ඉස්කෝලෙ යාළුවෝ කියනවා මම ලස්සනට රඟපානවාලු -අනඟි

 



ආයුබෝවන් අනඟි. ඉතින් දුව මේ දවස්වල මොකද කරන්නේ?


මේ දවස්වල ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ වැඩ ටික කරගෙන ඉන්නවා. පසුගිය දවස්වල  “ආදරේ ගීතයක්” ටෙලි නාට්‍යයේ රංගන කටයුතුවලට දායක වුණා.


දුවගේ පෞද්ගලික විස්තර ටිකක් කියමුද?


මගේ නම කුෂේයා අනඟි. මම මෙතෝදිස්ත උසස් විදුහලේ හත ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. අපේ ගෙදර ඉන්නේ අම්මයි, තාත්තයි, මමයි, අයියයි. අම්මා නම් වැඩට යන්නේ නැහැ. තාත්තා වෘත්තීයමය වඩුවැඩ ශිල්පියෙක්.


පසුගිය දිනවල විකාශනය වුණු “ආදරේ ගීතයක්” ටෙලි නාට්‍ය ගැන කතා කරමුද?


මම රංගනයෙන් දායක වුණු “ආදරේ ගීතයක්” ටෙලි නාට්‍ය පසුගිය දිනවල විකාශය වුණා. ඒ නාට්‍යයේ ප්‍රධාන චරිතය විධියට වැඩ කරන ජනිත් අයියගේ නංගි විධියට තමයි මම රංගන කටයුතු කළේ.


දුවට රංගනයට අවස්ථාව ලැබුණේ කොහොමද?


මම මුලින්ම රංගන ක්ෂේත්‍රයට එන්නේ චිත්‍රපටයකින්. ටභදදර ඡධර කියන චිත්‍රපටය හරහා තමයි මම රංගන කටයුතු පටන් ගත්තේ. ඊට පස්සේ HOLA ෆිල්ම් එකේ රංගන කටයුතු වලට සම්බන්ධ වුණා. ඒ ෆිල්ම් එක තාම තිරගත වුණේ නැහැ. ඒක ළඟදිම තිරගත වේවි.


අනඟි මේ වන විට බොහෝ ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙලා තිබෙනවනේ. ඒ ගැනත් කතා කරමු?


ඔව්. මම ගොඩක් ටෙලි නාට්‍ය සහ සිනමා නිර්මාණවලට සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ වගේ නිර්මාණවලට සම්බන්ධ වෙන්න ලැබුණු එක ගැන ඇත්තටම මට ගොඩක් සතුටුයි.


Funny boy චිත්‍රපටයෙන් පස්සේ අනඟි වෙනත් සිනමා නිර්මාණවලට සම්බන්ධ වුණාද?


“funny boy” එකට පස්සේ “HOLA film” එකට සහ “තාත්තා” කියන ෆිල්ම් වලට සම්බන්ධ වුණා. තාත්තා චිත්‍රපටයෙ මම යාළුවෙක්ගේ චරිතය තමයි කළේ. ඒ චිත්‍රපටය නම් තිරගත වුණා.


රංගන කටයුතුවලදී මොන වගේ අභියෝග වලටද මුහුණ දුන්නෙ?


මම “ටීචර් අම්මා” ටෙලි නාට්‍යයේ රංගන කටයුතු කරනකොට මට ලැබුණු චරිතය ලොකු අභියෝගයක් වුණා. මට ඒ ටෙලි නාට්‍යයේ අන්ධ ළමයකුගේ චරිතයක් තමයි කරන්න තිබුණේ. ඒ වගේ චරිතයක් මං කලින් කරලා තිබුණේ නැහැ. ඉතින් ඒ චරිතය රඟපාන එක ටිකක් අමාරුත් වුණා. නමුත් ඒ චරිතය රඟපාන්න ටීචර් අම්මා ටෙලිනාට්‍ය කණ්ඩායමෙන් මට ගොඩක් උදවු ලැබුණා. සුදත්ත තිලක්සිරි මාමා එහෙම ඒ චරිතය කරන විධිය මට ගොඩක් පුරුදු කරා.


ඒ ටෙලි නාට්‍යයට ඔයාව තෝර ගත්තේ කොහොමද?


ටීචර් අම්මා ටෙලි නාට්‍යයේ ඔඩිෂන් එකේදී අනිත් අයට අන්ධ චරිය කරන්න කිව්වේ නෑ. නමුත් මාව දැක්ක ගමන්ම ඔයා අන්ධ චරිතය කරන්න කියල කිව්වා. ඒ ඔඩිෂන් එකේ සුදන්ත සර්, තිමිර අයියා, රුවන් අයියා එහෙම හිටියා.


රංගනය ගැන ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර ගැනත් කියමුද?


ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් අය කෝල් කරලා කියනවා මම ලස්සනට රඟපානවා කියලා. මැසේජ් කරලත් කියනවා. ඉස්කෝලේ යාළුවොත් කියනවා අනඟි, ඔයා ලස්සනට රඟපානවා කියලා. සමහර යාළුවෝ අහනවා අනඟි දැන් නාට්‍යවලට නැද්ද කියලත්.


රංගනයට ගෙදරින් සහ පාසලෙන් ලැබෙන සහයෝගය මොන වගේද?


අම්මයි තාත්තයි අයියයි මට ගොඩක් උදවු කරනවා. අයියයි අම්මයි තමා මාව රූගත කිරීම්වලට එක්කරගෙන යන්නේ.  ඒ වගේම මම ඉගෙන ගන්න


මෙතෝදිස්ත උසස් විදුහල  ආදරෙන් මතක් කරනවා. පාසලේ විදුහල්පතිනිය සහ ගුරුවරුන්වත් ආදරෙන් මතක් කරනවා.


අනඟි අධ්‍යාපනය සහ රංගනය සමබර කරගන්නේ කොහොමද?


මම දැන් නම් රඟපානවා අඩුයි. ඒ නිසා මේ දවස්වල ඉස්කෝලේ වැඩ ටික කරගෙන යනවා.


අනාගත බලාපොරොත්තු ගැනත් කියමු?


මම අනාගතේදී නිළියක් වෙන්නත් ආසයි. ගුරුවරියක් වෙන්නත් ආසයි.මොකද මිනිස්සුන්ගෙ ලැබෙන ආදරයට මම ගොඩක් කැමතියි.


දුව මේ දවස්වල අලුතින් සම්බන්ධ වන නිර්මාණ මොනවද?


මම රංගනයෙන් දායක වුණු HOLA චිත්‍රපටය සහ “නෙළුම් කුලුන” කියන චිත්‍රපට දෙක තාම තිරගත වුණේ නැහැ. ඒ ෆිල්ම් දෙක ඉදිරියේදී ප්‍රේක්ෂකයන්ට නරඹන්න පුළුවන් වේවි.


පුංචි කාලෙදිම රංගන ක්ෂේත්‍රයට එන්න ලැබුණු එක ගැන අනඟිට මොකද හිතෙන්නේ?


මම හිතුවේ නෑ රංගනය පැත්තෙන් මේ වගේ තැනකට  එන්න පුළුවන් වෙයි කියලා. ඇත්තටම ගොඩක් සතුටුයි.


අනඟි කැමතිම විනෝදාංශය ගැනත් කියමු?


මම ටීචර් කෙනෙක් වෙන්නත් කැමතියිනේ. ඉතින් ගෙදරදි සාරි ඇඳගෙන ටීචර්ස්ලා වගේ රඟපානවා. ඒකට තමා මම ගොඩක්ම කැමැති.


නයෝමි ෂර්මිලා



Previous Post Next Post