මට රඟපාන්න ආසා හිතුණෙත් මගේ පුංචි හින්දා - සහේලි සතරසිංහ




ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ ‘මන්දාරා’ සිනමා පටයට සහේලි සම්බන්ධ වුණේ කොහොමද?


මම මුලින්ම රඟපෑවේ උදයකාන්ත වර්ණසූරිය මාමා අධ්‍යක්ෂණය කළ ‘බන්ධනය’ චිත්‍රපටයටයි. ඒ චිත්‍රපටයේ සහාය අධ්‍යක්ෂණය කළේ ඩොනල්ඩ් ජයන්ත මාමා. ඉතින් ඩොනල්ඩ් මාමා අපිට ප්‍රියන්ත කොළඹගේ මාමාව හඳුන්වලා දුන්නා. ඒ වෙද්දී ඒ අය ‘දේදුනු ආකාසේ’ චිත්‍රපටයට මගේ වයසේ ගෑනු ළමයෙක් හොයමින් ඉඳලා තියෙන්නේ. ඒ වෙද්දි  මගේ වයස අවුරුදු අටයි. ඔය විදිහට මම ප්‍රියන්ත මාමාගේ ‘දේදුනු ආකාසේ’ චිත්‍රපටයටත්,  ඊට පස්සේ ‘සකූගේ කතාව’, ‘සකූගේ ලෝකය’ ටෙලිනාට්‍යවලටත් සම්බන්ධ වෙලා නැවතත් ‘මන්දාරා’ චිත්‍රපටයට සම්බන්ධ වුණා.


‘මන්දාරා’ චිත්‍රපටය රඟපාද්දී සහේලිගේ වයස කීයද?


ඒ චිත්‍රපටය රඟපාද්දී මගේ වයස අවුරුදු දොළහයි.


‘මන්දාරා’ චිත්‍රපටය රඟපාද්දී ඔයාගේ අධ්‍යාපන කටයුතු අතපසු වුණේ නැද්ද?


නැහැ. මම ඉගෙන ගන්නේ කොළඹ ආනන්ද බාලිකා විදුහලේ. පාසලේ විදුහල්පතිනිය ඇතුළු සියලුම ගුරු මණ්ඩලයත් මගේ ආදරණීය මිතුරියන්වත් ආදරෙන් මතක් කරනවා. ‘මන්දාරා’ චිත්‍රපටය රූගත කිරීම් කළේ මගේ පාසල් නිවාඩු කාලයෙයි. ඒ වගේම චිත්‍රපටයකට ටෙලිනාට්‍යයක් වගේ ලොකු දින ගණනාවක් වෙන් කරන්න ඕනෑ වෙන්නේ නැහැනේ. ඒ නිසා අධ්‍යාපනයට කිසිම බාධාවක් නොවී ‘මන්දාරා’ චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගි වුණා.


සහේලි රඟපාන්න පුංචි කාලේ ඉඳන්ම ආසාවෙන්ද හිටියේ?


ඔව්.. මම පුංචි කාලේ ඉඳන්ම වෙළෙඳ දැන්වීම්වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඒවා ගැන මට ඒ තරම් මතකයක් නෑ. අම්මා කියන විදියට මම මුලින්ම වෙළෙඳ දැන්වීමකට සම්බන්ධ වෙලා තියෙන්නේ මට වයස අවුරුදු තුනේදීයි. ඊට කලින් ඉඳන්ම මම ටීවී එකේ සින්දුවක් යද්දිත් නටනවලු. සින්දු කියනවලු. ඒ නිසාම තමයි මගේ පුංචි (ධනංජි තාරකා) මාව වෙළෙඳ දැන්වීමකට සම්බන්ධ කරලා තියෙන්නේ. ඉස්සර මම චූටි කාලේ හිටපු වෙළෙඳ දැන්වීමක් ටීවී එකේ යද්දී හරිම ආසාවෙන් බලාගෙන ඉන්නවා කියලා අම්මා කියනවා. මේ වෙද්දි මම වෙළෙඳ දැන්වීම් හැත්තෑවකට ආසන්න ප්‍රමාණයකට සම්බන්ධ වෙලා තියෙනවා.


‘මන්දාරා’ චිත්‍රපටයේ රූගත කිරීම් කරද්දී ඔයත් එක්ක තනියට යන්න ආවේ අම්මද?


නෑ. ‘මන්දාරා’ චිත්‍රපටයේ රූගත කිරීම් කරන කාලයේ දී මගේ අම්මට මල්ලිව ලැබෙන්නයි හිටියේ. ඒ නිසා අම්මා වෙනුවට මාත් එක්ක මගේ අම්මම්මා (ආච්චි) යන්න ආවා. ‘මන්දරා’ චිත්‍රපටයේ දී විතරක් නෙවෙයි, මල්ලි පොඩි නිසා අනිත් නිර්මාණ කිහිපයකම රූගත කිරීම් කරද්දි මාත් එක්ක තනියට මගේ අම්මම්මා ආවා. එයා මට හරි ආදරෙයි.


ධනංජි තාරකා කියන්නේ සහේලිගේ පුංචි. රංගනය ගැන පුංචි, සහේලි එක්ක  කතාබහ කරනවද?


ඔව්... මට රඟපාන්න ආසා හිතුණෙත් පුංචි නිසාම තමයි. එයා රඟපානවා ටීවී එකේ දකිද්දි මටත් ආසා හිතුණා. මගේ රඟපෑමේ අඩුපාඩු පුංචි මට කියලා දෙනවා. හොඳ කියනවා.   සමහරදාට අපි දෙන්නා එකතු වෙලා හොඳ චිත්‍රපට බලනවා. පුංචි අපිට හරි ආදරෙයි.


‘මන්දාරා’ චිත්‍රපටයේ දී ඔයා ලබපු අත්දැකීම් කොහොමද?


‘මන්දාරා’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ මාමාගේ නිර්මාණ කිහිපයකටම මම මුලින්ම සම්බන්ධ වෙලා හිටපු නිසා මට ප්‍රියන්ත මාමාව හුරුයි. ඒ වගේම බිමල් මාමා. චුලක්ෂි නැන්දා, සේමිණී නැන්දා, මේඝ මාමා මට ගොඩක් උදව් කළා. එයාලා මගේ අඩුපාඩු හදලා මට රඟපාන්න උදව් කළා. ‘දේදුනු ආකාසේ’ චිත්‍රපටයේ මගේ අම්මා විදියට රඟපෑවේ චුලක්ෂි නැන්දා. ‘මන්දාරා’ චිත්‍රපටයේ මුල් කොටස්වල චුලක්ෂි නැන්දා එක්ක රඟපාන්න නොතිබුණත් අවසානයේ දී නැන්දත් එකක් මට රඟපාන්න අවස්ථාව ලැබුණා. ඉතින් ඒ හැමෝම නිසා ‘මන්දාරා’ චිත්‍රපටයේ හරිම ආසාවෙන් මම රඟපෑවා. ‘මන්දාරා’ චිත්‍රපටය රූගත කිරීම් කළ ඇල්ල පැත්තටත් මම හරි ආසයි. ඒ සීතල දේශගුණයට මම හරි ආසයි. ඒ නිසා ඒ චිත්‍රපටයේ මම හරි  ආසාවෙන් රඟපෑවා.


මේ දිනවල සහේලි රංගනයට තාවකාලිකව විරාමයක් තියලද?


ඔව්... ඒකට හේතුව මම මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙනවා. ඒ නිසා වැඩි කාලයක් මම අධ්‍යාපනයට තමයි මුල්තැන දීලා තියෙන්නේ. ඔය අතරේ නවක නිර්මාණ කිහිපයකටම ආරාධනා නම් ලැබුණා. හැබැයි ගිය වසරේ ඉඳන් නිර්මාණ බාරගත්තේ නෑ. 


ඔයා දැන් ලොකු අක්කා කෙනෙක්. එහෙම නේද?


ඔව්... මට නංගි කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ඉන්නවා. මගේ නංගිගෙ නම සිතුලි සතරසිංහ. මල්ලිගේ නම සිහත් සතරසිංහ. මේ හැමදේටම මට මගේ අම්මයි තාත්තයි ගොඩක් උදව් කරනවා. මගේ අම්මගේ නම ඉමානි කළුආරච්චි. තාත්තා වසන්ත සතරසිංහ. මගේ නංගියි මල්ලියි ‘මන්දාරා’ චිත්‍රපටය බලන්න ගියා. චිත්‍රපටයේ බිමල් මාමා මාව අල්ලගන්න නිසා මල්ලි බිමල් මාමාට ටිකක් බය වුණා. නංගිත් වෙළෙඳ දැන්වීම් කිහිපයකටම සහභාගි වෙලා තියෙනවා.


අවුරුදු කිහිපයකට උඩදී රූගත කෙරුණු ‘මන්දාරා’ සිනමා පටය නරඹද්දී අද සහේලිට මොකද හිතෙන්නේ?


මට ගොඩක් සතුටු හිතුණා. අවුරුදු හතරකට පස්සේ ඒ චිත්‍රපටය දකිද්දී ඇත්තටම සතුටුයි. ඉතින් මගේ රංගන කටයුතුවලට උදව් කරන, මාව දිරිගන්වන හැමෝටම ස්තූතියි. ‘මන්දාරා’ චිත්‍රපටය නරඹන්න මම හැමෝටම ආරාධනා කරනවා.



Previous Post Next Post