රඟපාන්න ලැබීම මට පුදුමාකාර අත්දැකීමක් වුණා. පුංචි කාලේ ඉඳන් චන්න මාමාව දන්න නිසා සහ හුරු නිසා හරි ළඟයි. අධ්‍යක්ෂවරයා මම ගැන දන්න නිසාම ඔහුට අවශ්‍ය විධියට හරි පහසුවෙන් හැසිරුවා. ඔහු ලංකාවේ කැමරාකරණයේ දැවැන්තයෙක්. කැමරා ඇසෙන් රූප ගොඩනැඟීම පිළිබඳව විශාල දැනුමක් ඔහුට තිබෙනවා. ඔහු සමඟ වැඩ කිරීමට ලැබීම මා ලද භාග්‍යයක්.
චරිතයක් කරන්න කලින් ඒ චරිතය කිරීමට අවශ්‍ය පුහුණු වීම සමඟම ඒ චරිතය ගොඩනැඟෙන්න පොතපත කියැවීම ලෝකයේ එවැනි චරිතයක ස්වභාවය වගේ දේවල් ඔබ අධ්‍යයනය කරනවාද?
මම ආස කරන විධියට චරිතයකට මහන්සි වෙන්න හැඩගැහෙන්න ලැබෙන්නේ නැහැ. අද අපේ රටේ කලාකරුවන්ට එහෙම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ගොඩක් අය මම චරිතයේ ගිලිලා ඉන්නේ මම නිකන් ඉන්න විටත් ඒ චරිතයේ දේවල් කරනවා වගේ බොරු කතන්දර කියනවා. අපේ පරම්පරාවට වඩා අප්පච්චිලාගේ පරම්පරාවේ නළුවෝ නිළියෝ චරිතයකට විසල් කැපවීමක් කළා. චිත්‍රපටයක චරිතයක් වෙනුවෙන් මම මාස හයක වගේ ප්‍රමාණයක් කැපවෙනවා. පිටපත් කියවීම, ඒ චරිතයට අදාළ කුසලතා ගොඩනඟා ගැනීම වැනි දෑ සඳහා මම ඒ කාලය වෙන් කරනවා. ගාඩි සිනමාපටයේදී මම නිරන්තරයෙන් කොන්දේ පොඩි කුදුවක් තබා ගත්තා. ඒක නොපෙනෙන හිත පත්ලෙන් එන, යටහත් පහත් බව සමඟ එන කුදයක්. ඒක මතක් කරමින් කැරැක්ටර් බයිබල් එකක් හදමින් මම මාස ගාණක් පුරා පුහුණු වුණා. ටෙලිනාට්‍යවලදී නම් පිටපත් ලැබෙන්නේ ඒ මොහොතෙමයි. ඉතින් එතකොට කැපවෙන්න බැහැ. වැඩකට පුහුණු වෙනවා නෙවෙයි ජීවිතයට පුහුණු වෙමින් තමයි අපි මේ දෙය කරන්නේ.
කළුවර, මිහිරාව ආවා, ස්වර්ණ පාලියේ වගේ දැවැන්ත ගීත නිර්මාණය කරපු සජිතට සංගීතය මඟහැරිලද?
මේ ළඟදී මමයි මනුරංග අයියයි ඔය ගැන කතා කළා. මොකද සජ්ජා ඔයාට මේ වැඩ අමතක වෙලාද කියලා ඔහු ඇහුවා. මම කාලයක් තිස්සේ විවිධ ගීත සමඟ වැඩ කළා නමුත් සෙට් වෙන සින්දුවක් සෙට් වුණේ නැහැ. මගේ ජීවිතයේ මම උනන්දුවෙන් වුවමනාවෙන් කරපු ගීත කිහිපයයි තිබෙන්නේ. අනෙක් ගීත නිර්මාණය වුණේ කුමක් හෝ අවශ්‍යතාවක් නිසා. හිතලා සැලසුම් කරලා කරපු නිර්මාණ තිබෙන්නේ කිහිපයයි. මේ කාර්‍යබහුලකම නිසා මට සින්දුවක් හදන්න පුළුවන් වුණත් කවුරු හරි මට සින්දුවක් හදලා දෙන්න ඕන. මීට දින කිහිපයකට කලින් මනුරංග අයියා මට ආයිත් කතා කළා. ඔහු ලියපු සින්දුවක් මට පෙන්නලා කිව්වා මේක ඔයාට හරි යයි කියලා. ඒක නාට්‍යමය ස්වරූපයක් තිබෙන දේශපාලනික කතන්දරයකුත් තිබෙන ආදරයත් තිබෙන වෙනස්ම විධියේ ගීතයක්. පොඩි කාලයක් දෙන්න ගීතය හදලා කියන්නම්.
ඔබේ කලුවර වැනි ගීතවල යම් කතාමය හැඩයක් තිබෙනවා. ඒවා අධ්‍යක්ෂණය කළේ ඔබ සිනමා අධ්‍යක්ෂණයට පිවිසෙන්න අදහසක් නැද්ද?
කලුවර කියන්නේ දවසක මම අධ්‍යක්ෂණය කියන දෙයට පිවිසීමට සිදු කළ අත්හදා බැලීම. අප්පච්චිගෙන් ඉගෙනගෙන තමයි මම එහි පිටපත ලිව්වේ. මට අවශ්‍ය කතාන්දරය පොඩි කාලයකට ලඝු කරන්නේ කොහොමද කියන එක ගැන මම එයින් ඉගෙන ගත්තා. මේ නිර්මාණය එක්තරා ආකාරයකට මම සිදු කළ පර්යේෂණයක් ලෙස පෙන්වා දෙන්න පුළුවන්. කවදා හෝ දවසක සිනමාපටයක් නිර්මාණය කිරීමට හුරුවක් ගන්න තමයි මම එය නිර්මාණය කළේ. ඊට පස්සේ මම සඳසාවී, ආදරියේ, සිළිලාරේ වගේ ගීත කිහිපයකම රූපරචනාවන් අධ්‍යක්ෂණය කළා. මම ඒ හරහා විවිධ අත්හදා බැලීම් සිදු කළා. සිනමාපටයක් කරන්න කලින් අපි එහි හය හතර දැනගෙන ඉන්න ඕන. දැන් චිත්‍රපටයකට අත ගහන්න කාලය ඇවිල්ලා කියලා මට සිතෙනවා.
ඔබ මෙතෙක් රඟපෑම් සිදු නොකළ කරන්නට කැමැති චරිතයක් තිබෙනවාද?
මම කැමැතියි ප්‍රබල ප්‍රති වීරයෙක්ගේ චරිතයක් කරන්න. මගේ අප්පච්චිත් රඟ පෑ බොහෝ චරිතවල ඔහු සිටියේ ප්‍රති වීරයාට. මට ගොඩක් වෙලාවට අහිංසකයා, සරසවි සිසුවා, වැදි පැටියා වගේ චරිත තමයි ලැබෙන්නේ. මට ලැබෙන්නේ හරි සොඳුරු චරිත. පොඩ්ඩක් හරි වෙනස් චරිතයකට ලැබුණේ නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ සරාගේ චරිතය. නමුත් සරා කියන්නෙත් සෞන්දර්යාත්මක හිත පතුලෙන් බොක්ක දෙන චරිතයක්නේ. මට දැන් ඕනේ ප්‍රබල විලන් කෙනෙක් නැත්නම් ප්‍රති වීරයෙක්ගේ චරිතයක් කරන්න. කවුරු හරි අධ්‍යක්ෂවරයෙක් මාව එවැනි චරිතයකට තෝරා ගනියි කියලා මම බලාපොරොත්තු වෙනවා.
ඔබ අභිප්‍රේරණය කළ රංගන ශිල්පීන් ගැන කතා කරමු?
හැමදාමත් මගේ පරමාදර්ශී චරිතය අප්පච්චි. විවිධ විවිධ කලා මාධ්‍යයන් තුළ මට විවිධ පුද්ගලයන් සිටිනවා. මයිකල් ජැක්සන්, ජෝන් ලෙනන්, එල්විස් ප්‍රෙස්ලී, බොබ් මාලේ වගේ චරිතවලට මම කැමැතියි. අපි මෙච්චර අගය කරන කලාකරුවන් හැමෝටම හරිහමන් පවුල් ජීවිතයක් නැහැ. ඔවුන් පවුල අතහැරලා, බැඳීම් අතහැරලා තමයි තමන්ගේ ගමන ගියේ. සිද්ධාර්ථත් එහෙමයි. මට මේක විශාල ප්‍රශ්නයක්. මේ නිසාම මේ පරමාදර්ශී චරිත හරිද කියලා මට හිතෙනවා. පිටරටවල් මිනිස්සු දිහා නොබලා මම මගේ අප්පච්චි දිහා බලන්නේ ඒකයි.
ගිහාන් සචින්ත