තව දක්ෂයකුට තැන දීලා මම අයින් වුණා - එම්. ජී. ධනුෂ්ක



හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි


කිසි වාසියක් නෑ හාමතේ නැත්නම් අතේ සල්ලි




මේ පද පෙළ ඇහුණ ගමන් අදටත් අපිට මතක් වෙන්නේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් එක් අදියරක ජයග්‍රාහකයා බවට පත් වූ එම්. ජී. ධනුෂ්ක. මීට වසර කිහිපයකට කලින් ලංකාවේ ජනප්‍රියම රියැලටි වේදිකාවෙන් බිහි වූ එම්.ජී. ධනුෂ්ක දැන් රංගනයට ඇවිත්. ඒ හසුන් සමීර අධ්‍යක්ෂණය කරන පාරාදීසේ ටෙලි නාට්‍යය හරහා. ඒ ගැන වගේම එම්.ජී. ධනුෂ්කගේ ඉදිරි කලා නිර්මාණ ගැන කළ පිනිපලසත් එක්ක සොඳුරු කතාබහකට මුල පිරුවා.




මේ දවස්වල මොකද වෙන්නේ




විශේෂයෙන්ම කියලා නම් මුකුත් වෙන්නේ නැහැ. පසුගිය දවස්වල තිබ්බ දේශපාලන වාතාවරණ එක්ක ප්‍රසංග පවා පැවැත්වුණේ අඩුවෙන්.




දේශපාලන කටයුතු එක්ක සක්‍රියව හිටියද?




සක්‍රියව නැහැ. දේශපාලනික මම දරන මතය මගේ ළඟ තිබුණා. මේක අපේ සහ අපේ ළමයින්ගේ රට. මිනිසුන්ගේ හැමදේම රැඳිලා තියෙන්නේ රටේ දේශපාලනය මත. ඒ නිසා රටට හොඳක් වෙන්න ඕනේ. අපි හැමෝම සතුටින් ඉන්න ඕනේ. විදෙස් සංචාරවලට සෑහෙන රටවලට ගිය කෙනෙක් හැටියට මම ඒ ඒ රටවල පිළිවෙළ දැක්ක කෙනෙක්. ඒ දේවල් එක්ක බලද්දී දේශපාලනික සමාජයීය වශයෙන් හැම පැත්තකින්ම මේ රට හදන්න ඕනේ. දැන් අලුත් නායකයෙක් බිහිවුණා. බලන් ඉන්නවා ඉස්සරහට මොකද වෙන්නේ කියලා.




දීර්ඝ කාලයක් ඔබ සිටි සංගීත කණ්ඩායමෙන් ඉවත් වෙන්න හිතුවේ ඇයි?




අවුරුදු 5ක වගේ දීර්ඝ කාලයක් මම හිටිය සහරා ෆ්ලෑෂ් කණ්ඩායම එක්ක. මම දැන් සහරා ෆ්ලෑෂ් කණ්ඩායමෙන් ඉවත් වෙලා මගේම තනි ගමනක් යන්න සූදානම් වෙන කාලයක්. මගේ ඉදිරි ගමන එම්.ජී. ධනුෂ්ක විදියටම සුපුරුදු කලා ගමන ආරම්භ කරන්න තීරණය කළා. මොකද මගේ තියෙන වැඩ කටයුතු එක්ක සංගීත කණ්ඩායම එක්ක පූර්ණකාලීනව ඉන්න බැරි නිසා. ඒ නිසා තව දක්ෂයෙක්ට තැන දීලා මම පොඩ්ඩක් පැත්තකට වුණා.




හිතේ පොඩි දුකක් තියෙනවා වගේ?




දුකක් කියන්නේ කාලයක් තිස්සේ එකටම ඉඳලා පොඩ්ඩක් පැත්තකට වුණාට පස්සේ ඇතිවන හැඟීමක් විතරයි. ඒ හැර කිසිම හිත් අමනාපකමක් හෝ විශේෂයෙන් දුකක් කියලා දෙයක් නැහැ.




ආයේ වෙන සංගීත කණ්ඩායමකින් හෝ ඇරයුමක් ලැබුණොත්, ඒ ඇරයුම භාර ගන්නෙත් නැද්ද?




ඇරයුම් නම් ලැබුණා සෑහෙන්න. නමුත් මම හිතන්නේ සහරා ෆ්ලෑෂ් කණ්ඩායම කියන්නේ ලංකාවේ ජනප්‍රියම සංගීත කණ්ඩායමක්. මගේ ජීවිතේ සෑහෙන කඩඉම් පසු කළා. ජනප්‍රිය ගායකයෙක් විදියට ලංකාවේ ජනප්‍රියම සංගීත කණ්ඩායමක් එක්ක වැඩ කළා. ඒ නිසා ආයෙම සංගීත කණ්ඩායමක් එක්ක ගමනක් යන්න නම් මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඉදිරියට මගේ අලුත් වැඩ කටයුතු එක්කම ව්‍යපාර පැත්තට යොමු වෙන්න තමයි බලාපොරොත්තුව.




අලුත් නිර්මාණ කටයුතු මොනවද?




මගේම ගීත දෙකක් එන්න තියෙනවා. ඒ එක්කම ටෙලි නාට්‍යය ගීත කිහිපයක් එන්නත් තියෙනවා.




දැන් එම්.ජී. ධනුෂ්ක නළුවෙක් වෙලානේ?




ඔව්. රංගන ක්ෂේත්‍රයට මට පොඩි ඇරයුමක් ලැබුණා. හසුන් සමීරගෙන්. ඒ නිසා මේ දිනවල ITN නාළිකාවේ විකාශය වන ඔහුගේ අලුත්ම නිර්මාණය වන පාරාදීසේ නාට්‍යයේ ප්‍රධාන චරිතයකින් ප්‍රේක්ෂකයන් අතරට එන්න ලැබුණා.




කොහොමද රංගන අත්දැකීම?




දක්ෂ කලාකරුවන් රැසක් එක්ක මට වැඩ කරන්න ලැබුණේ. මට පුරුදු නැති රැකියාවක්. හැබැයි නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්න හැමෝගෙන්ම මට හොඳ සහයෝගයක් ලැබුණා.




ලැබෙන ප්‍රතිචාර ගැනත් කියමු




හොඳටම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. තාම මගේ චරිතය හරියටම මතු වුණේ නැහැ. දැන් තමයි වැඩේ එළියට එන්න ගන්නේ. ඉස්සරහට හොඳ නිර්මාණ ටිකක් බලා ගන්න පුළුවන්.




ඒ කියන්නේ දිගටම රඟපාන්න ද සූදානම?




රංගනයට මම හරි ආසයි. මම ඉතින් ඒ වෙනුවෙන් ලැබුණු අවස්ථාවෙන් උත්සහ කළා. මගේ පැත්තෙන් මම සාධාරණයක් කරලා තියෙනවා කියන ප්‍රතිචාරය මට ලැබෙනවා. සංගීතය තමයි මගේ ප්‍රධානම කලා මාධ්‍යය. ඒ අතරේ මට ගැළපෙන මට කරන්න පුළුවන් කියලා හිතෙන චරිතයක් මට ලැබුණොත් මම භාර ගන්නවා.




චිත්‍රපට පසුබිම් ගායනයට අවස්ථා ලැබුණද?




චිත්‍රපට කිහිපයකම ගීත ගායනා කළා. ගින්දරි චිත්‍රපටයෙත් මම ගීත ගායනා කළා. තව නිර්මාණ කිහිපයක් එන්නත් තියෙනවා.




ගමේ ඉඳන්ම ද කලා කටයුතු කරන්නේ




නැහැ. කලා කටයුතුවල‍ට පහසු නිසා වැඩ තියෙද්දී කොළඹ රැඳෙනවා. අනිත් හැම වෙලාවේම ගමේ තමයි ඉන්නේ. මොකද ඇඹිලිපිටියේ ඉඳන් යන එන එක ටිකක් අපහසුයි.




දැන් ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු කීයද?




ජනප්‍රිය කලාකරුවෙක් විදියට ඇවිත් අවුරුදු 10ක් වෙනවා. ඒ අවුරුදු 10 තුළ නැගිටීම් කඩාවැටීම් තුළින් සෑහෙන අත්දැකීම් ලබා ගත්තා. ඉතුරු කාලයේ සෑහෙන හොඳ නිර්මාණ කිහිපයක් කරන්න ඉන්නවා.




ජීවිතේ කඩාවැටීම් ඇති වුණේ මොනවා නිසා ද?




අපි හැමෝටම වැරදීම්, කඩාවැටීම් ඇතිවෙනවා. මම හිතන්නේ ඒ දේවල ගැන නිතරම කිය කියා ඉන්නවට වඩා හොඳම දේ මොන දේ වුණත් ආයෙමත් නැගිටින්න උත්සාහ කරන එක. සමහර වෙලාවට අපි ප්‍රමාණය ඉක්මවා මිනිසුන් ළංකර ගන්න යනවා. ඒ තැන්වලදී ප්‍රශ්න ඇති වෙනවා. කාලයක් මම කලාවෙන් ඈත් වෙලා ඉන්න වුණා. මට ආව නඩු ප්‍රශ්නයක් නිසා. ඒ ප්‍රශ්නයත් බලපාන්න ඇති මම යම් විදියකට සැඟවිලා ඉන්න.


ඒ කියන්නේ ඔබේ නොවන ගීත ඔබ ගායනා කරනවා කියන චෝදනාව


ඒක තමයි විශේෂම හේතුව. දැන් මම හිතන්නේ මේ හොඳම කාලය.




දැන් ඉස්සර වගේ යාළුවන්ව ඕනෑවට වඩා විශ්වාස කරන්නේ නැද්ද?




එහෙම යාළුවන්ටම දොස් කියන්න බැහැ. සමහර දේවල් අපිම හිතලා කළමනාකරණය කර ගන්න ඕනේ. මේ වෙලාවේ මම හැමදේම ජීවිතේට ළං කර ගන්නේ අවශ්‍ය ප්‍රමාණයට. දැන් මම ඒ හැමදේම තුළින් අත්දැකීම් ලබලා මගේම කියලා ගමනක් හදන්න ඕනේ. එම්.ජී. ධනුෂ්ක කියන්නේ මිනිස්සු හදපු චරිතයක්. ඒ නිසා ජීවිතේ මම ජීවත් වෙන තාක් කල් මිනිසුන්ට හොඳ දේවල් ටිකක් දීලා පුළුවන් තරම් සේවයක් කරන්න තමයි බලාපොරොත්තුව.




එම්. ජී. ධනුෂ්ක ආදරේ කියන දේ දකින්නේ කොහොමද?




ආදරේ කියන මාතෘකාව එක එක කැටගරිවලට බෙදන්න පුළුවන්. ඔයා කතා කරන්නේ ප්‍රේමය ගැන නිසා ඒ ගැන කියනවා නම් මිනිසුන්ට ජීවත් වෙන්න ආදරේ තියෙන්න ඕනේ. ආදරේ නැතුව ජීවත් වෙන්න බැහැ. ආදරේ විශ්වාසය සහ කැපවීම දරා ගැනීම ගරු කිරීම කියන සියල්ල එක්කයි ආදරේ රැඳිලා තියෙන්නේ. ඒ නිසා ආදරේ කියන දේ මිනිසුන්ට තිබිය යුතුම දෙයක්.




ඔබේ පවුලේ විස්තර කිව්වොත්?




මමත් මගේ බිරිඳ සහ දරුවන් එක්ක සතුටින් ඉන්නවා. මගේ දෙමාපියන් ඉන්නවා. ඒ අය වෙනුවෙන් ලොකු කැප කිරීමක් කරන්න ඕනේ. මගේ පවුලට සහ මගේ රටට හොඳ නමක් තියන්න ඕනේ. දැනට කලාකරුවෙක් විදියට නමක් තියෙනවා. ඒක තව ටිකක් බබළවන්න ඕනේ. බොහොම නිහතමානිව හෙමින් ගමනක් යනවා. මම කවදත් හෙමින් ගමනක් ආපු කෙනෙක්.




මේ තමයි එම්.ජී. ධනුෂ්කගේ හොඳම කාලය, එහෙම නේද?




ඔව්. අපි හැම වෙලාවේම හිතන්න ඕනේ එහෙම. මේ තමයි හොඳම කාලය කියලා අපිට හැම තිස්සෙම හිතන්න පුළුවන් නම් අපිට වරදින්නේ නැහැ. වැරදුණත් වැරැද්ද හදා ගන්න පුළුවන්. මම හිතන්නේ අද තමයි හොඳම දවස. මේ තමයි හොඳම වෙලාව කියලා. ඒක ඕනෙම මනුස්සයෙක් පුරුදු කර ගන්න ඕනේ හොඳ කාරණාවක්.




එම් ජී ධනුෂ්කට ආදරේ කරන ප්‍රේක්ෂක රසිකත්වයට කියන්න දෙයක් ඇති?




රට පැත්තෙන් ගත්තම කලාකරුවෙක් විදියට කියන්න තියෙන්නේ මොන මොන දේශපාලන මති මතාන්තර තිබුණත් අපි හැමෝම මේ රට රැක ගත යුතුයි. එතැනදී දේශපාලනඥයන්ට පමණක් ඇඟිල්ල දික් කරන්න බැහැ. තමන් ඉස්සෙල්ලම රටට ආදරේ කරන එක පරිසරයට ආදරේ කරන එක සහ හොරකම් නොකර ඉන්න එක හදාගන්න ඕනේ. හැමෝටම එක සේ ආදරේ කරන්න පුරුදු වෙන්න ඕනේ කියන එක. මගේ පැත්තෙන් කියනවා නම් කලාකරුවෙක් විදියට අපි කරන්න ඕනේ දේවල් ටිකක් තියෙනවා. අපි හැමදාම ජීවත් වෙන්නේ නැහැ. ජීවත්වෙන කාලේ හරිදේ කරගෙන ඉස්සරහට යන එකයි කළ යුත්තේ. මගෙන් ඉස්සරහට හොඳ නිර්මාණ බිහිවෙයි. ගෙදරින් පටන් ගත්තම ඉහළට යනකම් මාව මේ තැනට ගෙන්න කැප වුණු ලොකු පිරිසක් ඉන්නවා. වචනයකින් හරි උදව් කළ හැමෝටම මම හරි ආදරෙයි. මාව හැදුවේ මේ රටේ මිනිස්සු. ඒ මිනිස්සුන්ට මම හරි ආදරෙයි. මා එක්ක රැඳිලා ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ.



Previous Post Next Post