ලංකාව වටේ දින 14ක් පාපැදිවලින් ගිහින් තැබූ වාර්තාව අදටත් එලෙසමයි -මාලිනී වීරමුණි

 


බො‍රැල්ල නගර මධ්‍යයේ අහස උසට නැගි මහා තුඹස “පුංචි තියටර්” නම් අපූරු කලාගාරය නාමෙල් වීරමුණි සහ මාලිනී වීරමුණි යුවළගේ පුංචි කුරුලු කැදැල්ලයි. එහි පුංචි ඉඩක මේ සොඳුරු යුවළ සැනසීමේ කාලය ගත කරන්නේ වැඩි ඉඩක් බාල, තරුණ, මහලු හා විවිධ තරාතිරමේ කලාකරුවන්ට තම කලා කටයුතුවල පුහුණුවීම් මෙනම නාට්‍ය පෙන්වීම් ආදිය ද සිදු කිරීම උදෙසා ලබා දෙමිනි. ජීවිතයේ සැඳෑ සමය ද තාරුණ්‍යයේ සොඳුරු සෙවණැලි සහ දැවටෙමින් සතුටින් සොම්නසින් දිවි ගෙවන්නට මේ යුවළට පුංචි තියටර් වෙතින් ලැබෙනුයේ අපූරු සහනයකි. බොරැල්ල මංසන්ධියෙන් මාලබේ පාරට හැරී තැපැල් කන්තෝරුව පසු කර පියවර කිහිපයක් ගමන් කරද්දී හමු වූ මේ විසල් තුඹසට අපි රිංගා ගත්තේ නාමෙල් – මාලිනී වීරමුණි යුවළ සමඟ පිළිසඳරකට එක් වීමටයි.


“අපි දෙන්නා දැන් ගොඩාක් වයසයි. මට නම් දැන් ටිකක් ඇවිදින්නත් අපහසුයි. එක තැනකටම වෙලා ඉන්නවා. හැබැයි මට මේ කොම්පියුටරය තියෙන නිසා දවස ගෙවෙනවා දැනෙන්නේ නැහැ. මගේ බිරිඳ මාලිනී මං ගැන හොයනවා බලනවා හැමදේම කරලා දෙනවා. උදව්වටත් කෙනෙක් ඉන්නවා. මේ පුංචි තියටර් එකේ උදේ ඉඳලා රෑ වෙනකන්ම බාල, තරුණ, මහලු භේදයක් නැතුව විවිධ තරාතිරමේ කලාකරුවෝ, ආධුනිකයෝ නොයෙකුත් කලා නිර්මාණවල යෙදෙනවා. පුහුණුවීම් කරනවා. හිනා වෙනවා… කතා කරනවා…. කෑගහනවා. මම එක තැනක ඉඳගෙන තවමත් නාට්‍ය කරවනවා. අපි බොහොම මහන්සියෙන් ගොඩනඟා ගත්ත මේ ජීවිතයේ අද විවේකීව සතුටින් ඉන්නවා.”


නාමෙල් වීරමුණි උපන්නේ ගාල්ල, බළපිටිය, අහුංගල්ල ප්‍රදේශයේයි. වයස අවුරුදු තුන අවසන් වෙත්ම පියා ජීවිතයට සමුදෙද්දී තම ජීවිතයේ වීරයා පිළිබඳ හැඟීම හා පෞරුෂය නාමෙල් වෙතින් ගිලිහී යන්නේ අවාසනාවත්ත ලෙසිනි. එතැන් පටන් දඩබ්බර චරිතයක් බවට පරිවර්තනය වන ඔහු ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ අහුංගල්ල ගල්වෙහෙර ප්‍රාථමික විද්‍යාලයෙනි.


“හතරේ හෝ පහේ පන්තියේදී ඉස්කෝලෙ ළමයෙකුගේ ඔළුවට ගලකින් ගහලා තුවාල කරලා මාව ඉස්කෝලෙන් එළවලා දැම්මා. ඒ වෙලාවේ ඉස්කෝලෙ ලොකු මහත්තයා පේර කෝටුවකින් මට හොඳටම ගැහුවා. ඊට පස්සේ මම ඉස්කෝලේ ගියේ නැහැ. ගෙදර ඉඳගෙන පොත් කියවන්න පුරුදු වුණා. ඩබ්ලිව්. ඒ. සිල්වාගේ “සුනේත්‍රා” පොත තමයි මට මුලින් ම කියවන්න ලැබුණේ. පුදුම විදිහට ඒ පොතට මට ආස හිතුණා. ඊට පස්සේ මම පොත් හොය හොය කියෙව්වා. ගමනක් බිමනක් යද්දි වුණත් පොතක් කියවමින් යන්න පුරුදු වුණා. ඒකෙන් මට ලොකු දැනුමක් ලැබුණා. අදටත් මම පොත් කියවනවා. ඒ වගේම පොත් ලියනවා.”‍


මුල් ගුරුතුමාගේ පේර කෝටු පහරින් පාසල් ගමන නතර වූ නමුත් කුඩා කල පටන් පිය සෙනෙහස පෑ මවුපස ඥාතීත්වයක් තිබූ ඩැනියල් මාමා යළි නාමෙල් වීරමුණිගේ අධ්‍යාපන ගමනට ආරම්භයක් දුන්නේ ය. වයස අවුරුදු පහළොවේදී මවු සෙනෙහස ද අහිමි වන ඔහුට ඉඩම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ලිපිකරු ලෙස රාජකාරි ඉටු කළ ඩැනියල් මාමාගේ රැකවරණය ලැබුණි. ස්ථාන මාරු ලැබ තැන්වලට යද්දී ඩැනියල් මාමා නාමෙල්ව ද කැටුව ගියේ ය. පේරාදෙණිය මහා විද්‍යාලයට නාමෙල් ඇතුළත් කෙරුණේ ඩැනියල් මාමාගේ මැදිහත්වීමෙනි.


“කන්දක් උඩ තිබුණු නිසා ඒ පාසල අවට පරිසරය හරිම ලස්සනයි. ඒත් ඒ ලස්සන දකින්න මට වැඩි කාලයක් ඒ පාසලේ ඉන්න බැරි වුණා. පාසලේ ඉගැන්වූ නපුරු ගුරුවරියක් මට ‘පහතරට ළමයා’ කිව්වා. ‘මං පහතරට ළමයා නෙවෙයි; මං නාමෙල්’ කියලා ඒ ගුරුවරියට මම නිතර කිව්වා. ඒත් ඇයගේ ආමන්ත්‍රණ විලාසය නතර වුණේ නැහැ. මට ඒ ඉස්කෝලෙත් එපා වුණා. ඩැනියෙල් මාමා රත්නපුරයට ස්ථාන මාරුවක් ලැබුවා. මාත් මාමා එක්ක රත්නපුරේ ආවා. අපේ අම්මාගේ අය්යා මහණවෙලා රත්නපුරේ පන්සලක හිටියා. උන්වහන්සේ මාව පන්සලේ නතර කරගෙන රත්නපුරේ ඉස්කෝලෙට ඇතුළත් කළා. මම එහිදී හොඳින් ඉගෙන ගත්තා. මට ඩබල් ප්‍රමෝෂන් ලැබුණා. මට නැති වෙච්ච අධ්‍යාපනය එයින් ලැබුණා. පස්සේ මම කොළඹ නාලන්දා විද්‍යාලයට ආවා. එහිදී ඉගෙනීමටත්, ක්‍රීඩාවටත් දස්කම් පෙන්නුවා. කැඩෙටින් නවත්වන්න කියලා එවකට රජය ගෙනා යෝජනාවකට විරුද්ධව යාළුවෝ දෙන්නෙක් එක්ක ලංකාව වටේ දින 14ක් පාපැදිවලින් ගිහින් වාර්තාවක් තැබුවා. ඒ ගැන පුවත්පත්වල ලොකුවට විස්තර ගියා. අදටත් ඒ වාර්තාව කවුරුවත් බිඳ දමලා නැහැ. පාසල් ජීවිතයේ කටුක අත්දැකීම් වගේම සොඳුරු මතකත් තියෙනවා.”


කොළඹ නාලන්දාවෙන් උසස් පාඨශාලා විභාගය සමත්ව විශ්වවිද්‍යාල ප්‍රවේශය ලද නාමෙල් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා විශේෂවේදී උපාධිධාරියෙකි. විශ්වවිද්‍යාල ජීවිතය ද ඉගෙනීමට සේම වාමාංශික මත දරමින් බාහිර ක්‍රියාකාරකම් සඳහා ද කැප කළ නාමෙල් ක්‍රීඩාවෙන් ද වර්ණ හතක් පමණ දිනා ඇත.


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී ඔහු බොහෝ නාට්‍ය නිර්මාණය කළේය. වේදිකා නාට්‍ය, සිනමා මෙන්ම ටෙලි නාට්‍ය රැසක් ද අධ්‍යක්ෂණය කළ ඔහු සිංහල මෙන් ම ඉංග්‍රීසි භාෂාවෙන් ද නිර්මාණ එළිදැක්වූයේ ය. ඔහුගේ “ගොළු බිරිඳ” නාට්‍යය බොහෝ සේ ජනප්‍රිය විය. එහි ප්‍රධාන චරිතය රඟපෑ නිළිය නොමැති වීමෙන් අහඹු ලෙස “ගොළු බිරිඳ” බවට පත් වූ මාලිනී ගොළු නොවූ සදාතනික ජීවන බිරිඳ බවට පත් කර ගන්නට නාමෙල් වීරමුණි දෙවරක් කල්පනා නොකළේ ය.


“මාලිනී මම නිර්මාණය කළ නාට්‍ය හැම එකකටම වාගේ ඇඳුම් නිර්මාණය කළා. ඒ විතරක් නෙවෙයි ඇය කිසි පැකිළීමකින් තොරව මගේ නිර්මාණවලට දායක වුණු පිරිසට සංග්‍රහ කටයුතු සිදු කළා. ඇය මං හඳුනන්නේ කුඩා කාලයේ සිටයි. ඇයගේ පියා නඩුකාරවරයෙක්. නමුත් ඒ පිළිබඳ මාන්නයක් ඇයට කවදාවත් තිබුණේ නැහැ. පසු කාලයේදී ඇය මගේ නිර්මාණවල ප්‍රධාන චරිත සහ සෙසු චරිත රඟපෑවා. අපි දෙන්නා 1963 දී විවාහ වුණා. මගේ කලා කටයුතුවලට උදව් කරමින් ඇය අපේ දරුවන් රැක බලා ගැනීම, ගේදොර වැඩ කටයුතු, මගේ දුක සැප බැලීම ආදියත් අතපසු නොකර සිදු කළා. අපේ දුව නිර්මාණිකා වීරමුණි නවසීලන්තයේ වෛද්‍යවරියක් ලෙස කටයුතු කරනවා. එයාට දුවෙකුයි, පුතෙකුයි ඉන්නවා. දෙවැනි දරුවා පුතා හේෂාන් වීරමුණි අ‍ෙමරිකාවේ කොම්පැනියක අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරනවා. එයාටත් දුවෙකුයි, පුතෙකුයි ඉන්නවා. බාලයා පුතා තරිඳු ධාරිත වීරමුණි නවසීලන්තයේ යුද හමුදාවේ කොමාන්ඩර් කෙනෙක් හැටියට කටයුතු කරනවා. එයාට පුත්තු දෙන්නෙක් ඉන්නවා. දරුවෝ කොහේ හිටියත් අපි ගැන බලනවා. පුළුවන් වෙලාවට ලංකාවට එනවා. අපි දෙන්නා යුතුකම් ඉටු කරලා, කලා වැඩ කරගෙන, අලුත් පරපුරට අතහිත දෙමින් වසර හැටක් පුරා සතුටින් සහයෝගයෙන් ඉන්නවා.”


*නාමෙල් වීරමුණි නිර්මාණකරුවෙක්, අධ්‍යක්ෂවරයෙක්, ගත්කතුවරයෙක් පමණක් නොව 1972 වසරේදී නීතිඥවරයකු ලෙස දිවුරුම් දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරයකු බවට ද පත්වූයේ ය. නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ සහකාර කෙටුම්පත් සම්පාදකයකු ලෙස කටයුතු කළ ඔහු ඊට පෙර ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ලේඛකයෙකු ලෙස ද කටයුතු කළේ ය.


“ඒ රාජකාරි කරමින් ඉන්න අතරතුර මාස තුනකට කැනඩාවට යන්න මට ශිෂ්‍යත්වයක් ලැබුණා. ඊට පස්සේ නිව්යෝර්ක්, වොෂින්ටන්වලටත් ගියා. ඒ වෙද්දි ළමයි තුන්දෙනාත් හිටියා. ණය අරගෙන ඒවා ගෙවාගන්නත් බැරුව අමාරුවේ වැටිලා බොහොම දුෂ්කර කාලයක් අපි දෙන්නා ගත කරමින් හිටියා. ඒ අතරේ මාස තුනකට කැනඩාවට ගිය ගමන ආපසු ලංකාවට එන්න ප්‍රමාද වුණා කියලා ලංකාවේ මගේ රැකියාවත් නැති වුණා. අන්තිමේදී මම එංගලන්තයේ නැවතුණා. ඒක හරිම දුෂ්කර කාලයක් වුණා. සුපර් මාර්කට් එකක රාක්කවලට බඩු දැම්මා. පෙට්‍රල් ෂෙඩ් එකක වැඩ කළා. ඒකෙදි නම් තෙල් ගහන්න එන අය පොඩි පොඩි ගණන් අතට දීලා ගියා. ඊට පස්සේ ආපණ ශාලාවකත් වැඩ කළා. එහේ හිටපු දමිළ සහෝදරයෙක් මට ගොඩාක් උදව් කළා. නීති සමාගම්වලට බැඳිලා වැඩ කළා. ටික ටික මගේ ආදායම වැඩි වෙන්න පටන් ගත්තා. හොඳ පළපුරුදු නීතිඥවරු ඇසුරු කරන්න ලැබුණා. ඒ පැත්තෙන් මගේ දැනුම වැඩි වුණා. උසාවි ගිහින් අත්දැකීම් ලබා ගත්තා. ගොඩාක් මහන්සි වෙලා සොලිසිටර් ජෙනරාල් කෙනෙක් බවට පත් වුණා. මගේම කියලා නීතිඥ සමාගමකුත් එංගලන්තයේ පටන් ගත්තා. යම් ස්ථාවරත්වයක‍ට ආවාට පස්සේ ලංකාවට ඇවිත් නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා මට බාර දුන්න නඩු හයක වැඩ කළා. ඒ නඩු හයම දිනුවා. හැබැයි ඒ නඩු එකකටවත් මම සත පහක්වත් අය කළේ නැහැ. ඒ ගැන මට අදටත් සතුටුයි.”


නාමෙල් වීරමුණි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු‘ නාට්‍ය ඉංග්‍රීසියට පරිවර්තනය කර නව නිෂ්පාදනයක් කරමින් වසර එකහමාරක් ඇතුළත ශාස්ත්‍රපති උපාධිය නිම කර හවායි ගොස් සිය ආචාර්ය උපාධිය ද සම්පූර්ණ කළේ ය.


“පියා මැරීම සම්බන්ධයෙන් ඊඩිපස් හා සිංහබාහු නාට්‍ය ද්විත්වය ඇසුරින් මම හවායිවල ආචාර්ය උපාධි පර්යේෂණ කටයුතු කළා. ඒත් මට හවායිවලදී ආචාර්ය උපාධිය සම්පූර්ණ කරන්න බැරි වුණා. පොඩි පුතා අසනීප වුණා. මම ලංකාවට ඇවිත් විශ්වවිද්‍යාල කිහිපයක ඉගැන්වීම් කළා. කැලණිය විශ්වවිද්‍යාලයෙන් මට ගෞරව ආචාර්ය උපාධියක් ලැබුණා. ටික කාලයක් ලංකාවේ ඉඳලා එංගලන්තයේ මම ඇති කළ නීතිඥ සමාගමටම උපදේශකවරයකු හැටියට ගියා. එහිදී මට උපදේශන සේවා ගෙවීමක් ලැබුණා. ඒ ගමන ආපහු ලංකාවට ආවේ 2002 වසරේදී යි. එදා මෙදාතුර නාට්‍ය නිර්මාණය කරමින්, පොත පත ලිපි ලියමින්, නාට්‍ය හා චිත්‍රපට නරඹමින් මේ විදිහට ඉන්නවා. පසුගිය වසරේ කෙටිකතා පොතක් ලිව්වා ‘භාර්යාවගෙන් ලියමනක්’ කියලා. ඒ වගේම මගේ ජීවිත කතාවත් ඉංග්‍රීසියට පරිවර්තනය කර තිබෙනවා. තව ඉංග්‍රීසියෙන් පොතකුත් ලිව්වා. ඊළඟට සිංහබාහුට මොකද වුණේ කියලා මම තව නාට්‍යයක් ලියාගෙන යනවා. ඒක නම් කළේ ‘ළෙන් දොර ඇරලා – ගල්ලෙන බිඳලා’ කියායි. ඒක ඉක්මනින් කරන්න මං බලාපොරොත්තු වෙනවා. ‘රාවණා – සීතාභිලාෂය’ නමින් මම තව නාට්‍යයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නාට්‍යය මහාචාර්ය ජේ. බී. දිසානායක මහතා ලිව්වා. මම ඒක ටිකක් වෙනස් කරලා ගත්තා. ‘යම යුද්ධය’ නමින් නාට්‍යයක් ලිව්වා. තව ‘මරණයාණන් වහන්ස’ කියලාත් නාට්‍යයක් ලිව්වා. ඒක මරණයාණන් වහන්ස සහ මැරෙන්න ආසන්නව සිටින මිනිහෙකුයි අතර ඇති සංවාදයක් හැටියටයි ලිව්වේ. ඇත්ත වශයෙන්ම කියනවා නම් මගේ හිතේ තියෙන අභිලාෂයන් තමයි ඒ නාට්‍යයෙන් මම මතු කළේ. ඒ නාට්‍යයේ මෙන්න මෙහෙම දෙබස් තියෙනවා….”


“ඇත්තමයි යකෝ..


උඹට මැරෙන්න ඕනේ කියලා මට මේ තරම් කරදර කරන්නේ ඇයි….?


මට පැය විසි හතරම වැඩ තියෙනවා යකෝ…




Previous Post Next Post