කවදහරි අවංක පොලිස් නිලධාරියෙක් - අබිරු දින්තරු

 


හපනුන්ගෙන් පිරුණු ලොවක පුංචි පුංචි හපනුන්ගේ හපන්කම් බොහොමයි. දඟකාරකම්, කටකාරකම් ළමා ලෝකයට අමුතුම හැඩයක් ගෙන දෙනවා. බොහෝ දෙනකුගේ විඩාබර මනසට පොඩිත්තන්ගේ සොඳුරු හපන්කම් දිව ඔසුවක් කරගන්නේ නිරායාසයෙන්. මේ කතාබහ ටෙලි තිරයේ දක්ෂතා


පෙන්වන සොඳුරු පොඩිත්තකු සමඟයි. මේ දිනවල විකාශය වන “අකුරට යන වෙලාවේ” “බුංජා”ගේ චරිතයට පණ පොවන ඔහු නමින් අබිරු දින්තරු කරුණාතිලක. පුතා මේ දිනවල මොකද කරන්නේ?


මේ දවස්වල නම් “අකුරට යන වෙලාවේ” ටෙලි නාට්‍යයේ වැඩකටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්නවා. පාසලේ පාඩම් වැඩකටයුතුත් හොඳින් කරගෙන යනවා.


“අකුරට යන වෙලාවේ” බුංජාගේ චරිතය ගැන විස්තර ටිකක් කියමුද? 


බුංජා කියන්නේ පාසලේ චණ්ඩි චරිතයක්. ටිකක් දුෂ්ට, චණ්ඩි ළමයෙක් වුණත් බුංජාටත් සංවේදී හැඟීම් දැනීම් තිබෙනවා. බුංජා චණ්ඩි ළමයකු වන්නේ ගෙදරින් ගොඩක් ආදරය නොලැබෙන නිසා.


පුතාට “බුංජා”ගේ චරිතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ප්‍රතිචාර නම් ගොඩක් හොඳයි. ගොඩක් අය හොඳට ලස්සනට රඟපානවා කියනවා. ගොඩක් අය ආසාවෙන් ටෙලිඩ්‍රාමා එක බලනවාලු. ටීචර්ස්ලා එහෙමත් ගොඩක් හොඳයි කියලා කියනවා.


පුතා මුලින්ම රංගනයට සම්බන්ධ වෙන්නේ කොහොමද?


මම මුලින්ම ‘සුපර් හීරෝ’ කියන රියැලිටි වැඩසටහනට ගිහින් එහි අන්තිම 16 දෙනා අතරට මමයි මගේ මල්ලියි දෙන්නම තේරී පත්වුණා. ඊට පස්සේ ප්‍රභාත් රෝෂන් මාමගෙ ‘හඳයා’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.


පුතා මෙතෙක් රංගනයෙන් දායක වූ නිර්මාණ ගැනත් මතක් කරමු?


මුලින්ම ප්‍රභාත් රෝෂන් මාමගේ හඳයා ටෙලි නාට්‍යයේ “දාබ‍රේ”ගේ චරිතයට තමයි මම රඟපෑවේ. ඒ වගේම නිවන්ත ප්‍රසාරගේ මාමගේ පෝය ටෙලි ඩ්‍රාමවලත් රඟපෑවා. චාමර ජයවීර මහතා අධ්‍යක්ෂණය කළ දිවිතුරා ටෙලි නාට්‍යයේ ‘කෝලිකුට්ටු සහෝදරයො’ විධියට තමයි ගොඩක්ම ප්‍රතිචාර මට ලැබුණේ. මමයි මගේ මල්ලියි නිවුන් සහෝදරයෝ. අපි දෙන්නම ගොඩක් නිර්මාණවලට එකටම රඟපෑවා. ‘කෝලිකුට්ටු සහෝදරයෝ’ විධියට රඟපෑමෙන් ගොඩක් ප්‍රේක්ෂක ප්‍රතිචාර වගේම ජනප්‍රියත්වයත් ලැබුණා.


සිනමා නිර්මාණවලින් චන්න දේශප්‍රිය මාමගෙ දුස්රා චිත්‍රපටයේ තමයි මම මුලින්ම රඟපෑවේ. ඒ චිත්‍රපටය මේ දිනවල තිරගත වෙනවා. ඒ වගේම ඉදිරියේදී තිරගතවීමට නියමිත ලක්ෂ්මන් පුෂ්පකුමාර සර්ගේ ලංකාවේ පළමු බාලදක්ෂ චිත්‍රපටය වන “මීදුම් තරණය” චිත්‍රපටයේත් රඟපානවා. ලක්ෂ්මන් පුෂ්පකුමාර සර්ට අපි ගැන කියලා තිබුණේ දුලීකා මාරපන නැන්දයි, සුජීව මාමයි තමයි. ඒ දෙන්නටත් මම ගොඩක් ස්තූතිවන්න වෙනවා. ඒ වගේම මම ඒ දෙන්නටම ගොඩාක් ආදරෙයි.


පුතාගේ පෞද්ගලික තොරතුරු ටිකක් කියමුද?


මම පානදුර රාජකීය විද්‍යාලයේ නවය ශ්‍රේණියේ තමයි ඉගෙනුම ලබන්නේ. මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, මල්ලියි, මමයි, සීයයි, ආච්චියි. වයස අවුරුදු හතේදී කලාවට ආවේ. 2017 අවුරුද්දේ හිරු සුපර් හීරෝ රියැලිටි වැඩසටහන හරහා තමයි ආවේ.


පුතාට පුතාගේ පවුලෙන් ලැබෙන සහයෝගය ගැනත් මතක් කරමුද?


මාව අම්මයි තාත්තයි තමයි ෂූටින් එක්කරගෙන යන්නේ. ඒ වගේම මගේ මාමලා තුන්දෙනා, පුංචි ආච්චි, බාප්පා, සීයා හැමවෙලේම මගේ පිටුපසින් ඉඳන් මට හැමදේටම උදවු කරනවා. මගේ මල්ලි මට පාසල් යන්න බැරිවන දවස්වලදී පාඩම් වැඩ මට කියලා දෙනවා.


ඒ වගේම නදීෂා රාමනායක නැන්දත් මගේ පවුලේ කෙනකු වගේ මට හැමදේටම උදවු කරනවා.‍


රංගන කටයුතුවලදී සිදු වූ අමතක නොවන සිදුවීම් එහෙම තිබෙනවාද?


මීදුම් තරණය චිත්‍රපටයේ  රඟපෑම් කටයුතු අතරේදී අපි බඹරකන්දේ ඉහළටම ගියා. ඒ යන ගමනේදී ලෙස්සලා වැටුණු අවස්ථාවන් කවදාවත්ම අමතක වෙන්නේ නැහැ. අකුරට යන වෙලාවේ ටෙලිඩ්‍රාමා එකේදී මට පාරේ මිනිස්සු ඉස්සරහා නටන්න වුණා. ඒ දේවල් දැන් මට රසවත් මතකයන්.


පුතාගේ අනාගත බලාපොරොත්තුව ගැනත් මතක් කරමු?


මම කවදා හරි අවංක පොලිස් නිලධාරියකු වෙන්න තමයි ආසාවෙන් ඉන්නෙ. රඟපාන්නත් මම හරිම කැමැතියි. ඒ ක්ෂේත්‍ර දෙකෙන්ම ඉදිරියට යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.


රුවිනි අමරකෝන්



Previous Post Next Post