ආදරේ අත්දැකීම් නෑ කියනවා නම් ඒක බොරුවක් -ලක්ෂි ජයවර්ධන

 



මේ දිනවල ජාතික රූපවාහිනියේ විකාශය වන ප්ලැට් නොවන ප්ලැට් ටෙලි නිර්මාණයේ උදාරී ගැන කතාවෙන, සොයාබලන පිරිස බොහෝය. එමෙන්ම සිරස නාළිකාවේ විකාශය වන වාව් මැඩම්හි සවීනා මෙන්ම ඔෆිස් ලන්තයේ සංකල්පනා ද බොහෝ ප්‍රතිචාර ලබන භූමිකාවන්ය. උදාරී, සවීනා මෙන්ම සංකල්පනා ලෙසින් එකිනෙකට වෙනස් භූමිකාවන් ඔස්සේ මේ දිනවල ඔබ හමුවට එන ඇය ලක්ෂි ජයවර්ධනය.


ලක්ෂි මේ දිනවල නිර්මාණ ත්‍රිත්වයකම දකින්න ලැබෙනවා නේද?


ඔව්. ඔව්. මේ දවස්වල නාළිකා තුනක නිර්මාණ තුනක එකිනෙකට වෙනස් භූමිකා තුනකින් ප්‍රේක්ෂකයන් හමුවට එනවා. ජාතික රූපවාහිනියේ මාවෝ ලක්ෂිතගේ ප්ලැට් නොවන ප්ලැට් ටෙලි නිර්මාණයේ උදාරිගේ චරිතයට මාව යෝජනා කරල තියෙන්නේ තිර පිටපත් රචක චාලක රණසූරිය අයියා. සිරස නාළිකාවේ විකාශය වන නිශාන්ත ප්‍රදීප්ගේ වාව් මැඩම්හි සවීනා වගේම සියත නාළිකා ප්‍රඩක්ෂන් එකක් විදිහට නිර්මාණය වුණු ඔෆිස් ලන්තයේ සංකල්පනාත් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත් චරිත. මේ චරිත ත්‍රිත්වයටම ලැබෙන ප්‍රතිචාර එක්ක බලද්දි හිතෙනවා ප්‍රේක්ෂකයන් ඒවා ආදරෙන් භාරගෙන කියලා.


ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත්?


ප්ලැට් නොවන ප්ලැට් කියන්නෙ ටිකක් සීරියස් වැඩක්. උදාරිගේ චරිතයට ෆීල්ඩ් එකේ ඇතුළෙ අයගෙන්ම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ වගේම ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාරත් ගොඩක් හොඳයි. අවුරුදු 5කට පස්සෙ මං ආයෙම රංගන කටයුතුවලට සම්බන්ධ වුණේ. පරණ ලක්ෂි ආයෙත් ඇවිත් කියලා බොහෝ දෙනෙක් කියනවා. අධ්‍යාපන කටයුතු නිසා මං අවුරුදු 5ක් රංගනයෙන් ඈත්වෙලා හිටියා. ඒ ඇවිත් මුලින්ම සම්බන්ධ වුණේ ඔෆිස් ලන්තය ටෙලි නිර්මාණයට.


ලක්ෂිගේ කලාවට පිවිසීම සිදු වෙන්නේ සිනමාව ඔස්සේ?


මං කලාවට පිවිසෙන්නේ මිෂෙල් ෆොන්සේකාගේ සුපිරි අන්දරේ සිනමාපටයේ ප්‍රධාන භූමිකාවෙන්. ඒ අලුතෙන් හඳුන්වා දෙන නිළිය විදිහට. ටෙලිනාට්‍ය පැත්තෙන් ගත්තොත් මුලින්ම සම්බන්ධ වෙන්නේ ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ මොනර කඩදාසි. ඊට පස්සේ යකඩ කහවණු, T 20 වගේ නිර්මාණවලට දායක වුණා. රංගනයෙන් ඈත් වෙන්න කලින් මං ඉඩෝර වැස්ස, රාවණා ඇතුළු ටෙලි නිර්මාණ කිහිපයකටම දායක වෙලා තිබුණා. නැවත ආගමනයත් එක්ක ඔෆිස් ලන්තයේ වැඩ කරගෙන යද්දි සුපුන් රත්නායකගේ තත්පරයක් දෙන්න ටෙලි නිර්මාණයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ ටෙලි නිර්මාණය විකාශය වෙන අතරතුරදී. හිටපු කැරැක්ටර් එකක් හදිසියේ ඉවත් වීම නිසා මට ඒ චරිතය සඳහා රීප්ලේස් වෙන්න අවස්ථාව ලැබුණා. ඒ හරහා මට නැවතත් ප්‍රේක්ෂකයන් අතරට එන්න පුළුවන් වුණා කිව්වත් හරි.


ප්ලැට් නොවන ප්ලැට් හි උදාරි කියන්නේ සමාජයේ කතාබහට ලක්වෙන චරිතයක්?


උදාරි කියන චරිතයේ රේන්ජ් එක ගොඩක් පුළුල්. ගෙදරදි ඇය වෙනම කැරැක්ටර් එකක්. ස්පා එකේදී තවත් විදිහක්. පෞද්ගලික රෝහලක සේවය කරනව වගේ රඟපාන ඇය ඇත්තටම ස්පා එකක වැඩ කරන තරුණියක්. ගෙදර පරිසරයෙදී මැරයොත් එක්ක ගනුදෙනු කරන චරිතයක්. ඇත්තටම හොඳ වේරියේෂන් එකක් තියෙන කැරැක්ටර් එකක්. එකම චරිතය තුළ පැතිකඩ කිහිපයක් ඔස්සේ මගේ හැකියාව පෙන්නන්න ලැබුණු අවස්ථාවක්.


රාවණා – 2 ටෙලි නිර්මාණයේ භද්‍රා කියන්නෙ ඔබට අභියෝගයක් වුණු චරිතයක්. කොහොමද ඒ අත්දැකීම?


තුෂාර තෙන්නකෝන්ගේ රාවණා – 2 වගේම ලෝකාන්තරයෝ කියන්නෙත් මට අමතක නොවන අත්දැකීම් එක්කළ නිර්මාණ දෙකක්. රාවණා – 2හි භද්‍රා රාවණා විනාශ කරන්න ආව මන්තරකාරියක්. රංගනය වගේම චරිතයට හඬ කැවීම් කළෙත් මම. අවසානයේ රාවණා ඔහුගේ ශක්තින් ටික උපදවා ගෙන භූගතව වෙන දේවල් බැලීමේ හැකියාව ලබාගන්නවා. එතැනදි භද්‍රාට සිදු වෙනවා රාවණාට පරදින්න. භද්‍රා රාවණාට පැරදෙද්දි භද්‍රාගේ භූගතය ගිනි ගන්නවා. ඇය ඉඳගෙන ඉන්න තැන මැටි ගුලිය ගිනි ගත්තම තමයි අඳුනෙන් බලනවා වගේ වෙන දේවල් ඇය බලන්නේ. භූගතය උඩ තියෙන ගලක් ගිනි අරන් භූගතයට වැටිලා භද්‍රාව ගිනි ගන්න විදිහට තමයි සෙට් කරලා තිබුණේ. ඒත් ගින්න පාලනය කරන්න බැරි විදිහට ක්ෂණිකව පැතිරුණා. දිගට ගොතල දාපු කොණ්ඩයක් මටත් දාල තිබුණේ. මං දුවන්න හදද්දි වටේටම ගින්න පැතිරුණා. එදා නම් මං හිතුවා මාව ගිනි ගත්තා කියලා. ඒ වෙලාව නම් මං දුවන්න හැදුවේ පණ බේරගන්න.


ඒ වගේමයි ලෝකාන්තරයෝ එකෙත් මං ඉන්නෙ මායාකාරියකට. ආත්මගත ප්‍රේමයක් ගැන කතා වෙන නිර්මාණයක්. මායාකාරිට තරහ ගියහම සේවිකාවන්ගේ බෙල්ලෙන් අල්ලලා වතුරට තල්ලු කරනවා. එදා මට අසනීප වෙලා ඇත්තටම මං සිහි නැති වෙලා වතුරට වැටිලා. හැමෝම හිතල තියෙන්නේ ඒකත් ෂූට් එකේ සීන් එකක් කියලා. ඒක රෙකෝඩ් වෙලත් තිබුණා. ඔය සිදුවීම් දෙකම මට අමතක වෙන්නෙ නෑ.


ලක්ෂි ජයවර්ධන කියන්නේ එක් යුගයක නිවේදිකාවක් නේද?


ඔව්. ජාතික රූපවාහිනියේ අවුරුදු 2ක් නිවේදිකාවක් විදිහට කටයුතු කළා. රූ.com මියුසික් චාට් ෂෝ එක කළා. ඒ වගේම ස්වර්ණවාහිනියේ වැඩකටයුතු කළා. ඒත් මං වඩාත් කැමති රංගනයට නිසා පසුකාලීනව රංගනයටම යොමු වුණා.


ලක්ෂිගෙ ගෙදර තොරතුරු ටිකකුත් කියමු?


මම ගම්පහ කළගෙඩිහේන ප්‍රදේශයේ පදිංචිව ඉන්නේ. අම්මායි තාත්තායි අක්කලා දෙන්නයි මට ඉන්නේ. තාත්තා ලංකාවේ නෑ. මං අධ්‍යාපනය හැදෑරුවේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයෙන්.


ආකර්ෂණීය තරුණියක් විදිහට ලක්ෂිටත් ආදර ඇරයුම් ඕනතරම් ඇති?


ආදරණීය අත්දැකීම් ලබල නෑ කියනව නම් ඒක බොරුවක්. ඒත් මේ වෙද්දි නම් ආදරවන්තියක් නෙවෙයි. වසර 5ක් මං රංගනයෙන් ඉවත් වෙලා හිටිය නිසා රංගනය පැත්තෙන් තව ගොඩක් දුර යන්න තියෙනවා. ඕනෑම රංගන ශිල්පියකුට ශිල්පිනියකට වගේම මටත් රංගනයෙන් හොඳම කියන කැටගරි එකට යන්න ඉලක්කයක් තියෙනවා. ඒ වෙනුවෙන් මං කැප වෙනවා. ඒ නිසා මේ කාලේ ඒ වෙනුවෙන් යොදවනවා මිසක් ආදරයට ඉඩක් වෙන්කරලා නෑ.


 නාමලි ගමගේ



Previous Post Next Post