තර්ජන ආවොත් ඒවටත් මුහුණ දෙනවා-උදයකාන්ත වර්ණසූරිය

 


ඔහු ලාංකික සිනමාව තුළ නොමැකෙන නාමකායකි. වාණිජ මෙන්ම කලාත්මක සිනමාවේද එක ලෙස දස්කම් දැක්වූ මේ ප්‍රබලයා සිනමාවේ ප්‍රගමනය උදෙසා තම සිනමා දැක්ම මෙහෙයවන්නෙකි. අද හදගැස්ම හා එක් වන්නේ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ උදයකාන්ත වර්ණසූරිය. 


ඔබේ නවතම චිත්‍රපටය වන ‘ගිනිඅවි සහ ගිනිකෙළි 2’ තිරගත වෙනවා. එයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර කොහොමද?


මේ දිනවල මගේ නවතම චිත්‍රපටය ‘ගිනිඅවි සහ ගිනිකෙළි 2’ සිනමාශාලා රැසක ප්‍රදර්ශනය වෙනවා. මේ චිත්‍රපටය විනෝදාත්මක චිත්‍රපටයක් නෙවෙයි. නමුත් ක්‍රියාදාම ෂානරයේ චිත්‍රපටවලට කැමැති ප්‍රේක්ෂකයන් මේ චිත්‍රපටය ආදරයෙන් වැලඳගන්නා බවක් පෙනෙන්න තිබෙනවා. මේ චිත්‍රපටය ගැන විවිධ කතාබස් ඇති වෙලා තිබෙනවා. ඔවුන්ගේ ප්‍රතිචාරත් ඉතා ඉහළයි. එය ඉතා හොඳ දෙයක්.


පළමු චිත්‍රපටයෙන් වසර 25කට පසුව තමයි ‘ගිනිඅවි සහ ගිනිකෙළි 2’ නිර්මාණය වෙන්නේ. මේ ගැනත් කතා කරමු?


මම වසර විසිපහකට පෙර මෙම චිත්‍රපටය නිර්මාණය කළේ භීෂණ යුගයක දේශපාලන සහ පාතාල ලෝකයේ ක්‍රියාකාරකම් පාදක කරගනිමින්. පළමු චිත්‍රපටය අවසන් කළ පසුව දෙවැනි චිත්‍රපටයක් කිරීමට තරම් අමුද්‍රව්‍ය මා සතුව තිබුණා. මම මේ චිත්‍රපටයේ දෙවැනි කොටස කිරීමට බලාපොරොත්තුවෙන් සිටියත් නොයෙකුත් හේතු කාරණා නිසා එය මඟහැරුණා. මට අවශ්‍ය වුණා විවිධ ෂානරවල චිත්‍රපට නිර්මාණය කරන්න. ඒ නිසා මම විවිධාකාරයේ චිත්‍රපට නිර්මාණය කළා. මේ කාරණය නිසා මට මෙම චිත්‍රපටය නිර්මාණය කරන එක් දිනෙන් දින අතපසු වුණා. පසු කාලෙක මට මේ චිත්‍රපටය නිර්මාණය කරන්න නිෂ්පාදකවරු කිහිප දෙනෙක්ම කැමැත්ත පළ කළා. ඉතින් මම ‘ගිනිඅවි සහ ගිනිකෙළි 2’ නිර්මාණය කරන්න තීරණය කළා. මම මෙය ප්‍රබන්ධ චිත්‍රපටයක් ලෙස නිර්මාණය කළා මිසෙක මට වාර්තාමය චිත්‍රපටයක් නිර්මාණය කරන්න අවශ්‍ය වුණේ නැහැ.


අනුර හොරේෂස්ගේ ගිනිඅවි සහ ගිනිකෙළි කෘතිය මේ චිත්‍රපටය නිර්මාණය කිරීමට ඔබට බලපෑවේ කෙසේද?


මම ඒ නවකතාව කියවා තිබුණා. නමුත් මේ චිත්‍රපටය නිර්මාණය කරන්න මම ඒ නවකතාවම පාදක කරගත්තෙ නැහැ. මම අනුර හොරේෂස් සමඟ කතාබහ කරලා හොඳ කතාවක් නිර්මාණය කරලා දෙන්න කිව්වා. ඔහු ඉන්පසුව කතාවක් නිර්මාණය කළා. අපි දෙදෙනා කතාබහ කරමින් අලුත් කොටස් එකතු කරමින් මෙම කතාව ගොඩනැඟුවා. මම මෙහි තිරපිටපත රචනා කළා.


පාතාලය පාදක කර ගනිමින් මෙවැනි චිත්‍රපටයක් නිර්මාණය කිරීම ඔබට මොන වගේ අභියෝගයක් වුණාද?


මෙවැනි නිර්මාණයක් කිරීම මට ලොකු අභියෝගයක් වුණේ නැහැ. අපි ඉතිහාසයේ අඳුරු කාලපරිච්ඡේදයකදී සිදු වුණු දේශපාලනය සහ පාතාල ලෝකයේ කතන්දර ගැන අහලා තිබුණා. ඒවා සිනමාත්මකව ඉදිරිපත් කිරීමේ ආසාවක් මට තිබුණා. මම අභියෝගවලට අවදානම්වලට බයේ චිත්‍රපට හදන්නෙ නැහැ. මම අභියෝගවලට මුහුණ දෙන්න ඉතා කැමැතියි. මට අභියෝගය වුණේ අපිට ලැබෙන මුදල් කළමනාකරණය කර ගන්න එක. අපිට ඒ කාලේ වැඩ කරද්දී ලොකු බජට් ලැබුණේ නැහැ. මෙම චිත්‍රපටය නිර්මාණය කරන කාලයට පෙර පැවැති කතාවට සම්බන්ධ යුගය ගොඩනඟන්න එක තමයි මට අභියෝගයක් වුණේ. අධ්‍යක්ෂණය කිරීම සහ නළු නිළියන්ගේ රංගනය හැසිරවීම වගේ දේවල් මට අභියෝගයක් වුණේ නැහැ. කාගෙන් හරි තර්ජන ආවොත් ඒවටත් මුහුණ දෙන්න බලාපොරොත්තුවෙන් තමයි මම මේ චිත්‍රපටය නිර්මාණය කළේ.


බෝගහවත්තේ ලකී ලෙස ඉසුරු ලොකුහෙට්ටිආරච්චි තෝරා ගැනීම පිළිබඳව ඔබේ අදහස?


මූලිකවම ඔහුගේ හැඩරුව එම චරිතයට මනා ලෙස ගැළපුණා. මගේ කලින් චිත්‍රපට තුනකම ඔහු ප්‍රධාන චරිතය නිරූපණය කළා. ඉසුරු මගේ නිර්මාණයක ප්‍රධාන චරිතයක් රඟපාන්නේ මේ හතර වැනි වතාවට. මම මෑතකාලයේ දැකපු හොඳම රංගන ශිල්පියෙක් තමයි ඉසුරු ලොකුහෙට්ටිආරච්චි කියන්නේ.ඔහු සමඟ වැඩ කරන එක මට හරිම පහසුයි. ඔහු මගේ නිර්මාණයක මුලින්ම රඟපෑවේ ප්‍රසිඩන්ඩ් සුපර් ස්ටාර් චිත්‍රපටයේ. ඊට පස්සේ ගිනිමල් පොකුරු, රිදී සීනු වැනි සිනමාපටවලටත් සහභාගි වුණා. මම හිතනවා ඉසුරු බෝගහවත්තේ ලකීට හොඳ සාධාරණයක් ඉෂ්ට කළා කියලා. ඔහු ඉතා හොඳින් මේ චරිතය නිරූපණය කළා කියලා මම සිතනවා.


‘ගිනිඅවි සහ ගිනිකෙළි 3’ ප්‍රේක්ෂකයාට නරඹන්න පුළුවන් වෙයිද?


ඇත්තටම මේ කතාව තුළ සිනමාත්මක හැඩරුවක් තිබෙනවා. ඒ නිසා මම 3 වැනි කොටසත් නිර්මාණය කරන්න අදහසක් තිබෙනවා. හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණොත් තමයි මම තවත් නිර්මාණයක් සිදු කරන්නේ. ඒ උදව්ව මම ප්‍රේක්ෂකයාගෙන් බලාපොරොත්තු වෙනවා. දැනටමත් මේ චිත්‍රපටයෙහි අනෙක් කොටස සඳහා වැඩකටයුතු කරගෙන යනවා.


නව දේශපාලන වෙනස සිනමාවට මොන විධියේ බලපෑමක් කරයිද?


මේ දේශපාලන වෙනස සිදු වෙලා තවම ගෙවී ගිහින් තිබෙන්නේ සති කිහිපයයි. ඉතින් දැන්ම කිසි දෙයක් තීරණය කරන්න බැහැ. මහ මැතිවරණයෙන් පසුව තමයි ඒ දේවල් තීරණය කරන්න වෙන්නේ. සිනමාවේ සහ කලාවේ තිබෙන ගැටලු විසඳාගැනීමට අපි උත්සාහ දරනවා. අලුත් රජය යටතේ සිනමාව වෙනුවෙන් යම්කිසි දෙයක් කරගන්න හැකියාව ලැබෙයි කියන දෙය ගැන අපි සුබවාදීව බලා සිටිනවා.


ඉදිරි වැඩකටයුතු ගැන කතා කරමු?


මගේ ඊළඟ චිත්‍රපටය වෙන්නේ සාජන් පුඥ්ඥසෝම. මේ වන විට එහි වැඩකටයුතු 90%ක්ම අවසන්. එයත් ලබන වසරේදී තිරගත වේවි. තව ලියපු තිරපිටපත් කිහිපයක්ම තිබෙනවා. ඒවත් ඉදිරියේදී චිත්‍රපට බවට පත් වේවි.


ගිහාන් සචින්ත



Previous Post Next Post