
“පොඩි කාලයේ ඉඳලම නාට්‍ය හා රංගකලාවට වැඩි කැමැත්තක් තිබුණ නිසාම උසස් පෙළට පස්සේ මහරගම තරුණ සේවා රංග ශිල්ප ශාලිකාවේ නාට්‍ය හා රංගකලාව පාඨමාලාව හැදෑරුවා. ශිල්ප ශාලිකාවේ ප්‍රවීණයන්ගෙන් ලැබුණ දැනුම සහ අවබෝධය මගේ රංගන ජීවිතය වෙනස් මාවතකට යොමු කළා කිව්වොත් නිවැරදියි. මේ කාලයේදී තමයි මට වේදිකා නාට්‍යයකට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබෙන්නෙත්. නීතිඥ ඩග්ලස් සිරිවර්ධනගේ සිහළවංශලා නාට්‍ය තමයි මට සම්බන්ධ වෙන්න ලැබුණ පළමු වේදිකා නාට්‍යය. ඒ වෙනකොට මට වයස අවුරුදු 20ක් වගේ. ඉන්පස්සේ කෙටි සහ දිගු නාට්‍යවලට සම්බන්ධ වෙන්න ආරාධනා ලැබුණා.
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ මනමේ බිසව ලෙසත්, සිංහබාහු නාට්‍යයේ සිංහ සීවලි ලෙසත්, හෙන්රි ජයසේනයන්ගේ කුවේණි නාට්‍යයේ කුවේණිය ලෙසත්, ආනන්ද එස්. විජේසිරිගේ දෙව්ලොව යනකන් නාට්‍යයේ මජි ලෙසත් ආදී වශයෙන් වේදකා නාට්‍යවල රංගනයට අවස්ථාව හිමිවුණා. ආචාර්ය ජයලත් මනෝරත්නයන්ගේ කනේරු මල්, ගුරු තරුව නාට්‍යවලටත් මට රංගනයෙන් දායක වෙන්න පුළුවන් වුණා.
තවදුරටත් මම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙනුත් රංගකලාව පිළිබඳ උසස් ලෙස හදාරන්න යොමු වුණා. හෙන්රි ජයසේනයන්ගේ කුවේණි නාට්‍ය සඳහා ආරාධනා ලැබෙන්නේ මේ කාලයේදී.
දිගටම ක්ෂේත්‍රයේ රැඳී ඉන්නකොට සම්පත් දායිකාවක් ලෙසත්, දේශිකාවක් ලෙසත් කටයුතු කරන්න මට පුළුවන් වෙනවා. ඒ අතරතුර කාලයේ කතක් නර්තනයෙනුත් ප්‍රසංග පවත්වන්නත් හැකියාව ලැබුණා.“
රංගන ශිල්පිනියක් මෙන්ම ගුරුවරියක් ලෙසත් කටයුතු කරන තෙල්මා මේඩිස් විවිධ පර්යේෂණවල ද නියැළෙන්නියකි. ඉතිහාස කතාවල එන කුවේණිය පිළිබඳ අධ්‍යයනය කිරීමට ඇය යොමු වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. ඉතිහාස මූලාශ්‍ර මෙන්ම කුවේණිය වාසය කළා යැයි සඳහන් වන විවිධ ප්‍රදේශවලට ගොස් සම්මුඛ සාකාච්ඡා ආදිය ද පවත්වමින් කුවේණිය යනු කවුරුන්ද යන්න ඇය අධ්‍යයනය කරන අතර ඒ ආශ්‍රයෙන් ඇය Resurruction of Kuweni ස්වතන්ත්‍ර වේදිකා නාට්‍ය නිර්මාණය කරයි.
“Resurruction of Kuweni නාට්‍ය මගේ ස්වතන්ත්‍ර නිර්මාණයක්. කුවේණි වේදිකා නාට්‍ය නිර්මාණය කරන්නේ කාන්තා පෞරුෂය මූලික කර ගනිමින්. කුවේණිය ගැන ඉතිහාසයේ විවිධ කතා කියැවෙන නිසා මට හිතුණා ඒ ගැන අධ්‍යයනය කරන්න ඕන කියලා. ඒක ඇත්තටම වෙහෙසකර නිර්මාණයක්. බොහෝ කාලයක් මේ පිළිබඳ අධ්‍යයනය කරලා හදපු නිර්මාණයක්. ඉතිහාසයේ සඳහන් වන තොරතුරුත් අරගෙන මම අධ්‍යයනය කරලා හොයාගත්ත දේවලුත් අරන් තමයි Resurruction of Kuweni නිර්මාණය කරන්නේ. කුවේණි නාට්‍යයේ මංගල දර්ශනය සාර්ථකව කරගන්න මම ඇතුළු මගේ කණ්ඩායමට හැකි වුණා. ඇත්තටම හොඳ ප්‍රතිචාරත් ලැබුණා. අන්තර්ජාතිකව රටක් නියෝජනය කරන්න පුළුවන් සාර්ථක නිර්මාණයක් කියලත් ගොඩක් අය කිව්වා. ඒ ප්‍රතිචාරත් එක්ක මම හිතනවා පළමුවෙනි දර්ශනය සාර්ථකයි කියලා. ඒ සාර්ථකත්වයත් එක්ක කුවේණි නාට්‍යයේ කටයුතු දිගටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.
Resurruction of Kuweni නාට්‍යයේ මූමන්ට්, ඇක්ෂන් හදාගන්න මම ඇතුළු මගේ කණ්ඩායම ලොකු වෙහෙසක් ගන්නවා. වේදිකා නාට්‍යයක් වුණත් ප්‍රේක්ෂකයාට වෙනස්ම අත්දැකීමක් දෙන්න අපි හැමවෙලාවකම උත්සාහ කරනවා. මම හිතනවා ඒ කැපවීමත් එක්ක Resurruction of Kuweni නාට්‍යය සාර්ථක අවසානයක් කරා ගෙනියන්න පුළුවන්වෙයි කියලා. මේ නාට්‍යය අන්තර්ජාතික තැනකට ගෙනියන්නයි මම උත්සාහ කරන්නේ. Resurruction of Kuweni දෙවැනි දර්ශනය මැයි 22 බ්‍රහස්පතින්දා පවත්වන්න අවශ්‍ය පුහුණුවීම් කටයුතු මේ දිනවල අපි කරනවා. එදින 2.30 ට සහ 6.30 ට මරදාන Elphinstone theatreහි Resurruction of Kuweni වේදිකාගත කිරීමට නියමිතයි.
තෙල්මා ප්‍රාසාංගික කලා ආයතනයෙනුත් රංගකලාව පිළිබඳ වැඩමුළු අපි පවත්වනවා. ඩ්‍රාමා තෙරෆි, වොයිස් ට්‍රේනින්, යෝගා ආදී ගොඩක් දේවල් උගන්වනවා.“
තෙල්මා මේඩිස්ට කලාවේ ආභාෂය ලැබෙන්නේ සිය පවුලෙනි. ඇගේ සීයා නර්තන ගුරුවරියක් වන අතර අම්මාද නර්තන සහ සංගීත ගුරුවරියකි. පවුලේ වටපිටාවත් එක්ක ඇයට කලාවේ ආභාෂය පොඩි කාලයේ පටන්ය.
“අම්මයි සීයයි නිසා මට කලාවට සම්බන්ධ ගොඩක් අය හඳුනගන්න අවකාශය ලැබුණා. පොඩි කාලයේ ඉදලම කලාවට සම්බන්ධ අයත් එක්ක මට ගොඩනැඟෙන්න පුළුවන් වුණා. අමුණුගම කලා ආයතනය, කුමුදු කලා ආයතනය විශේෂයෙන්ම මතක් කරන්න ඕන. රංගකලාව සම්බන්ධයෙන් මූලික වශයෙන් ඉගෙන ගන්න පුළුවන් වුණේ මේ ආයතන දෙක නිසා. පාසලෙන් ලැබුණ සහයෝගයත් මගේ රංගන ක්ෂේත්‍රයට හයියක් වුණා. රත්නපාල සර්, කපුකොටුව සර්, සිරිසේන සර්, මහාචාර්ය වෛද්‍යවති රාජපක්ෂ, ගුණසේන රාජපක්ෂ යන නිසා තමයි මේ ක්ෂේත්‍රය ගැන පුළුල් දැනුමක් ලබාගන්න සහ මෙතරම් දුරක් එන්න පුළුවන් වුණෙත්.
මගේ පවුලෙනුත් මගේ නාට්‍ය කටයුතුවලට ලොකු සහයෝගයක් ලැබෙනවා. 1999 වර්ෂයේ ඉඳලම ප්‍රවීණ කලාකරුවන්ගේ මඟ පෙන්වීමත් එක්ක වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය, ගුවන්විදුලි නාට්‍ය, නර්තන ප්‍රසංග ආදියෙහි දෙස් විදෙස්වල කුසලතා පෙන්වන්න අවස්ථාව ලැබුණා.
ආචාර්ය ජයලත් මනෝරත්න, ආචාර්ය හෙන්රි ජයසේන, නීතිඥ ඩග්ලස් සිරිවර්ධන, නැසීගිය සයිමන් නවගත්තේගම, එච්. ඒ. පෙරේරා, මංගල සේනානායක, නිශ්ශංක දිද්දෙණිය, ආනන්ද එස්. විජේසිරි, ගාමිණි හත්තෙට්ටුවගම, බන්දුල විතානගේ, ෂෙල්ටන් ප්‍රේමරත්න, නාට්‍යවේදිනි ලලිතා සරත්චන්ද්‍ර වැනි කලා ශිල්පීන්, කලාකරුවන් යටතේ කලා කටයුතුවල නියැළෙන්න අවස්ථාව ලැබීම මගේ ජීවිතේ භාග්‍යයක් විදියටයි මම දකින්නේ.“
