හොරා අංකල් හින්දා මම මගේ ගුරුවරයාගේ බිරිඳ වුණා - අනුරුද්ධිකා




හොරා අංකල්’ චිත්‍රපටයේ අධ්‍යක්ෂ හර්ෂණ වික්‍රමසිංහ එක්ක ඊට පෙර මම නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙලා හිටියා. ඒ නිසා හර්ෂණ මාව දැනගෙන හිටියා. ඒ දැන හැඳුනුම්කමත් එක්ක ඒ චරිතයට මට හර්ෂණ කතා කළා. ඒ අනුව තමයි මම ‘හොරා අංකල්’ චිත්‍රපටයට සම්බන්ධ වුණේ.


‘හොරා අංකල්’ සිනමා පිටපත ලැබුණට පසුව යම් යම් වෙනස්කම් සිදු කළාද?


ඔව්... මුල් පිටපත චිත්‍රපටයට වඩා ටිකක් දිගට ලියැවිලා තිබුණා. ඒ නිසා අපි මුණගැහිලා චිත්‍රපටයකට ප්‍රමාණවත් පරිදි ඒ පිටපත නැවත ටිකක් සංස්කරණය කළා. අපි හර්ෂණත් එක්ක කතාබහ කරලා සිනමාරූපීව ඔහුට අවශ්‍ය පරිදි පිටපත හදලා චිත්‍රපටය සකස් කළා.


‘හොරා අංකල්’ චිත්‍රපටයේ දී මහේන්ද්‍ර පෙරේරා රඟපෑ චරිතයේ බිරිඳගේ චරිතය රඟපාන්න ඔබට අවස්ථාව ලැබුණා?


ඔව්... ඒ අවස්ථාව හරිම සුවිශේෂීයි. මහේන්ද්‍ර අයියා කියන්නේ මගේ රංගන ගුරුවරයයි. ඉතින් ගුරුවරයාත් එක්ක රඟපාද්දී සෑහෙන්න පරිස්සම් වෙන්න ඕනෑ. මහේන්ද්‍ර අයියා නිර්මාණයක් කරද්දී හොඳ කියනවටත් වඩා වැරැද්දක් පෙන්නලා දීලා ඒක හදාගන්න උදව් කරනවා. ඒක හරිම වටිනවා. ඉතින් ඔහු එක්ක වැඩ කරද්දී කිසිම අපහසුවක් දැනුණේ නෑ. හරිම සහයෝගයෙන් වැඩ කළා. රඟපාද්දිත් බොහෝ දේවල් මහේන්ද්‍ර අයියා කියලා දුන්නා. හැබැයි ඔහු ගුරුවරයෙක්. ඒ නිසා හරිම පරිස්සමෙන් රඟපෑවා. ඔහු එක්ක රඟපාද්දි ඒක මගේ රංගනයටත් ලොකු සහයෝගයක් වුණා. ඒක ඒ අදාළ සිදුවීම් රූගත කිරීම් සාර්ථක කර ගන්නත් ඉවහල් වුණා. ‘හොරා අංකල්’ චිත්‍රපටයට පෙරත් මහේන්ද්‍ර අයියා එක්ක චිත්‍රපට හා ටෙලිනාට්‍ය කිහිපයකම එකට රඟපාන්න මට අවස්ථාව ලැබුණා.


රංගනය පිළිබඳ අනුරුද්ධිකාගේ හිතේ කැමැත්තක් ඇතිවුණේ කොයි කාලයේදීද?


මම ඉගෙන ගත්තේ රුහුණු විශ්වවිද්‍යාලයේ. ඒ කාලේ විශ්වවිද්‍යාල අවසන් වසරේ ඉගෙන ගනිද්දී ලූෂන් බුලත්සිංහ මහතාගේ වේදිකා නාට්‍යයකට සම්බන්ධ වුණා. අපේ සංස්කෘතික කේන්ද්‍රය හරහා අපේ 25වැනි සංවත්සරය වෙනුවෙන් කළ, ‘දෝන කතිරිනා’ නාට්‍යයේ ප්‍රධාන චරිතය රඟපාන්න මට අවස්ථාව ලැබුණා. ඒකත් එක්ක රංගනයට සම්බන්ධ වෙන්න විශේෂ කැමැත්තක් ඇතිවුණා. ඊට පෙරත් මම පාසල් යන කාලයේ දී සෞන්දර්ය කටයුතුවලට සම්බන්ධ වෙලා හිටියා.


අනුරුද්ධිකා අධ්‍යාපනය ලැබුවේ?


මම පාසල් දෙකක අධ්‍යාපනය හැදෑරුවා. මුලින්ම හෝමාගම මේධානන්ද මහා විද්‍යාලයෙන් සහ පසුව පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරුවා. අද වගේ මහා පරිමාණයෙන් නැතත් ඒ කාලයේදීත් වසර අවසානයේ දී විවිධ ප්‍රසංගයක් පවත්වනවා. අද වියදම් අධිකව ඒ ප්‍රසංග පැවැත්වුවත් ඒ කාලයේ දී දෙමව්පියන්ට ලොකු බරක් නොදී දරුවන්ගේ හැකියාවන් එළි දක්වන්න උදව් කළා. අපි අම්මලාගේ සාරි ඇඳන් තමයි ඒ ප්‍රසංගවලට ඉදිරිපත් වුණේ. ඉතින් ඒ හැම වසරකදීම නැටුම්, නාට්‍ය, ගායන නිර්මාණවලට මමත් සම්බන්ධ වුණා. ඔය අතරේ අධ්‍යාපනයටත් මගේ නැඹුරුවක් තිබුණා. පන්නිපිටිය ධර්මපාල විදුහලේ ඉගෙන ගනිද්දිත් සම්පත් පෙරේරා සහ තුමිඳු දොඩම්තැන්නගේ කලා නිර්මාණවලටත් සම්බන්ධ වුණා. පසුව මට රුහුණු විශ්වවිද්‍යාලට යන්න අවස්ථාව ලැබුණා.


ඔබට දැනෙන විදිහට විශ්වවිද්‍යාලය මොන වගේ තැනක්ද?


මම නම් කියන්නේ පුළුවන් නම් හැම දරුවෙක්ම විශ්වවිද්‍යාල අත්දැකීම විඳින්නම ඕනෑ කියලයි. ඒක වෙනමම ජීවිතයක්. විවිධ පළාත්වලින් ආපු සමානව හිතන පිරිසක් අපිට එතැනදි මුණගැහෙනවා. එතැනින් පස්සේ ජීවිතයේ දී අපිට විවිධ මිනිසුන් මුණගැහෙනවා. නමුත් විශ්වවිද්‍යාලේ දී සම වයසේ ඉන්න, පොඩි පොඩි වෙනස්කම් තිබුණත් සමානව මත දරන, ඕනෑම දෙයක් පැහැදිලිව කතා කරන්න පුළුවන් නිදහස් පිරිසක් අපිට මුණගැහෙනවා. ඒ නිසා ඒ අත්දැකීම සුවිශේෂීයි. ඒක ජීවිතේ ඕනෑම කෙනකුට හරිම වටිනවා. ඒ අවුරුදු හතර විශ්වවිද්‍යාලේ ගිය කෙනකුට අමතක කරන්න බෑ. ඒ නිසා විශ්වවිද්‍යාල වරම් ලැබීම දරුවකුගේ ජීවිතයේ එක කඩඉමක් කියලයි මට හිතෙන්නේ.


අනුරුද්ධිකා වෘත්තියෙන් රංගන ශිල්පිනියක්ද?


ඔව්... වෙනත් රැකියාවක් නොකරන නිසා මම වෘත්තියෙන් රංගන ශිල්පිනියක්. මුල් කාලයේ ඉඳන්ම මට හොඳ අධ්‍යක්ෂවරුන්ගේ හොඳ තිර පිටපත්වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. දීර්ඝ මෙගා ටෙලිනාට්‍යවලට නම් මම සම්බන්ධ වුණේ නෑ. මේ දක්වා ආපු ගමනේ දී මට පුළුවන් තරමින් ගුණාත්මක නිර්මාණවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. මේ වෙද්දි මම සුදත් දේවප්‍රිය මහතාගේ, ‘අකුරට යන වෙලාවේ’ ටෙලිනාට්‍යයට දායක වෙලා තියෙනවා. ඊට අමතරව මම දායක වුණු සිනමාපට දෙකක් ඉදිරියේ දී තිරගත වෙන්න නියමිතයි.


අද ගෙවන කලා ජීවිතය ගැන කලාකාරියක් විදිහට මොකද හිතෙන්නේ?


රංගන ශිල්පිනියක් විදිහට සමහර වෙලාවට මීට වඩා මට තව රඟපාන්න පුළුවන් පරාසයක් තියෙනවා කියලා හිතෙන, ඒකට අවස්ථාව ලැබෙනවා නම් හොඳයි කියලා හිතෙන තැන් තියෙනවා. කලාකාරියක් වීම ගැන ඇත්තටම මට සතුටුයි.


අද ගෙවන සාමාන්‍ය ජීවිතය ගැන මොකද හිතෙන්නේ?


ඒ ජීවිතයටත් මම ගොඩක් කැමතියි. මට පුතාලා දෙන්නෙක් ඉන්නවා. ඒ අය වෙනුවෙන් කාලය යොදවන නිසා මට ලොකු කාලයක් රූගත කිරීම්වලට යොදවන්න අමාරුයි. තාම පුතාලා පාසල් අධ්‍යාපනය හදාරනවා. පවුලක් විදියට අපි දුක සැප බෙදාගෙන හොඳින් සතුටින් ජීවත් වෙනවා.


• දිශානි ජයමාලි



Previous Post Next Post