අභිලාෂි සාමාන්‍ය කෙල්ලෙක් – අවුරුදු දෙකක් විතර නිහඬව හිටියා



‘සිංහබාහු’ චිත්‍රපටයෙන් ඔබ දුටු අභිලාෂි සන්තුෂ්කි මේ දිනවල පුංචි තිරයේ විකාශය වන ‘පාවී එන්න ආසයි’ ටෙලි නාට්‍යය තුළින් ඔබට දකින්න ලැබෙනව. ඒක වෙනස්ම චරිතයක්. අපි අභිලාෂිගෙන්ම අහමු.

අභිලාෂි, මේ දවස්වල පළමු වරට පුංචි තිරයෙන් දකින්න ලැබෙනව?


ඕව්, සිංහබාහු චිත්‍රපටයෙන් පස්සෙ අවුරුදු දෙකක් විතර නිහඬව හිටියා. ඒ අතර කාලය තුළ චිත්‍රපට සඳහා ලැබුණ ආරාධනා භාරගත්තත් ටෙලි නාට්‍ය සඳහා ලැබුණ ආරාධනා භාරගත්තෙ නැහැ. ඒ අතර තමයි ශිවා අයියයි, චාමර අයියයි කතාකරල කිව්වෙ. අපි ලස්සන වැඩක් ප්ලෑන් කරනව ඒකට මාව වැදගත් වෙනව කියල. ඒ කතාබහෙන් පස්සෙ පිටපත මගේ අතට ලැබුණම චරිතය ගැන ඇත්තටම මට හරි ආසා හිතුණා. සිනමාව වගේම වේදිකාව ගැනත් අත්දැකීම් ලබල තියෙන නිසා ටෙලි නාට්‍ය අත්දැකීමකුත් ලබාගන්න තිබුණනම් හොඳයි කියල හිතල මේ චරිතය භාරගත්තා. එතැනදි මට ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් එක්ක වැඩකරන්න ලැබුණා වගේම අත්දැකීම් රැසක් ලබාගන්නත් අවස්ථාව ලැබුණා.


සූර්යාගේ පෙම්වතිය ගෞරවී ගැන රසිකයො මොකද කියන්නෙ?


මේ ටෙලි නාට්‍යයේ කොටස් කිහිපයයි තවම විකාශය වුණේ. ඒ කොටස් කිහිපය බලද්දි ටෙලිය වටා එකතු වුණ ප්‍රේක්‍ෂක පිරිස බොහොම වැඩියි. ඒ අයගෙන් ගෞරවීට බොහොම හොඳ ප්‍රතිචාර ලැබෙනව.


ගෞරවී මොන වගේ කෙනෙක්ද?


ගෞරවී ගැන කතා කළොත්, ඇය හරිම මෝඩ චරිතයක්. එයාගෙ මුලු ජීවිතයම සූර්යා. ඇයගේ පවුලේ අයටත් හරිම ආදරෙයි. ආදරය පැත්තෙන් ගත්තාම චුට්ටක් මෝඩ කෙල්ලෙක් වුණාට හරිම හුරතලේට හැදුන මුරණ්ඩු ගැහැනු ළමයෙක්.


රූගතකිරීම්වල අත්දැකීම් මොන වගේද?


ඇත්තටම කිව්වොත් ‘පාවී එන්න ආසයි’ ටෙලි නාට්‍යයේ රූගතකිරීම්වලදි ප්‍රවීණයන් ඇසුරින් මම ඉතා වටිනා අත්දැකීම් බොහොමයක් ලබනව. ඒ වගේම මම පෞද්ගලිකව හරිම කැමති නළුවෙක් එක්ක තමයි මට වැඩකරන්න ලැබිල තියෙන්නෙ. ඒ ධනුක දිල්ශාන් අයියා. හැමෝම බොහො සහයෝගයෙන් මගේ චරිතය වගේම කතාවත් බිල්ඩප් කරගෙන යනව.


අභිලාෂි නිහඬව ගෙවපු කාලෙ මොකද කළේ?


නිහඬව හිටියා කිව්වට ඒ කාලෙ මම චිත්‍රපට දෙකතුනකටම සම්බන්ධ වුණා. මේ වන විටත් ඒවායේ රූගතකිරීම් සිදුවෙනව. ලබන අවුරුද්දෙ මුල් කාලයේදි නරඹන්න පුළුවන්වෙයි කියල විශ්වාස කරනව.


දිගටම ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න සිදුවෙයිද?


ඇත්තටම ‘සිංහබාහු’ චිත්‍රපටය රිලීස් වෙන්න කලින් ඉඳන්ම ටෙලි නාට්‍යවලට ආරාධනා බොහොමයක් ලැබුණා. නමුත් මම කැමති වුණේ ‘සිංහබාහු’ තුළින්ම ප්‍රේක්‍ෂකයන් මාව දකිනවාට. ඒ හේතුව නිසයි කොච්චර හොඳ ටෙලියක් ලැබුණත් මම භාර නොගත්තෙ. දැනට මේ ටෙලිය තුළින් විතරයි මාව දකින්න ලැබෙන්නෙ. නමුත් ඉදිරියේදී හොඳ පිටපතක් ලැබුණොත් පුංචි තිරයේ මාව දකින්න ලැබේවි.


සිනමාව සහ ටෙලි නාට්‍ය අතර ඔබට දැනෙන වෙනස මොන වගේද?


මගේ ජීවිතයේ සිනමාව තමයි අංක එක. එතැනදි මට මාව දකින්න ලැබෙන්නෙ පුළුල් තිරයක. ඒ අත්දැකීම සතියේ දින පහක් හෝ දෙකක් ආලින්දයේ ඉඳන් පුංචි තිරයේ මාව දකිනවාට වඩා ගොඩක් වෙනස්. සල්ලි දීලා ටිකට් එකක් අරගෙන සිනමා ශාලාවට ඇවිත් අපිව බලන ප්‍රේක්‍ෂකයන් දකිනකොට දැනෙන හැඟීම වෙනස්ම එකක්. පසුගිය කාලය පුරාම විඳපු ඒ හැඟීම අදටත් මගේ හිතේ තියෙනව.


සිංහබාහු ඔබේ ජීවිතයට මොන වගේද බලපෑවෙ?


සිංහබාහු චිත්‍රපටය කියන්නෙ මගේ රංගන ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යය සහ වාසනාව කිව්වොත් නිවැරදියි. මොකද මම ඒ නිර්මාණයට සම්බන්ධ වුණ දවසෙ ඉඳන් මගේ ජීවිතය හරිම ලස්සන වුණා. ඒ නිසයි අදටත් මට නිර්මාණවලට ආරාධනා ලැබෙන්නෙ.


අධ්‍යාපන කටයුතු කොහොමද?


මට වුවමනා වුණේ මනෝවෛද්‍යවරියක් වෙන්න. ඒ වෙනුවෙන් කරන අධ්‍යයන කටයුතු කරගෙන යනව. ඒ වගේම රංගනය ගැනත් හැදෑරීමක් කරනව.


පවුලේ විස්තර?


මගේ පවුලේ ඉන්නෙ අම්මා, තාත්තා, අක්කා, මම සහ මල්ලි. අක්කා දැන් විදෙස්ගතවෙලා ඉන්නෙ. ඔවුන් සියලුදෙනාගෙන්ම මගේ වැඩකටයුතුවලට ඉතාමත් හොඳ සහයෝගයක් ලැබෙනව.


දැන් අභිලාෂි වෘත්තීයමය රංගන ශිල්පිනියක්?


රංගනය මගේ වෘත්තිය වෙමින් යන්නෙ. ඇත්තටම මේක විෂයයක් වගේම වෘත්තියක්. ඒකට මම හරිම ආදරෙයි.


දිගටම රංගනයේ යෙදෙන්නයි අදහස?


ඔව්, මම කවදාවත් රඟපෑම අත්හරින්නෙ නැහැ. ඒක දැන් මගේ ශරීරයේ කොටසක් වගේ.


ජනප්‍රියත්වයත් එක්ක ආදර යෝජනාත් බොහොමයි?


ඔව්, ආදර යෝජනා නම් එනව. නමුත් මගේ පවුලෙන් ලැබෙන ආදරය වැඩි නිසා වෙන්න ඇති, ඒ යෝජනා ගැන මට දැනිල නැහැ.


අභිලාෂි කියන්නෙ කවුද?


අභිලාෂි කියන්නෙ හරිම උත්සාහවන්ත, අභියෝගවලට හරිම කැමති, සරල, සාමාන්‍ය කෙල්ලෙක්.


විවිධ කටකතා එක්ක ක්‍ෂේත්‍රයට එන්න බයක් දැනුණෙ නැද්ද?


හොඳ වැඩකින් ක්‍ෂේත්‍රයට එන්න මට ලොකු ආසාවක් තිබුණ වගේම ඒ අවස්ථාව මට ලැබුණා. ඒක මම පරිස්සමට අරගෙන පරිස්සමට මගේ ගමන යන විදිහට ඒ තුළ මම මාව හදාගත්තා.


මොකක්ද ඔබේ සම්මාන සිහිනය?


මගේ සිහිනය වෙන්නෙ හොඳම නිළිය සම්මානය.


මහේෂ් එදිරිසිංහ




Previous Post Next Post