තාරුණ්‍යයේ ජනප්‍රියම ටෙලි තාරකාව ලෙස සම්මාන ලැබීම මට සතුටක් -මිෂෙල් දිල්හාරා




මිෂෙල් දිල්හාරා මේ දිනවල ඉතාම ජනප්‍රිය ටෙලි තාරකාවකි. සුපුන් රත්නායකගේ ‘ලලයි ලිලයි ලයි‘ ටෙලි නිර්මාණයේ මිලාගේ චරිතයෙන් ඔබ හමුවට එන ඇය පසුගිය ‘කැලීන් සම්මාන උලෙළේ‘දී තාරුණ්‍යයේ ජනප්‍රියම ටෙලි තාරකාව ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවාය. ඒ ඇයගේ ප්‍රථම සම්මානය වීම ද විශේෂත්වයකි. පසුගියදා නිමාවට පත්වුණු පසිඳු නූපේආරච්චිගේ ආයාචනා ටෙලි නිර්මාණයේ ලෝයර් එලීනාගේ චරිතයෙන් රසික හදවත් ස්පර්ශ කළ ඇය ඊට හාත්පසින්ම වෙනස් මිලාගේ චරිතය ඔස්සේ ජනතා මනාපය ඉහළින්ම දිනාගැනීමට සමත් වූවාය. අද අපේ කතාබහ ඇය සමඟයි.


දැන් මිෂෙල් දිල්හාරා කියනවටත් වඩා මිලා කිව්වම ඕනෙම කෙනෙක් දන්නවා නේද?


ඔව්. ඔව්. මිලාට ආදරේ නොකරන කෙනෙක් නැති තරම්. මට ඒ වගේ ආදරයක් ලබාදුන්න සුපුන් රත්නායක අයියට ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා මාව මේ චරිතයට තෝර ගත්තට. මිලා, ධනුෂ්ක විතරක් නෙවෙයි ලලයි ලිලයි ලයි ටෙලි නිර්මාණයේ හැම චරිතයකටම පුදුමාකාර ප්‍රේක්ෂක ආදරයක් ලැබෙනවා. ලලයි ලිලයි ලයි කියන්නේ මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක්.


පසුගියදා ඔබ ජනප්‍රියම නිළිය සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ ගැනත් කතා කරමු?


ඔව්. මේ සම්මානය මට සුවිශේෂී සම්මානයක්. ඒ වෙනුවෙන් මං අවුරුදු හතහමාරක් බලාගෙන හිටියා. කුලුඳුල් සම්මානය වගේම මේ තරම් ප්‍රේක්ෂක ආදරයක් ලබාදීම වෙනුවෙන් මං ලලයි ලිලයි ලයි අධ්‍යක්ෂවරයා ඇතුළු මුළු කණ්ඩායමටම ස්තුතිවන්ත වෙනවා. ටීම් වර්ක් එකක් විදිහට මේ නිර්මාණය තුළ හැමෝම ලොකු කැපවීමක් කළා. අපි හැමෝගෙම මහන්සියේ ප්‍රතිඵලය තමයි මේ විදිහට සම්මාන බවට පත්කරලා ජනතාව අපට ලබාදෙන්නේ. ලලයි ලිලයි ලයි විකාශය කළ ස්වර්ණවාහිනී ආයතනයටත් සමාජ මාධ්‍යවල පෝස්ට් ශෙයාර් කරමින් අනුග්‍රහය දැක්වූ ආදරණීය ප්‍රේක්ෂකයන්ටත් ගොඩක්ම ස්තුතියි.


සමාජ මාධ්‍යවල නම් මිලාට පුදුමාකාර ප්‍රතිචාරයක් ලැබෙනවා. සජීවීව ඔබට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?


ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මෙතෙක් මං කළ චරිතවලට වඩා වෙනස් චරිතයක්. මිලාගේ චරිතයට මං සම්බන්ධ වෙන්නේ 19 වැනි එපිසෝඩ් එකේ ඉඳන්. මේ චරිතයට කතා කරලා පිටපත සාකච්ඡා කරද්දි මටත් ආස හිතුණා. ඒ වගේම මං ගොඩක් ආදරේ කරන රංගන ශිල්පීන් එක්ක එකට වැඩකරන්න ලැබීමත් සතුටක්. මේ නිර්මාණය මේ තරම් සාර්ථක වෙන්න හේතුවත් අපේ මේ ටීම් වර්ක් එක කිව්වත් හරි. මුලින්ම තිර පිටපත රචනා කළේ රසික සුරවීරආරච්චි. මේ වෙද්දි එය රචනා කරන්නේ සුපුන් රත්නායක අයියා.


ලලයි ලිලයි ලයි කියන්නේ කොමඩි ටෙලි නිර්මාණයක් කියල දැනෙද්දි සම්බන්ධ වෙන්න දෙගිඩියාවක් ඇති වුණේ නැද්ද?


ගොඩක් දෙනෙක් මේක කොමඩි ටෙලි නිර්මාණයක් විදිහට දැක්කට මේක බ්ලැක් කොමඩි කියන ගණයට අයත් නිර්මාණයක්. බ්ලැක් කොමඩි කියන්නේ සමාජයේ තියෙන ගැටලුවක් හාස්‍යමය අයුරින් ප්‍රේක්ෂකයාට පෙන්නන එක. සුපුන් රත්නායක ඒ ගත්ත උත්සාහය ගොඩක් සාර්ථකයි කියලා හිතෙන්නේ අද වන විට අපට ලැබෙන ජනප්‍රියත්වයත් එක්ක. මිලාගේ චරිතය ගත්තොත් මිලා කියන්නේ වත්ත අයිතිකාර රාජරත්නම්ගේ දුව. එයාට ගමේදි ධනුෂ්ක කියන තරුණයා මුණ ගැහෙනවා. ධනුෂ්කට ඕනම දේක හැකියාව තිබුණත් ඒක සමාජය විසින් පිළිගන්නෙ නෑ. එක් සයිකොලොජි ගැටලුවක්. මිලා ඒක තේරුම් අරන් ධනුෂ්කට සමාජයේ පිළිගැනීමක් අරන් දෙන්න වෙහෙසෙනවා.


මිලා – ධනුෂ්ක එකතුව නිර්මාණයෙන් ඔබ්බට ගිහින් සැබෑ ජීවිතේදිත් ප්‍රේක්ෂකයා බලාපොරොත්තු වෙනවා නේද?


රන්දික අයියා කියන්නේ මගේ හොඳ යාළුවෙක්. අපි දෙන්නා නිර්මාණ කිහිපයකටම එකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. මිලා ධනුෂ්ක කියන්නේ මේ නිර්මාණයේ චරිත. අපි ඒ චරිතවලට උපරිම සාධාරණයක් කරන්න උත්සාහ කළා. එච්චරයි. ධනුෂ්කගෙ චරිතය තුළ රන්දිකටත් ලොකු කැපකිරීමක් කරන්න වුණා. ඩයලොග්වල ඉඳන්ම වෙනස් විදිහක් අනුගමනය කරන්න වුණා. ලලයි ලිලයි ලයි ෂූට් කළේ ගාල්ල ඉමදුවේ. අපි දවස් ගණන් නැවතිලා ඉඳන් ෂූට් කළා. ඒ පැත්තෙ ජනතාව ෂූටින් බලන්න ඇවිත් අපට ලොකු සහයෝගයක්, ආදරයක් දුන්නා. ඒ හැමෝටම ගොඩක් ස්තුතියි.


ලලයි ලිලයි ලයි කියන්නෙම අමතක නොවන අත්දැකීමක් නේද?


ලොකුම අත්දැකීම තමයි හිනා වෙන එක. රිහර්සල්වලදි හිනාවෙන්න පුළුවන් උපරිමයෙන් හිනා වෙලා තමයි සීන් එකට යන්නේ. හේතුව තමයි සීන් එකේදි අපි හිනා වෙන්නෙ නෑ. බලන් ඉන්න අයයි ප්‍රේක්ෂකයොයි තමයි හිනා වෙන්නේ. ලලයි ලිලයි ලයි කියන්නෙම හිනා සාගරයක්.


ඔබ රංගනයෙන් දායක වුණු දමිළ චිත්‍රපටය ගැනත් කතා කරමු?


අදිරන් දමිළ චිත්‍රපටයේ පෝස්ටර් එක රිලීස් වුණා. චිත්‍රපටය ඉදිරියේදී තිරගතවීමට නියමිතයි. මගේ පළමු දමිළ චිත්‍රපට අත්දැකීම විදිහට අදිරන් මට වෙනස්ම අත්දැකීමක් වුණා. දෙබස් සම්පූර්ණයෙන්ම තිබුණේ දමිළ භාෂාවෙන්. ඒ පුහුණුව සඳහා ලොකු කාලයක් ගත වුණා. අධ්‍යක්ෂවරයා ඇතුළු කණ්ඩායමෙන් ලොකු සහයෝගයක් ලැබුණා.


ඒ වගේම සෝලෝ ටවුන් චිත්‍රපටය ගැනත් සඳහන් කළ යුතුයි. පහුගිය දා සෝලෝ ටවුන් ට්‍රේලර් එක වගේම ගීත රිලීස් වුණා. මේ වෙද්දි ඒ චිත්‍රපටය කැනඩාවේ තිරගත වෙනවා. ලංකාවේත් ඉක්මනින්ම තිරගත වේවි.


මිෂෙල්ට විශ්වවිද්‍යාලවලින් ලොකු පිළිගැනීමක් ලැබෙනවා නේද?


ඔව්. ඒක මට ලොකු ගෞරවයක්. පසුගිය දවස්වල NSBM එකේ උත්සවයකට ප්‍රධාන ආරාධිතයා විදිහට ආරාධනා ලැබුණා. එතැනදිත් මිලා ධනුෂ්ක දෙබසකින් මාව සප්‍රයිස් කරන්නත් ඔවුන් අමතක කළේ නෑ. ඒ හැම අවස්ථාවක්ම මට අමතක නොවන අත්දැකීම්.


මිලාගේ පවුලේ විස්තර නම් හැමෝම දන්නවනේ. මිෂෙල්ගේ පවුලේ තොරතුරු දැනගන්නත් ප්‍රේක්ෂකයෝ කැමැති ඇති?


මගේ ගම මීගමුව. මට ඉන්නෙ අම්මයි තාත්තයි නංගිලා දෙන්නයි.


ඔවුන් හැමෝම මගේ කලා කටයුතුවලට ලොකු සහයෝගයක් දෙනවා. විශේෂයෙන්ම අම්මයි තාත්තයි නිතරම මගේ පිටුපස සෙවණැල්ලක් වගේ ඉන්නවා. ෂූටින් නැති හැම වෙලාවෙම මං ඔවුන් එක්ක කාලය ගත කරන්න උත්සාහ කරනවා.


නාමලී ගමගේ



Previous Post Next Post