ට්‍රැක්ටරයෙන් විසිවුණා නම් තවමත් පෙරළෙනවා – පබෝධා සංදීපනි

 


ඇය අපට සිටින දක්ෂ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රංගන ශිල්පිනියක්. කුඩා කාලයේ සිටම රංගනය තුළින් ප්‍රේක්ෂකයන් අතරට ආ ඇය කලා පසුබිමකින් යුත් පවුලකින් පැවත එන්නියක්. මේ දිනවල ඇය රිදී තිරයේ ශ්‍රී සිද්ධා තුළින් ද පුංචි තිරයේ සින්ටෝ තුළින් ද ඔබ හමුවට එන්නීය. මෙවර මීවිත පිළිසඳර ඒ සුන්දර රංගන ශිල්පිනිය පබෝධා සංදීපනී සමගය.


පබෝධා මේ දවස්වල ජගත් චමිලටයි රිටිගල සුමේදටයි අංගම්පොර සටන් කියල දෙනවා කියන්නේ?


ඔව්, ඔව්. සරත් වීරසේකරගේ නවතම සිනමා නිර්මාණයේ සුගලාගේ චරිතය තමයි මම රඟපාන්නේ. මගේ චරිතයට අනුව එක දර්ශනයක තියෙනවා ජගත් චමිලටයි, රිටිගල සුමේදටයි අංගම්පොර සටන් කලාව කියල දෙන දර්ශනයක්. ඒක හරි ජනප්‍රියයි. ඒ දර්ශනය ගැන වෙන්න ඇති ඔය අහනවා ඇත්තේ.


සුගලාට ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාරද?


ඇත්තටම ගොඩක් හොඳයි. මමත් හරිම ආසාවෙන් රඟපෑ චිත්‍රපටයක්. මගෙයි ජගත් අයියගෙයි හරිම රසවත් දර්ශන කිහිපයක් තිබෙනවා. ලොකු දර්ශන ප්‍රමාණයක් නොවුණාට තිබුණ දර්ශන ටික හරිම රසවත්.


පිටපත අතට ලැබුණට පස්සේ මොකද හිතුණේ?


මීට කලින් සරත් අංකල් මාව ගාමණී චිත්‍රපටය සඳහා සම්බන්ධ කරගන්නත් හොයලා තියෙනවා. නමුත් ඒ දවස්වල මම කාර්යබහුල හින්දා ඒ චිත්‍රපටයට සම්බන්ධ වෙන්න හම්බ වුණේ නැහැ. ශ්‍රී සිද්ධා චිත්‍රපටය කරනකොට අම්මට කියලා තිබුණ දුවව පොඩ්ඩක් අරගෙන එන්න කියලත්. ඊට පස්සේ මම අම්මත් එක්ක ගියා. අන්තිමේ මම සුගලාගේ චරිතය භාර ගත්තා.


ශ්‍රී සිද්ධා චිත්‍රපටයේ අම්මයි දුවයි එකට රඟපානවා ඒ අත්දැකීම ගැනත් කතා කළොත්?


මම කොහොමත් අම්මත් එක්ක පොඩි කාලේ රඟපාලා තිබුණා. බලදේවගේ ලෝකයේ තමයි අපි දෙන්නා එකට රඟපෑවේ. ඊට පස්සේ මටයි අම්මටයි එහෙම එකට රඟපාන්න හම්බවෙලා නැහැ. මේ මම හිතන්නේ අවුරුදු ගණනාවකින් තමයි චිත්‍රපටයක එකට රඟපෑවේ. අපි දෙන්නාගේ සමේ වර්ණ දෙකක් හින්දා ගොඩක් වෙලාවට චිත්‍රපට අධ්‍යක්ෂවරු එහෙම එකට කාස්ට් කරන්නෙත් නැහැනේ. මට ගොඩක් වෙලාවට මොරින් අක්කා. කුසුම් අක්කා තමයි අම්මට හම්බවෙන්නේ. අම්මාගෙනුත් මගේ චරිතයට ලොකු සහයෝගයක් ලැබුණා. සෑහෙන කාලෙකට පස්සේ අපි දෙන්නට එකට රඟපාන්න චිත්‍රපටයක් ලැබුණා.


දිගු කාලයකට පස්සේ නේද චිත්‍රපටයක් තිරගත වෙන්නේ?


ඔව්. ගින්දරී චිත්‍රපටයෙන් පස්සේ තමයි ශ්‍රී සිද්ධා චිත්‍රපටය තිරගත වෙන්නේ. මම හිතන්නේ ගින්දරී චිත්‍රපටය තිරගත වුණේ 2022 වසරේදී. ඊට අවුරුදු දෙකකට පස්සේ තමයි ශ්‍රී සිද්ධා තිරගත වෙන්නේ.


අවුරුදු දෙකකට පස්සේ රිදී තිරයේ දකින කොට මොකද හිතුණේ?


ආසයි. චිත්‍රපටයක් කියන්නේ කොහොමත් විශේෂයිනේ. අනෙක් කාරණාව හොඳ නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබීම ගැනත් සතුටක් තියෙනවා.


මේ දවස්වල මොනවද කරන්නේ?


ලබන සතියේ චිත්‍රපටයක රූගත කිරීම් ආරම්භ කරනවා. ටෙලිනාට්‍ය දෙක තුනකට රංගනයෙන් දායක වුණා. ඔය අතරේ වේදිකා නාට්‍යයකට සම්බන්ධ වුණා. ඒකේ පුහුණුවීම් මේ දිනවල සිදු කරනවා.


දිගු කාලයකට පස්සේ වේදිකා නාට්‍යයක් භාරගෙන?


ඔව්. අවුරුදු පහළොවකට විතර පස්සේ තමයි වේදිකා නාට්‍යයක් භාරගත්තේ. ජයලත් මනෝරත්නගේ නව නිෂ්පාදනයක් වන මකරට කියන වේදිකා නාට්‍යයේ තමයි අන්තිමට රඟපෑවේ. ඊට පසුව තමයි වේදිකා නාට්‍යයක් භාරගත්තේ. මෙහි අධ්‍යක්ෂවරයා සහ පිටපත් රචකයා පුබුදු චතුරංග. සරත් කොතලාවල, අජිත් ලොකුගේ, කෝරලගේ සමන්, සාරංග දිසාසේකර මේ සඳහා රංගනයෙන් දායක වෙනවා. ඒ අත්දැකීමත් හරිම රසවත්.


මේ දවස්වල කාර්යබහුලද?


ඔව්. ටිකක් කාර්යබහුලයි. හැබැයි ඉතිං ඒකත් හොඳයි. වැඩක් කරමින් කාලය ගත වෙනවානේ.


පුබුදු චතුරංගගේ ආරාධනාව භාරගන්න විශේෂ හේතුවක් තිබුණද?


මට ලැබුණු වේදිකා නාට්‍ය ගොඩකට මම බැහැ කිව්වා. මොකද ඒක ලොකු වගකීමක්. චිත්‍රපට, ටෙලිනාට්‍ය නම් ප්‍රශ්නයක් නැහැනේ. කොහොම හරි කාලය වෙන් කරගෙන රූගත කිරීම් කරලා ඉවර කරන්න පුළුවන්නේ. වේදිකා නාට්‍යයක් කියන්නේ ලොකු අත්දැකීමක්නේ. ඉතිං ඒකත් එක්ක මම සෑහෙන කල්පනා කරල තමයි භාරගත්තේ. මොකද මේ ඉන්න පිරිසත් එක්කත් වැඩක් කරන්න මට ආසා හිතුණා. අනෙක් කාරණාව මේ වගේ වැඩක් භාරගත්තොත් අතරමඟ දාලා යන්නත් බැහැනේ.


ගෙවී ගිය කාලයේ මොනවද කළේ?


ගෙවී ගිය කාලයේ ටෙලිනාට්‍යවලට තමයි සම්බන්ධ වුණේ. පසුගිය මාසයේ මැතිවරණය හින්ද ගොඩක් වැඩ නැවතිලා තිබිලා දැන් මේ මාසයට ආවානේ. ඒකත් එක්ක තමයි ගොඩක්ම කාර්යබහුල වුණේ. අසංක සායක්කාරගේ ‘සින්ටෝ’ කියන්නෙත් වෙනස්ම නාට්‍ය අත්දැකීමක්. ඒ නාට්‍යය මේ දිනවල විකාශය වෙනවා. මේ දවස්වල සින්ටෝ නාට්‍යයටත් ගොඩක්ම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


රංගන ජීවිතය ගැන පසුවිපරමක් සිදු කළොත්?


මගේ ජීවිතයේ පුංචි කාලෙ ඉඳලම මට හිමිකම රඟපෑමෙනේ. එතකොට රංගනය, කලා ශිල්පීන් කියන්නේ මගේ ජීවිතයේ එක කොටසක්නේ.


රැකියාවකට වඩා මට මේ විෂයය ජීවිතයට සමීපයි කියලා තමයි හැඟෙන්නේ. රංගනය ජීවිතයෙන් වෙන් කරලා දකින්න මට අමාරුයි.


ඒ කාලේ තිබුණ ජනප්‍රියත්වය අද වෙනකොට අඩුවෙලාද?


අද වෙනකොට මට ලැබෙන ජනප්‍රියත්වය ගොඩක් වැඩිවෙලා කියලයි මට හැඟෙන්නේ. රසික ආදරය අපිට අවශ්‍යයිනේ. ඒ නිසානේ අපිට මෙවැනි නිර්මාණවලට ආරාධනා ලැබෙන්නේ. අපේ රටේ මිනිස්සු අපිව අගයන හින්දනේ අපි මෙතැන ඉන්නේ. ඒක සෑහෙන වටින දෙයක්. පුංචි කාලෙ ඉඳලම මම ඒක අත්විඳිනවා.


සම්මානනීය රංගන ශිල්පිනියක් වීම ගැන මොකද හිතෙන්නේ?


ඒක ඉතිං අගය කිරීමක්නේ. ඒ අගය කිරීම ගොඩක් වටිනවා. තමන් කරපු චරිතයකට වටිනාකමක් ලැබෙනවා කියන්නේ ලොකු දෙයක්නේ. සම්මානනීය නිළියක් වීම ලොකු ජයග්‍රහණයක්.


ශ්‍රී සිද්ධා ෂූටින් අත්දැකීම් ගැනත් කතා කළොත්?


ශ්‍රී සිද්ධා රූගත කිරීම් සිදු කළේ කුරුණෑගල වැනි අතිදුෂ්කර ප්‍රදේශයක. එතැනට යන්න බැහැ වාහනවල. ලොකු ට්‍රැක්ටර්වල තමයි දර්ශන තලවලට ගියේ. ට්‍රැක්ටර්වල නැඟලා කැලේ මැදින් තමයි යන්න ඕනෑ. ඒක ටිකක් බිහිසුණු අත්දැකීමක්. හාස්‍යජනක දර්ශනවලටනේ මට රඟපාන්න තිබුණේ. ත්‍රාසජනක අත්දැකීමකට කියල තිබුණේ ට්‍රැක්ටර්වල නැඟලා දර්ශන තලවලට යෑමයි. ට්‍රැක්ටරයෙන් විසිවුණා නම් තවමත් පෙරළෙනවා.


ඔබට ලැබෙන ආරාධනා ගැන තෘප්තිමත්ද?


මට ඇත්තටම හැමදාම වගේ හොඳ චරිත හම්බ වෙලා තියෙනවා. දැන් සමහරු අහන්නේ ඔයා කැමැති චරිත තියෙනවාද? මට කවදාකවත් එහෙම තිබිලා නැහැ ගොඩක් වෙලාවට. මම හිතපු නැති විදිහේ චරිත මට හම්බවෙලා තියෙනවා. ඉතිං මට ලැබෙන ඒ චරිත ගැන මම හරිම තෘප්තිමත්. පුංචි කාලෙ ඉඳලා අද වෙනකම් මම රඟපෑ හැම චරිතයකටම මම හරි ආසයි.


ක්ෂේත්‍රයට ඇවිත් දශක තුනක්. මොකද හිතෙන්නේ?


අපෝ… මම පුංචි කාලෙ ඉඳලනේ රඟපාන්නේ. හැමෝම කියන්නේ ඉදිරියට යන්න කියලනේ. මම හිතන්නේ අපිට ඉදිරියට නෙමෙයි අපි පොඩ්ඩක් පිටිපස්සට ගියා නම් ඒ කාලේ අපිට හොඳ සිනමාවක්, ටෙලිනාට්‍ය කලාවක්, වේදිකාවක් තිබුණා කියලයි මම හිතන්නේ. අපි ඉස්සරහට නෙමෙයි පිටිපස්සට ගිහිල්ලා පොඩ්ඩක් ආපසු හැරී බැලුවා නම් මට හිතෙන්නේ අපිට මාර දෙයක් ළඟා කරගන්න පුළුවන් කියලයි.


රංගනයට අම්මාගෙන් ලැබෙන්නේ මොනවගේ සහයෝගයක්ද?


අම්මාගෙන් තමයි ලොකුම සහයෝගය ලැබෙන්නේ. මම හිතෙන්නේ අපේ පවුලේ හැමෝටම ක්‍ෂේත්‍රයට එන්න මාර්ගය හදලා දුන්නේ අම්මානේ. අම්මනේ ඉස්සර වෙලාම ක්ෂේත්‍රයට ආපු කෙනා. ඉතිං එයාගෙන් තමයි මට ලොකුම සහයෝගය තියෙන්නේ. අදටත් එහෙමයි.


ඔබ අධ්‍යක්ෂණයට එන්න හිතලා නැතිද?


මම හිතන්නේ තවම ඒක කරන්න බැහැ. මොකද අධ්‍යක්ෂණය කියන්නේ සුළුපටු දෙයක් නෙමෙයිනේ. එහෙම හිතුන හිතුන පළියට අධ්‍යක්ෂණය කරන්න බැහැනේ. නමුත් කාලයක් යද්දී මොනවා කරාවිද කියන්න බැහැනේ. අනික හෙට වෙනදේ ගැන අද කියන්න බැහැනේ. නමුත් තවම මට බැහැ කියලයි හිතෙන්නේ.


ක්ෂේත්‍රයට නවක මුහුණු රැසක් ඇවිත් තියෙනවා. මොකද ඒ ගැන හිතන්නේ?


අලුත් කට්ටිය දක්ෂයි. ක්ෂේත්‍රයට නවකයො එන එක හොඳයි. නමුත් වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගෙන් හරි වැඩක් ගන්නේ නැති එකයි. ඔවුන්ට හරියට මේක ඇතුළේ පය ගහලා ඉන්න ඒ ගොල්ලන්ගෙන් ගන්න ඕනෑ වැඩේ හරියට ගන්නේ නැහැ. ඉතිං ඒකත් එක්කයි ප්‍රශ්න තියෙන්නේ. නැත්නම් දැන් එන අලුත් අය හරි ලස්සනයි. දක්ෂයි. අලුත් පරපුරට දැන් හැමදේම පුළුවන්. අවස්ථාවත් තියෙනවානේ.


අද වෙනකොට පිටපත් තෝරා බේරා ගැනීමක් සිදු කරනවාද?


ඔව්. තෝරා බේරා ගැනීමක් සිදු කරනවා. ගොඩක් වෙලාවට චරිතයකට ආසා හිතුණොත් තමයි සම්බන්ධ වෙන්නේ. සමහර කාල තියෙනවානේ නිර්මාණ එනවා, එනවා භාරගන්න බැරි තරමට කියලත්. ඉතිං මේ දවස්වල තියෙන්නේ ඒ වගේ කාලයක්.


පබෝධා ජීවිතය දකින්නේ කොහොමද?


ඕනෑම කෙනකුගේ ජීවිතය ඒකාකාරී නැහැ. විවිධ හැලහැප්පීම්. සතුට, දුක කියන හැම දේකම සංකලනයක්නේ. මම ආපු ගමන ගැන මට හරිම සතුටුයි. ශක්තිවන්තව මම ජීවිතයට මුහුණදීලා තියෙනවා. මම ගැන මට හරි හැපී. මේ වෙනකම් මම මගේ ජීවිතයේ දේවල් කරගෙන ඔළුව උස්සාගෙන මේ ගමන ඇවිත් තියෙනවා.


දිනේෂ් විතාන



Previous Post Next Post