මං හිතනවා හොඳම කාලෙ හොඳම දේ මගේ ජීවිතේට ලැබුණා කියලා - චානු දිසානායක




චානු දිසානායක රුව බොහෝදුරට දකින්න ලැබෙන්නේ වේදිකාවේදී. නමුත් ඇය ප්‍රේක්ෂකයන් වඩාත් හොඳින් හඳුනාගන්නේ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙසිනි. නිවේදිකාවක්, ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් මෙන්ම වේදිකා නාට්‍ය රංගන ශිල්පිනියක් ලෙස ඇයගේ කලා හැකියාව විසල් පරාසයක විහිදී ඇත. පසුගිය යෞවන නාට්‍ය උලෙළේ හොඳම නිළිය ලෙස සම්මාන ලැබූ ඇය සිය කුලුඳුල් සිනමා අත්දැකීම උදෙසා සරසවිය සම්මාන උලෙළේ හොඳම සහාය නිළියට ද නිර්දේශ වූවාය.


චානු දිසානායක ප්‍රේක්ෂකයන් හඳුනන්නේ කොහොමද කියලා ඇහුවොත්?


ප්‍රේක්ෂකයන් ගොඩක් දුරට මාව හඳුනගෙන තියෙන්නේ නිවේදිකාවක් විදිහට. විශේෂයෙන්ම ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට. මං රංගන ශිල්පිනියක් විදිහට හඳුනගත්ත පිරිසකුත් ඉන්නවා. රිදී තිරය, පුංචි තිරයට වඩා වේදිකාවේ ප්‍රේක්ෂකාගාරය තමයි චානු දිසානායක හොඳින්ම හඳුනන්නේ.


පසුගිය යෞවන සම්මාන උලෙළේ හොඳම නිළිය විදිහට සම්මාන ලබන්නේ ඔබ. ඒ ගැන කතා කළොත්?


රැඩිකල් ප්‍රේමයක් පිටපත වගේම අධ්‍යක්ෂණයත් දුලාන් වීරසිංහගේ. එහි සිලෙන්ඩ්‍රා රැජිනගේ චරිතය වෙනුවෙන් මට හොඳම නිළියට හිමි සම්මානය ලැබුණා. දුලාන්ගෙන් ආරාධනා ලැබෙද්දිත් මට ඒක අභියෝගයක් වුණා. ඇය විරූපී චරිතයක්. අනිත් එක තමයි මේක ග්‍රීක සම්ප්‍රදායට අනුභූතව ග්‍රීක පසුබිම් කතාවක් ඇසුරු කරගෙන ලියවිලා තිබුණේ. ඒ අනුව භාෂා රටාව වගේම ග්‍රීක පරිසරය ගැනත් අපිට අධ්‍යයනය කරන්න වුණා.


වේදිකාවෙන් බිහිවුණු රංගන ශිල්පිනියක් වීම ගැන මොකද හිතෙන්නේ?


මං කලාවට පිවිසෙන්නේ වේදිකාවෙන්. මහේන්ද්‍ර පෙරේරාගේ රංගන පාසලෙන් රංගනය ගැන හැදෑරීමක් කළා. මුලින්ම මහාචාර්ය මංගල සේනානායක මහත්මයාගේ වේදිකා නාට්‍යයකට සම්බන්ධ වුණා. ඊට පස්සේ තවත් කිහිපයකටම සම්බන්ධ වුණා. ඇත්තටම මං මේ තරම් වේදිකාවට බර වේවි කියල හිතුණෙ නෑ. වේදිකාව තුළ සජීවීව ලැබෙන ප්‍රතිචාර ගොඩක් වටිනවා. ඒක හැමෝටම ලැබෙන අවස්ථාවකුත් නෙවෙයි. වේදිකාවෙන් හැදෙන්න ලැබුණු එක මට ගොඩක් වටිනවා. සමහර නාට්‍ය මාස 6/7 පුහුණුවීම් කරන්න වෙනවා. ඒක තමයි අමාරුම වැඩේ. ඒ පුහුණුවීමත් එක්ක අපිත් වේදිකාවට ආදරේ කරන්න පටන් අරන්. දැන් ඉතින් ගැලවීමක් නැති තරම්.


මේ දිනවල ඔබ ගොඩක්ම දකින්න ලැබෙන්නෙත් වේදිකාවේ?


ඔව්. මේ වෙද්දි වේදිකා නාට්‍ය හතරකට සම්බන්ධ වෙලා ඉන්නවා. උදයසිරි වික්‍රමසිංහගේ ‘ගරු කටානායකතුමනි‘, අශෝක හඳගම රංග කාර්ය සහ ප්‍රසාද් සූරියආරච්චි අධ්‍යක්ෂණය කළ ‘මාඝාත‘, අඛිල සපුමල්ගේ ‘හිනාවෙලා මිනිත්තුවක්‘ වගේම කමල් විජේතුංගගේ ‘ෆැන්ටසි ලව්‘. මෙවර රාජ්‍ය නාට්‍ය උලෙළ සඳහා කෙටි නාට්‍යයක් සඳහා පුහුණුවීම් කරනවා. වේදිකාව කියන්නේ ඕනෙම කෙනෙකුට රංගනයට පන්නරය ලබාදෙන තැනක්.


ඔබ පුංචි තිරයේත් දකින්න ලැබෙන චරිතයක්?


පුංචි තිරයේ මුල්ම අත්දැකීම ලැබුවේ ධනුෂ්ක රේමන්ගේ ‘රේස්‘ ටෙලි නිර්මාණයේ පොලිස් නිලධාරිනියකගේ චරිතයෙන්. ඊට පස්සේ සුපුන් රත්නායකගේ ‘හියුමන් එරස්හි‘ ප්‍රධාන චරිතයකින් සම්බන්ධ වුණා. ඔහුගේම ‘ෆෝචූන් රෙසිඩන්සි‘ සඳහාත් දායක වුණා. මෑතකදී ප්‍රියාල් වීරසිංහගේ ‘පුංචි අන්දරේ‘ ටෙලි නිර්මාණයේ අන්දරේගේ අක්කා විදිහට රංගනයෙන් දායක වුණා. ඒ වගේම ප්‍රදීප් ධර්මදාසගේ ‘රොන්‘ ටෙලි නිර්මාණයේ ආරාධිත චරිතයක් කළා.


රිදී තිරයේ පළමු අත්දැකීමම සම්මානයට නිර්දේශ වුණා නේද?


ඔව්. චන්න දේශප්‍රියගේ ‘යූටර්න්‘ සිනමාපටයේ රංගනය වෙනුවෙන් පහුගිය සරසවිය සම්මාන උලෙළේ හොඳම සහාය නිළියට නිර්දේශ වුණා. පළමු අත්දැකීම එවන් ඇගැයීමකට ලක්වීම ගැන ගොඩක් සතුටුයි.


මේ වෙද්දි ඔබ වඩාත්ම ජනප්‍රිය ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට. ඒ ආපු ගමන ගැන සඳහන් කළොත්?


මුලින්ම මං සිරස නාළිකාවට සම්බන්ධව ප්‍රවෘත්ති නිවේදිකාවක් වගේම වැඩසටහන් නිවේදිකාවක් විදිහට කටයුතු කළා. ඊට පස්සේ ඒ ආයතනයේම වෙනත් ශාඛාවක කළමනාකාරවරියක් විදිහටත් සේවය කළා. 2022 වසරේ ඉඳන් තමයි කලා නිර්මාණවලට දායක වෙන්න ලැබුණේ. මේ වෙද්දි මොනරා ටීවී නාළිකාවේ ප්‍රවෘත්ති නිවේදිකාවක්. ඊට අමතරව එළියේ ඉවෙන්ට්වලත් නිවේදිකාවක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම උසස් පෙළ දරුවන්ට මාධ්‍ය උගන්වන්නත් කාලය කැප කරනවා. ඒ අතරේ මගේ ශාස්ත්‍රපති උපාධිය සඳහාත් සූදානම් වෙනවා.


පාසල් වේදිකාව වගේම සරසවි වේදිකාවත් ඔබව හුරුපුරුදු තැනක් නේද?


ඔව්. පාසලේදිත් මං කලා කටයුතුවලට සම්බන්ධ වුණා. මගේ පාසල මාතර සුජාතා බාලිකා විද්‍යාලය. උසස් අධ්‍යාපනය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයට තේරුණා. සමාජ විද්‍යා ශාස්ත්‍රවේදී උපාධිය සඳහා අධ්‍යයන කටයුතු කළත් විශ්වවිද්‍යාල වේදිකාවත් මට නුහුරු තැනක් වුණේ නෑ. රවිබන්ධු විද්‍යාපති ගුරුතුමන් යටතේ නර්තනයත් ඉගෙන ගත්තා.


චානු දිසානායක මේ දිනවල ආදරවන්තියක් වෙලා කියන කතාව ඇත්තක් ද?


ඔව්. මං ආදරවන්තියක් කියලා මුලින්ම කියන්නේ රසඳුනට. මං ආදරයක් ඕන නෑ කියන තැන හිටපු කෙනෙක්. ඒත් මේ වෙද්දි මං ආදරය කරන ගමන් ඉන්නේ. එයා මේ ක්ෂේත්‍රයට සම්බන්ධ කෙනෙක් නෙවෙයි. මහලොකු ව්‍යාපාරිකයෙක්වත් කෝටිපතියෙක්වත් නොවුණත් ව්‍යාපාරික පැත්තට සම්බන්ධ කෙනෙක්.


කොහොමද ඒ හමුවීම සිදුවෙන්නේ?


මම බඳින්නෙ නෑ කියන තැන හිටපු කෙනෙක්. ඒත් පවුලේ එකම ළමයා විදිහට අම්මටයි තාත්තටයි ලොකු බලාපොරොත්තුවක් තිබුණා මගේ විවාහය ගැන. මං ඒක වැඩිය ගණන් ගත්තෙ නෑ. ඔහු මට හමුවෙන්නේ අහම්බෙන්. මටත් හිතුණා ජීවිතේට වෙනසක් ඕන කියලා. මං හිතනවා හොඳම කාලෙ හොඳම දේ මගේ ජීවිතේට ලැබුණා කියලා. අපි හමුවෙද්දි මං කලාවට සම්බන්ධ කෙනෙක් කියලා ඔහු දැනන් හිටියෙ නෑ. අඩුම ගානෙ කලාව ගැන ලොකුවට දන්න කෙනෙකුත් නෙවෙයි. ඔහු කළගුණ දන්න මානුෂීය හදවතක් තියෙන හරිම ආදරණීය කෙනෙක්. මමත් යාන වාහන මිල මුදල් හොයන කෙනෙක් නෙවෙයි. අපි දෙන්න හිතන විදිහ සමානයි. ගතවෙන මොහොත සතුටින් ඉන්න තමයි අපි දෙන්නම උත්සාහ කරන්නේ. මම හිතනවා මට ගැළපෙන කෙනා හමුවුණා කියලා.


නාමලී ගමගේ



Previous Post Next Post