2025දී මගේ රංගන ජීවිතයට අවුරුදු 30 සම්පූර්ණ වෙනවා-ගයාත්‍රි ඩයස්



 එදා මෙදාතුර රසිත හදවත් තුළ නොමැකෙන මතකයන් අතරට එක්වුණු රංගන ශිල්පීන් ශිල්පිනියන් සිටින්නේ බොහොම අතළොස්සකි. ඒ අතරින් ගයාත්‍රි ඩයස් කියන්නේ කවදත් රසික හදවත් තුළ ලැගුම් ගත් රංගන ශිල්පිනියක්. මේ දිනවල පරාදීසේ ටෙලිනාට්‍ය තුළ ‘මාධවී’ ලෙසින්  ඔබ හමුවට පැමිණෙන්නේ ඇයයි. ඉතින් ඇය, මෙවර ‘හදගැස්ම’ අපත් සමඟ කතාබහට එක්වුණා. කාලෙකට පස්සේ පුංචි තිරයෙන් ගයත්‍රිව දකින්නට ලැබෙනවා. 


පාරාදීසේ මාධවීට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන කියනව නම් වැඩිපුරම මේ දවස්වල බැනුම් තමයි අහන්නේ. පිටතින් බලනකොට ගොඩක් අය ඒ චරිතයට කැමැති නැහැ. මම හිතන්නේ ඒ චරිතය  සමාජීය වශයෙන් කිසිම වෙලාවක කැමැති විධියේ චරිතයක් නෙවෙයි. කොහොම වුණත් මේ දවස්වල මිනිස්සු ඒ චරිතයට අකැමැති වීම සහ ඒ චරිතය පිළිබඳව කතා කරලා චරිතයට බනින එකත් මං හිතන්නේ ඒ චරිතයේ තිබෙන ජනප්‍රියත්වයක්. ඒ චරිතය මම කරපු ආකාරය නිසා වෙන්නැති එහෙම ප්‍රතිචාර ලැබෙන්නේ. ඉතින් කොහොමත් සමහර අය හොඳ කියනවා. සමහර අය නරක කියනවා.


ඔබ දැන් පුංචි තිරයේ දකින්න ලැබෙනවා අඩුයි. ගයත්‍රි කලාවෙන් ඈත් වෙලාද?


මම හිතන්නේ නෑ මම කලාවෙන් ඈත් වුණා කියලා. පසුගිය කාලේ මම රංගන කටයුතු කරපු කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍ය විකාශය වුණා. ඉතින් ඒ ටෙලි නාට්‍ය ඉවර වෙනකොටම වගේ තමයි පාරාදීසේ ටෙලිනාට්‍ය පටන් ගත්තේ. නමුත් ඉතින් වෙනදා වගේ නම් මම රංගන කටයුතුවලට සහභාගි වෙන්නෙ නැහැ ඇත්තටම. රංගනයට සහභාගි වීම අඩු කරලා තියෙන්නේ. මොකද මගේ සැලොන් එකේ වැඩකටයුතුවලට සහ දරුවන්ගේ වැඩකටයුතුවලට ටිකක් වැඩිපුර කාලය යොදවලා තියෙන්නෙ. ඒ නිසා මට ලොකු කාලයක් නැහැ රංගන කටයුතුවලට.


අද වන විට රංගන ශිල්පීන්ට කලාවට පිවිසෙන්න විවිධ අවස්ථාවන් පවතිනවා. ඒ ගැන ඔබේ අදහස?


ඇත්තටම එහෙම අවස්ථාවන් තිබෙන එක ගොඩක් හොඳයි. මොකද ඉස්සර අපිට එහෙම අවස්ථාවන් තිබුණෙ නැහැ. අවස්ථාවලින් හොඳ ප්‍රයෝජන ගන්නව නම් ගොඩක්ම හොඳයි. ගොඩක් අය එහෙම ලැබෙන අවස්ථාවලින් හරි ප්‍රයෝජනයක් ගන්නෙ නැති එක තමයි තියෙන වැරැද්ද. නැත්නම් ඉතින් එහෙම ගොඩක් අවස්ථාවන් තියෙන එක සෑහෙන්න හොඳයි කියලා මම නම් හිතන්නේ.


ඔබේ රංගන ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණු චරිතයක් තිබෙනවද?


ඔව්. මම කාලයක් රංගන කටයුතු නොකර ඉඳලා තමයි පබළු ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ. ඉතින් පබළු ටෙලිනාට්‍යයේ චරිතය ලොකු වෙනසක් වුණා. ඊට පස්සේ පිනි නාට්‍යයේ ‘රාණිගේ’ චරිතය කළා. ඉතින් ඒ චරිත දෙක තමා ලොකු වෙනසක් ඇති කළේ.


මෙතෙක් පැමිණි කලා ජීවිතය දෙස ආපසු හැරී බැලුවොත්?


මම කලාවට ඇවිත් ලබන අවුරුද්ද වන විට අවුරුදු තිහක් සම්පූර්ණ වෙනවා. අවුරුදු තිහක් වුණාට ඒකෙන් අවුරුදු දහයක් විතර කාලයක් මම රංගන කටයුතු කළේ නැහැනේ. ඉතින් ඒ නිසා ඒ කාලය ඇතුළත දේවල් ගැන ලොකුවට කියන්න දන්නෙ නැහැ. නමුත් ඉතින් කලකිරීමකුත් නැහැ. මම එදත් අදත් බොහොම කැමැත්තෙන් මේ ක්ෂේත්‍රයේ ඉන්නේ. ඒ නිසා මගේ කලා ජීවිතය දෙස හැරිලා බැලුවත් සතුටක් තිබෙන්නේ. මිනිස්සු අතර ඉන්න එකත් ලොකු අවස්ථාවක්. ඒ වගේම මම කාටවත් දෝෂාරෝපණය කරන්න පුළුවන් විධියේ චරිත කරලා නැහැ. හැම වෙලාවෙම මම දරුවන්ගේ ගෞරවය රැකගෙන තමයි හැම දෙයක්ම කළේ. ඉතින් ඒ ගැන ලොකු සතුටක් තියෙන්නේ.


පසුගියදා ව්‍යවසායිකාවක් විධියට ඔබ ඇගයීමට ලක්වෙනවා. ඒ ගැන කතා කළොත්?


ඒක ගැන ඇත්තටම මට ලොකු සතුටක් තිබෙනවා. මම හිතන්නේ ඒ ඇගයීම මීට කලින් ලැබෙන්න ඕන එකක්. මොකද මම ක්ෂේත්‍රයට ඇවිත් සෑහෙන කාලයක් වෙනවා. ඉතින් පහුවෙලා හරි එහෙම දෙයක් ලැබුණු එක ගැන සතුටක් තිබෙනවා. කාලයක් තිස්සේ ව්‍යාපාරවල සිටින අය සහ ඒ තුළින් සාර්ථකත්වයට පැමිණි අය ඇගයීමට ලක් කරන The entrepreneur Biz Awards 2024 තුළින් තමයි මාව ඇගයීමට ලක්වුණේ. මෙහිදී මගෙ රංගන ක්ෂේත්‍රය, රූපලාවණ්‍ය ක්ෂේත්‍රය සහ මමත් බොහොම ලස්සනට ජීවත්වන ආකාරය ඇගයීමට ලක් කරමින් සම්මානය හිමි වුණා. ඉතින් ව්‍යාපාරය ගැන විතරක්ම ඇගයීමට ලක් නොවුණු නිසා මේ සම්මානය මට ගොඩක් වටිනවා.


අද වන විට කලාවට එකතු වන නවකයන් ක්ෂේත්‍රය තුළ රැඳෙනවා අඩුයි. ප්‍රවීණ රංගන ශිල්පිනියක් විධියට මේ ගැන ඔබේ අදහස?


ඇත්තටම දක්ෂතාව නැත්නම් මේ ක්ෂේත්‍රය තුළ රැඳෙන්න බැහැ. මේ ක්ෂේත්‍රය ඇතුළේ මූලික විනයක් තියෙන්න ඕන.  ඒ විනය නැත්නම් කොහොමත් රැඳෙන්න බැහැ. ඉතින් මම විශ්වාස කරනවා මේ දේවල්  නැති අය තමයි ක්ෂේත්‍රයෙන් ඉවත්වෙන්නේ. අනිත් කාරණාව තමයි බොහෝ දෙනෙක් හිතනවා වාසනාව පමණක් තිබුණොත් ප්‍රමාණවත් කියලා. නමුත් වාසනාව විතරක් ප්‍රමාණවත් නැහැ. හැමදේම තිබෙන්න ඕන. ඉතින් මම විශ්වාස කරන දේ තමයි මේ ක්ෂේත්‍රය තුළ විනයත් සමඟ අනෙක් සෑම දෙයක්ම කැටි වූ අය රැඳෙනවා. අනෙක්  අය කැඩිලා යනවා.


ඉදිරි වැඩකටයුතු ගැනත් කතා කරමු?


මම ගොඩක්ම මුල් තැන දීලා තියෙන්නෙ සැලෝන් එකේ සහ ඇකඩමියේ වැඩවලට. ඇත්තම කියනවනම් මගේ මූලිකම රැකියාව සැලෝන් එකේ මනාලියන් හැඩගන්වීමනේ.  ඉතින් ඒ දේවල්වල අලුත් ට්‍රෙන්ඩ්ස් ගැන බලනවා. ඒ වගේම පිටරටවල තරග කිහිපයක් සහ උත්සව කිහිපයක් තියෙනවා. ලබන මාසේ ඒ දේවල්වලට සම්බන්ධ වෙන්න ඕන. ඒත් එක්කම චිත්‍රපට දෙකක රංගන කටයුතුවලට ආරාධනා ලැබිලා තියෙනවා. මොනා කළත් කලාවට ආදරය කරන නිසා ඒ චිත්‍රපටවල රංගන කටයුතු කරන්නත් ආසාවෙන් ඉන්නවා. ලබන අවුරුද්දේ මාර්තු මාසේ වනවිට ඒ රංගන කටයුතුවලට කාලය වෙන් කරගන්න ඕන. මම අධ්‍යක්ෂණය කරන කෙටි චිත්‍රපට තුන හතරක නිර්මාණ කටයුතු කරන්නත් බලාපොරොත්තු වෙනවා. අවුරුදු ගණනාවක් තිස්සේ මම ඒ වෙනුවෙන් සැලසුම් කළා. ඉතින් දැන් ඒකට කාලය ඇවිල්ලා. ඉතින් ලබන අප්‍රේල් මාසයේදී ලංකාවේ සහ වෙනත් රටවල් කිහිපයක ඒ කෙටි චිත්‍රපට  රූගත කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.


නයෝමි ෂර්මිලා



Previous Post Next Post