මම ආස කරන්නේ චරිතාංග නළුවෙක් වෙන්න - චතුර රාජපක්ෂ



චතුර රාජපක්ෂ කියන්නෙ නව පරපුරේ දක්ෂතා සපිරි රංගන ශිල්පියෙක් බව ඔහු මේ වෙද්දි කළ චරිතයන් තුළින් පෙන්නුම් කර තිබෙනවා. තමන්ට ලැබෙන ඕනෙම චරිතයකට සාධාරණයක් කරන ඔහු අපිට ඉන්න දක්ෂ චරිතාංග රංගන ශිල්පියෙක්. මේ දිනවලත් ඔහු නාළිකා ත්‍රිත්වයක එකිනෙකට වෙනස් වූ චරිත තුළින් ප්‍රේක්ෂකයින් අතරට එනවා. ඒ ගැන වගේම ඔහුගේ කලා ලොවේ සහ පෞද්ගලික ජිවිතේ ගැන කළ කතාබහකි මේ.


මේ දවස්වල මොකද වෙන්නේ…?


හිරු නාළිකාවේ රැල්ල වෙරළට නාට්‍යය විකාශය වෙනවා. ITN නාළිකාවේ රොන් නාට්‍යයත් විකාශය වෙනවා. ඒ එක්කම අසංක සායක්කාරගේ සින්ටෝ කියන නාට්‍යය පටන් ගන්නවා ස්වර­්ණවාහිනියේ. මේ දවස්වල නම් ඔය නාට්‍යය තුනේ තමයි වැඩ.


එකිනෙකට වෙනස් වූ චරිත තුනක්. කොහොමද ලැබෙන ප්‍රතිචාර?


ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේ නාට්‍යය තුනේ මම කරන්නේ එකිනෙකට වෙනස් චරිත තුනක්. මම ගොඩක් ආත්ම තෘප්තියක් ලබනවා මේ විදිහට වෙනස් චරිතවලින් ප්‍රේක්ෂකයා අතරට යන්න ලැබීම ගැන. මඟ තොටේදී වුණත් ප්‍රේක්ෂකයින් මාව හඳුනාගෙන මම කරපු චරිත ගැන කතා කරනවා. ඒ දේවල් එක්ක අහිංසක සතුටක් තියෙනවා.


මේ කාලේ වැඩියෙන්ම ප්‍රතිචාර ලබන චරිතය මොකක් ද?


රැල්ල වෙරළට නාට්‍යයේ ජූඩ්ට. ඒ නාට්‍යයේ මම කරන්නේ විලන් චරිතයක්. හැබැයි දැන් ඒ චරිතය පොඩ්ඩක් වෙනස් වෙලා ප්‍රශ්න ගොඩකට මැදිවෙලා ඉන්නේ. ඒ ප්‍රතිවිරෝධී චරිතය ඇතුළේ එයාගේ ආදරේ කියන එක ස්ථානගත වෙන කාලයක්. ඒ නිසා රැල්ල වෙරළට නාට්‍යයට වැඩි ප්‍රතිචාර ලැබෙනවා. ඒ එක්කම රොන් නාට්‍යයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


චතුර කියන්නේ සැබෑ ජීවිතෙත් හිතුවක්කාර දඩබ්බර චරිතයක් ද?


ඔව්. අම්මා එහෙම කියනවා. මම හිතන්නේ මගේ සමාජ වටපිටාව එක්ක ඒ ආභාසය එන්න ඇති කියලා.


දඩබ්බරකම නිසාම ජිවිතේ ප්‍රශ්න ඇති කර ගත්ත අවස්ථා තියෙනවද?


මම හිතුවක්කාර තීරණ අරන් තියෙනවා. මගේ වෘත්තිය හරියට තෝරා ගන්නත් මට ටික කාලයක් ගියා. පොඩි කාලේ ඉඳන් ආස කළේ නළුවෙක් වෙන්න. හැබැයි මගේ තිබ්බ හිතුවක්කාර සහ කලබලකාරී තීරණ නිසා වෙන වෙන වෘත්තීන්වලත් මම නියැළුනා. දැන් මම මට ගැළපෙන වෘත්තියට ඇවිත් තියෙනවා.


රංගන ශිල්පියෙක් වෙන්න ආවේ කොයි අවුරුද්දේද?


2009 තමයි මුලින්ම මම නාට්‍යය කරන්නේ. 2009 ඉඳන් මම රංගනය ඉගෙන ගන්නවා. මුල්ම නාට්‍යය කළාට පස්සේ තේරුම් ගියා රංගනය කියන්නේ හැදෑරිය යුතු විෂයක් කියලා. ඒ නිසා මම හිතුවා මේ විෂය හැදෑරුවොත් තමයි මටත් මේ රංගන ශිල්පියාව හොයාගන්න පුළුවන් කියලා. එතැනින් පස්සේ මම ගියා අනෝජා වීරසිංහ මහත්මියගේ අභින වැඩමුළුවට, අතුල ජයසිංහගේ වැඩමුළුවට සහ මහේන්ද්‍ර පෙරේරාගේ ඇක්ටින් ස්කුල් එකට. ඒ තැන්වලදී තමයි මේ රංගනය තුළ ඉන්න නළුවාව මුණ ගැහුණේ. හැබැයි මම හිතන්නේ මට තව ගොඩක් දේවල් ඉගෙන ගන්න තියෙනවා කියලා.


රංගන ශිල්පියෙක් වෙන්න අමාරුයි වගේම තමා ඊට වඩා අමාරුයි ස්ථාවරව පවතින එක. මේ ගැන චතුර දකින්නේ කොහොමද?


ඇත්තටම මට නම් දැනුණේ, නළුවෙක් වෙන්න පුළුවන් රංගන ශිල්පියෙක් වෙන්න තමයි අමාරුම. ඒ එක්කම ඊට වඩා අමාරුම දේ ඔබ කිව්වා වගේ මේ තුළ ස්ථාවරත්වයක් හදා ගන්න එක. ඒකට අධ්‍යනය තුළ නියැ­‍ෙළන්නම ඕනේ. මම වාසනාවට වඩා විශ්වාස කරන්නේ අපේ දක්ෂකම සහ අපි ඒ වෙනුවෙන් කැප කරන දේ. මට රංගනය හැදෑරීම තුළම තමයි රංගන ශිල්පියා සහ රංගන ශිල්පියාගේ පැවැත්ම තේරුම් ගියේ. මම අලුතෙන් එන අයට සහ ඉන්න අයට වුණත් කියන්නේ මේක හැදෑරීමක් ඇතුව ගියොත් තමයි අපිට හොඳ කලාවක් බිහි කර ගන්න පුළුවන් වෙන්නේ.


චතුර කියන්නේ රංගනයේ දී ඕනෙම අභියෝගයක් භාර ගන්න කෙනෙක් ද?


ඔව්. මම මගේ රංගන ශිල්පියා තුළ මේ සමාජයට පණිවිඩයක් දෙන්න පුළුවන් චරිතයක් නම් ඒ චරිතය මම භාර ගන්නවා. මම ආස කරන්නේ චරිතාංග නළුවෙක් වෙන්න.


සිනමාවට දායක වෙන්න ලැබුණු අවස්ථා මොනවද?


මේ වෙද්දී චිත්‍රපට දෙකකට මම දායක වෙලා තියෙනවා. දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කළ ගිරිවැසිපුර සහ තිසර ඉඹුලානගේ මෝඩ තරිඳු චිත්‍රපටය.


හිතුවක්කාර දඩබ්බර චරිතයක් කියලා අම්මා කියනවානේ. අද ඉන්න තැන ගැන අම්මා මොකද කියන්නේ…?


අම්මා ගොඩක් සතුටු වෙනවා. අම්මාට වුණත් පොඩි බයක් තිබුණා මම මොන පැත්තකට යයි ද, මොන වගේ වෘත්තියක් තෝරා ගනීද කියලා. හැබැයි අම්මා තාත්තා දෙන්නම මුල ඉඳන්ම දැනන් හිටියා මගේ ඇතුළේ රංගන ශිල්පියෙක් ඉන්නවා කියන එක. දැන් මාව ටීවී එකේ දකිද්ද්දී ලොකු සතුටක් ඒ දෙන්නා ලබනවා. එනිසා මේ ක්ෂේත්‍රයෙන්ම ඉදිරියට යන්න කියන ආශිර්වාදය තියෙනවා.


චතුර මේ කාලේ ආදරේ කරන, ආදරේ ලබන කෙනෙක් ද?


ඔව්. ආදරය කරන සහ ආදරේ ලබන කෙනෙක්. ඇයත් කලාවට සම්බන්ධයි.


ආපස්සට හැරිලා බලද්දී අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?


මට ගොඩක් සතුටුයි. මගේ ඇතුළේ හිටිය කෙනාව එළියට ගන්න සහ මම කැමැත්තෙන් ඉන්න දෙයක් මගේ වෘත්තියක් බවට පත් කර ගන්න ලැබීම ගැන මම ගොඩක් සතුටුයි. මේ මම කැමතිම දේ නිසා මේ වෙනුවෙන් මට ඕනෙම කැපකිරීමක් කරන්න පුළුවන්.


අනුෂා රණසිංහ



Previous Post Next Post