සටන් කරද්දි අවදානමක් ගත්තා – දිනෙත් ද සිල්වා

 


නිරූපණ ශිල්පියෙක් ලෙස කටයුතු කරන දිනෙත් ද සිල්වා කාලයත් එක්ක රංගන ක්‍ෂේත්‍රයට යොමු වෙනව. ඔහුගේ ආරම්භය සිද්ධවෙන්නෙ ‘ආලෝකෝ උදපාදි’ සිනමා නිර්මාණය හරහා. ඉන් පසුව බොහෝවිට ඔහු සොයා පැමිණියේ එෛහාසික නිර්මාණ.

පසුගිය දා තිරගතතවීම ආරම්භ වුණ ‘ශ්‍රී සිද්ධා’ සිනමා නිර්මාණයේත් ඔහුට ලැබෙන්නෙ මහා විජයබාහු රජතුමාගේ චරිතය. මේ, ඒ වෙනුවෙන් මීවිත වෙනුවෙන් දිනෙත් සමග අප කළ කතාබහක සංක්‍ෂිප්තයයි.



දිනෙත්, ශ්‍රී සිද්ධා රංගනය වෙනුවෙන් කොහොමද ලැබෙන ප්‍රතිචාර?


මේ අපේ රටේ සිදුවුණ සත්‍ය සිදුවීමක් අලළා නිර්මාණය වුණ එකක්. දැනට අපි මේ චිත්‍රපටය කරල දැනට අවුරුදු පහකටත් වැඩියි. වැඩ අවසන් වුණ දවසෙ ඉඳන් රසිකයො අපෙන් ඇහුවෙ කවදද මේ නිර්මාණය තිරගත වෙන්නෙ කියල. නමුත් රටේ ඇතිවුණ විවිධ ප්‍රශ්න නිසා තිරගතවීම ප්‍රමාද වුණා. කියන්න සතුටුයි, තිරගතවීම ඇරඹුණ දා පටන් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනව.


ඔබ ජීවය දෙන්නෙ එෛතිහාසික චරිතයකට. කොහොමද මේ වෙනුවෙන් සූදානම් වුණේ?


ඇත්තටම ශ්‍රී සිද්ධා කියන්නෙ මම බොහොම ආසාවෙන් සහ කැපකිරීමෙන් කරපු නිර්මාණයක්. මේ චිත්‍රපටය පුරාවටම සටන් ජවනිකා තියෙනව. මේ වෙනුවෙන් මෙහි කුමාරයාගේ ආරක්‍ෂකයා ලෙස කටයුතු කරන බුදල්නාගේ චරිතය නිරූපණය කරන රිටිගල සුමේධ ගුරුන්නාන්සේ යටතේ මාසයක් පමණ පුරුදු පුහුණුවීම් සිදුකළා. මොකද යුද ජවනිකා වැඩි නිසා ඇතැම් අවස්ථාවල ඇත්තම ආයුධ පාවිච්චි කරන්න සිදුවෙනව. ඒ වගේ අවස්ථාවකදි සුළු වැරදීමක් හරි වුණොත් විශාල අනතුරක් වෙන්න පුළුවන්. ඒ වගේම යම් යම් අතපසුවීම් සිදුවෙලා තුවාල සිදුවුණ අවස්ථාත් නැතිව නෙමෙයි.


සටන් ජවනිකාවලදි අවදානම් දේවල් සිදු වුණාද?


අපි සටන් කරන්නෙ සතුරු හමුදාවක් එක්ක. එතැනදි ගොඩක් අනතුරු වෙන්න පුළුවන්. නමුත් අපි හොඳින් පුරුදු පුහුණු වුණ නිසා පුංචි පුංචි අනතුරු විතරයි අපිට සිදුවුණේ. ඒ වගේම ගුරුන්නාන්සේගේ පිරිසත් එක්ක සටන් කරද්දි අවදානමක් ගත්තත් අනතුරක් වෙන්න තිබුණ ඉඩකඩ අඩුයි. මොකද ඔවුන්ට මනා පුහුණුවක් තියෙන නිසා. කොහොම වුණත් වැරදීමකින් මගේ පා පහරක් වැදිල ඒ ටීම් එකේ මල්ලි කෙනෙක් රෝහල්ගත කරන්නත් සිදු වුණා.


මේ අවුරුද්ද තුළ ඔබේ චිත්‍රපට බොහොමයක් තිරගත වුණා?


ඇත්තටම ඒ ගැන බොහොම සතුටුයි. ඒ වගේම පොඩි කනගාටුවකුත් තියෙනව. මොකද මේ නිර්මාණය රූගත කළේ අවුරුදු ගාණකට කලින්. ඒ කාලෙම තිරගත කරන්න පුළුවන් වුණානම් නිෂ්පාදකවරුන්ට තවත් නිර්මාණයක් කරන්න අවස්ථාව තිබුණා. ඒ වගේම තාක්‍ෂණික පැත්තෙන් ගත්තත් එදාට වඩා අද තත්ත්වය වෙනස්.


තිරගත නොවුණ නිර්මාණ ගැන කතා කළොත්?


මම රංගනයෙන් දායක වුණ තවත් සිනමා නිර්මාණ දෙකක් තිරගතවීමට නියමිතව තියෙනව. ඒ අතරින් ජයන්ත චන්ද්‍රසිරි මහත්මයාගෙ ‘දේවී කුසුමාසන’ ලබන ජනවාරි මාසයේ තිරගත වන බවට ආරංචියක් තියෙනව. අපි බලමු ඉදිරියේදි.


ටෙලි නාට්‍ය සඳහා ආරාධනා ලැබෙනවද?


ඔව්, කාලෙකට පස්සෙ මේ අවුරුද්දෙදි මම ‘කවිතා’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. ඒක දැන් විකාශය අවසන්. තවත් ටෙලි නාට්‍යයකට සහ චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිල තියෙනව. බොහෝ විට දෙසැම්බර් මාසය වන විට රූගතකිරීම් ආරම්භවෙයි. ඒවාට සූදානමින් ඉන්නව.


වැඩිපුර ආරාධනා ලැබෙන්නෙ සිනමාවට?


ඇත්තටම මම පෞද්ගලිකව සිනමාවට ආදරය කරන කෙනෙක්. ඒකෙන් කියවෙන්නෙ ටෙලි නාට්‍යයට ආදරේ නැහැ කියල නෙමෙයි. සිනමාව වෙනුවෙන් සිදුකරන පෙර සූදානම, කෙටි කලකින් රූගතකිරීම් අවසන් කිරීම වැනි කරුණු නිසා තමයි සිනමාව වෙනුවෙන් වැඩි කැමැත්තක් තියෙන්නෙ.


දිනෙත් කියන නිරූපණ ශිල්පියා මෙතෙක් පැමිණි ගමන ගැන කතා කළොත්?


ඇත්තටම ඒක ලෙහෙසි පහසු ගමනක් නෙමෙයි. විවිධ හැලහැල්පීම් මැදින් ඇවිත් අද ඉන්න තැන දිහා බලනකොට නිහතමානී ආඩම්බරයක් තියෙනව.


අද ඔබ නිරූපණයෙන් ඈත් වෙලාද?


නැහැ. මම අදටත් නිරූපණ ක්‍ෂේත්‍රයේ කටයුතු කරනව. නමුත් කාලවේලාව පිළිබඳ ප්‍රශ්න තියෙන නිසා මාව දකින්න ලැබෙන්නෙ අඩුවෙන්.


නිරූපණ ක්‍ෂේත්‍රය අද ඔබ දකින්නෙ කොහොමද?


වර්තමානය වන විට නිරූපණ ක්‍ෂේත්‍රය ඉහළම තලයකට ඇවිත් තියෙනව. දක්‍ෂයන් බිහිවෙලා ඉන්නව වගේම ක්‍ෂේත්‍රය වෙනම පැත්තකට ගමන්කරමින් තියෙනව. නමුත් අපි සම්බන්ධ වුණ මුල් කාලයේ තිබුණ තරම් මොඩ්ලින් ෂෝ දකින්න ලැබෙන්නෙ නැහැ. සමහරවිට රටේ පවතින තත්ත්වයත් එක්ක ඒ දේවල් වෙනස්වෙනව ඇති.


දිනෙත්, ඉදිරියට මොනවද කරන්න හිතාගෙන ඉන්නෙ?


එහෙම ලොකු සැලසුමක් නැහැ. කලාකටයුතු කරගෙන එන විදියකට මුහුණදීල ඉදිරියට යන්න තමයි අදහස් කරන්නෙ.


රංගනයේදී සීමාවන් තියෙනවද?


රංගනයේදී මම චරිත තෝරාබේරාගැනීමක් කරනව. නමුත් විශේෂ සීමාවන් නැහැ. මෙතෙක් මට ලැබුණ චරිත වගේම ඉදිරියට ලැබෙන චරිතත් වෙනස් විදිහකට තෝරාගන්න අදහස් කරනව.


දිනෙත්ට ඇයි ඉතිහාස කතාවල චරිත වැඩිපුර ලැබෙන්නෙ?


මම හිතන විදිහට ඒකට හේතුව වෙන්න ඇත්තෙ, මම පටන්ගත්තෙ ඉතිහාස කතාවක චරිතයකින් වගේම මගේ පෙනුම නිසා වෙන්න ඇති කියල.


මේතාක් ලැබුණ චරිත ගැන තෘප්තිමත්ද?


ඔව්, ඇත්තටම මම තෘප්තිමත්.


දිනෙත් නිරූපණයට, රංගනයට නොපැමිණියානම්?


මේ ක්‍ෂේත්‍රවල අවස්ථාවක් මට නොලැබුණා නම් බොහෝ දුරට මම ව්‍යාපාරිකයෙක් හැටියට කටයුතු කරයි.



Previous Post Next Post