චාරිකාගේ චරිතය සැබෑ ජීවිතයේ මට සමීපයි -සුභානි දිල්රුක්ෂි



 හිරු රූපවාහිනී සේවය (හිරු ටී.වී.) මඟින් දියත් කළ හිරු අවුරුදු කුමරිය දෙදහස් විසි තුන (2023) තරඟය ඔබට මතකද ? එහි සේයා රුවැත්තිය ලෙස තේරී පත් වෙමින් ඇය ජයග්‍රාහී කිරුළක් හිමිකර ගත්තාය. පාසල් කාලයේ සිටම ඈ නර්තනය, රංගනය සහ නිවේදනය යන කලාවේ විවිධ අංශවල දස්කම් දැක්වූවාය. ඒ අයුරින් කලාවේ පැමිණි ගමනේ අද වන විට නවක රංගන ශිල්පිනියක් ලෙස තම හැකියා දක්ෂතා ප්‍රකට කරමින් ඉතා කෙටි කලක් ඇතුළත ප්‍රේක්ෂක හදවත් දිනා ගන්නට ඇය සමත්ව සිටින්නීය. එමෙන්ම යහපත් ගතිගුණ වලින් හෙබි නිහතමානී පුහු ආටෝපයක් නැති යෞවනියකි. දෙරණ රූපවාහිනී සේවය (ටී.වී.දෙරණ) මඟින් සතියේ දිනවල රාත්‍රී නවයට (9.00) විකාශය වන ‘නිකිණි කුසුම්’ ටෙලි නාට්‍යයෙන් ඈ අප හමුවන්නීය. එහි දඟකාර කටකාර මුරණ්ඩු ආදරවන්තිය වන චාරිකාගේ (සුදුගේ) චරිතයට ඇය පණ පොවන්නීය. රුවන්පුරයෙන් බිහි වූ නිල් මැණිකක් වන ඇය නමින් සුභානි දිල්රුක්ෂිය.


ගම කොහෙ ද?


ගම රත්නපුර බළංගොඩ දැනට මම ඉන්නේ නුගේගොඩ.


පවුලේ විස්තර කිව්වොත්


තාත්තයි, අම්මයි, අක්කයි, මමයි. මම පවුලේ බාලයා.


ඉගෙන ගත්තේ


ඕ ලෙවල් (O/L) කළේ මැද්දේකන්ද මහා විද්‍යාලයෙන්, ඊට පසුව ඒ ලෙවල් (A /L) සඳහා බලංගොඩ ආනන්ද මෛත්‍රී ජාතික පාසලට යනවා.


ඔයා කැම්පස් යනවා නේද?


ඔව් මම 2016 වසරේදී ඒ ලෙවල් (A /L) වලින් කැම්පස් තේරෙනවා කලා අංශයෙන් ඒ තුනක් (ඒ -3) අරගෙන ..


සුභානි එන්නේ මොන විශ්වවිද්‍යාලයටද ?


මම කැලණිය විශ්වවිද්‍යාලයට තමා තේරෙන්නේ.


එතැනදී ඔයා තෝරාගන්නා විෂයන් මොනවාද?


මම කලා අංශයෙන් තමයි උසස් පෙළ කළේ, කැම්පස් එකේදී මහජන සම්බන්ධතා මාධ්‍ය කළමණාකරණය විශේෂවේදී උපාධිය සම්පූර්ණ කලා.


දැන් උපාධිය අරන් ඉවරද?


ඔව් මම දෙදහස් විසිතුන (2023) වසරේදී තමා උපාධිය ලබා ගන්නේ. දැන් එම්.ඒ. උපාධියට අදාළ වැඩිදුර අධ්‍යාපන කටයුතු කරගෙන යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.


දැන් සුභානි රැකියාවකුත් කරනවා නේද?


ඔව් අයියා මම දැනට පෞද්ගලික විශ්වවිද්‍යාලයක තමා රැකියාව කරන්නෙ.


මේ උපාධියත් අරන් ඉස්සරහට මොකද කරන්නේ ?


අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරියට වැඩ කරන්න කැමති..අපි බලමු නේද?


සුභානි කලාවට එන්නේ කොහොමද?


මම 2023 වසරේදී හිරු සේයා රූ කුමරිය ලෙස ජයග්‍රහණය කළාට පස්සේ තමයි මට කලාවට එන්න අවස්ථාව ලැබෙන්නේ. මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ සුරේෂ් පල්ලිය ගුරු මල්ලි සහ සහාය අධ්‍යක්ෂක සුමුදු අයියාවත්, ඔවුන් හරහා තමයි මම මුලින්ම කලාවට සම්බන්ධ වුණේ.


ප්‍රථම රංගනය ගැන කිව්වොත්


මේ දවස්වල දෙරණ රූපවාහිනී නාලිකාවෙන් විකාශය වන නිකිණි කුසුම් ටෙලි නාට්‍යයේ තමා මම ප්‍රථමයෙන් රඟපාන්නේ.


හා හා පුරා කියලා කැමරාවක් ඉස්සරහට ගිහින් රඟපානකොට මොකද හිතුණේ,


ඇත්තටම මුලින් බයක් දැනුණා. නමුත් අධ්‍යක්ෂක තුෂාර සර් වගේම මට ඒ ටීම් එකේ අය හැමෝම ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඒ නිසා ගොඩාක් පහසු වුණා මේ නාට්‍යයේ වැඩකරන්න.


සුභානි ඒ නාට්‍යයේ රඟපාන චරිතය ගැනත් කියමු


චාරිකා කියන චරිතය. ඇය දඟකාර, කටකාර, මුරණ්ඩු චරිතයක්.. ධනුෂ්කගෙන් කැමැත්ත බලාපොරොත්තුවෙන් ඔහුට කරදරයක් වෙන, මුරණ්ඩු ආදරවන්තියෙකුගේ චරිතයක් තමා ඒක.


මේ චරිතයේ දී සුභානිගේ ඇත්ත ජීවිතේත් සමානකම් එහෙමත් තියෙනවද?


මම මගේ පවුලේ බාලයානේ, ඉතින් අම්මා, තාත්තා, අක්කා හැමෝම මට ගොඩක් ආදරෙයි. ඒ නිසාම වෙන්න ඇති දඟකාරකම කටකාරකම වගේ දේවල් මටත් ඇත්ත ජීවිතේ තියෙනවා.


රඟපාන්න ආසාවෙන් ඉන්න චරිත තියෙනවද?


ආදරණීය චරිත, දඟකාර චරිත, ටැමිල් චරිත වගේ චරිතවලට ආසායි. නමුත් මට ලැබෙන චරිත අනුව ඒවා තෝරා බේරාගෙන, මට සාධාරණයක් කරන්න පුළුවන් කියලා විශ්වාසයක් දැනෙන චරිත ලැබුණොත් භාර ගන්නවා. තවත් ටෙලිඩ්‍රාමා දෙකක් සදහා ආරාධනා ලැබිලා තියෙනවා, බලමු ඉතින් ඉස්සරහට,


අපි ඔයාගේ පෞද්ගලික ජීවිතේ ගැනත් කතා කරමු .දැන් වයස කීයද?


මට දැන් වයස අවුරුදු විසි හයයි.(26)


සුභානි මේ වෙනකොට පෙම්වතියක්ද? ඔව් නම් විස්තර කියමු.


අපි ඒ ගැන පසුවට කතා කරමු නේද?


මොන වගේ කෙනෙක්ද හොයන්නේ? කලාවේ අයෙක්ද?වෙනත් ක්ෂේත්‍රයක අයෙක්ද හොයන්නේ?


මට මම වෙලා සතුටින් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් එක්ක ජීවත් වෙන්න ආසයි…එයාගේ රැකියාව ක්ෂේත්‍රය ගැන මම හිතන්නෙ නැහැ.. මාව තේරුම් අරගෙන සතුටින් ජීවත් වෙන එකනේ වැදගත් වෙන්නෙ..


සුභානිට ගෙදරින් ඒ සඳහා කෙනෙක් හොයන්නේ නැද්ද?


ගෙදරින් ලොකු බලපෑමක් නෑහැ ඉතින්..


එතෙකාට විවාහය සිදුවන්නේ කවදා වගේද?


අනේ තවම එහෙම තීරණයක් අරගෙන නැහැ..


අනාගත බලාපොරොත්තු මොනවාද ?


බලාපොරොත්තු ගොඩාක් තියෙනවා..ඒ වෙනුවෙන් මහන්සි වෙනවා..අපි බලමුකො ඉතින්.


අවසාන වශෙයන් සුභානිට යමක් කියන්න තියෙනවද?


මේ ජීවිතේ හරිම ලස්සනට මට ඉස්සරහට එන්න වචනෙකින් හරි උදව් කරපු හයියක් වුණු හැමෝටම හරිම ආදරෙයි..



Previous Post Next Post