රංගනය නිසා රට යනයෑම කල් දැම්මා-දිලූෂි හංසිකා



ටී.වී දෙරණ නාළිකාවේ විකාශය වුණ දරණි ටෙලිනාට්‍යයෙන් කලා ක්ෂේත්‍රයට ආපු දිලූෂි හංසිකා රංගනයෙන් සම්බන්ධ වෙලා ඉන්න අලුත්ම ටෙලිනාට්‍යය රොකී උණුසුම් ප්‍රතිචාර මැද මේ දවස්වල සාර්ථකව විකාශය වෙනවා. ඉතින් මේ විදිහට දිලූෂි කලා ක්ෂේත්‍රය තුළ තබපු අලුත් පියවර ගැන ඇයත් එක්ක කතා කරන්න හිතුවා.




දිලූෂි ආපහු ආදරවන්තියක් වුණා කියලා ආරංචියි?




ඔව් මගේ අලුත්ම පෙම්වතා රන්දික ගූණතිලක. හැබැයි ඇත්ත ජීවිතේ නම් නෙමයි. රොකී ටෙලිනාට්‍යයේ මගේ පෙම්වතා තමයි රන්දික ගුණතිලක.




රන්දිකත් එක්ක රඟපාන අත්දැකීම මොනවගේද?




රන්දික අයියා එක්ක මම රඟපාන පළමුවෙනි වතාව. නිතරම රන්දික අයියා එක්ක රඟපාලා නැති නිසා මට එයත් එක්ක රඟපානකොට මුලින්ම ලැජ්ජා හිතුණා. හැබැයි දිගට රඟපෑම් කටයුතු කරගෙන යනකොට නුහුරු නුපුරුදු ගති නැතිවෙලා අපි හොඳ යාළුවො වුණා. ඇත්තටම දැන් මගේ චරිතය හරි විදිහට ඉදිරිපත් කරන්න රන්දික අයියා ගොඩක් ලොකු සහයෝගයක් දෙනවා


දරණිගෙන් පටන්ගත්ත ගමනද මේ තාක් දුර ආවේ?




ඔව්. ටී.වී දෙරණ නාළිකාවෙ විකාශය වුණ දරණි ටෙලිනාට්‍යයෙන් තමයි මාව ප්‍රේක්ෂකයන් වගේම ක්ෂේත්‍රයේ ඉන්න අය දැනගත්තේ. ඊට පස්සෙ මට දියණි ටෙලි නාට්‍යයෙත් සැලෙනා නුවන් ටෙලිනාට්‍යයෙත් රඟපාන්න අවස්ථාව ලැබුණා. අලුත්ම ටෙලිනාට්‍යය රොකී කියන්නෙ මම රඟපාන හතරවෙනි ටෙලිනාට්‍යය.






සැලෙනා නුවන් රූගතකිරීම් අතර කරපු වීඩියෝවක් පහුගිය දවස්වල සමාජ මාධ්‍යවල අතර වැඩි කතාබහට ලක්වුණා...






සැලෙනා නුවන් රූගතකිරීම් අතරතුර පියත් රාජපක්ෂගේ සීදේවි සිංදුවට මමයි තුලංගයි රාත්‍රි නිදන ඇඳුමඇඳගෙන නටන ටික්ටොක් වීඩියෝවක් කළා. ඉතින් ඒක සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ කළහම සමහරු අහලා තිබුණා නිදන ඇඳුම් පිටින් නටන්නේ පිස්සුද කියලා. සැලෙනා නුවන් බලන කට්ටිය නම් අඳුරගෙන ඒකට හොඳ ප්‍රතිචාර දුන්නා.


කෑමවලට වැඩි තැනක් දෙන නිළියක් විදිහට සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධයි...




ඔව් මම කෑමවලට ගොඩක් කැමතියි. අලුත් විදිහෙ කෑම හදන්න කෑම නිතරම කන්න මම ගොඩක් ආසයි. කෑමවලට තියන කැමැත්ත නිසාම කාලයක් කෑම ගැන කරන යූටියුබ් වැඩසටහනක නිවේදන කටයුතුත් කරන්න අවස්ථාව ලැබුණා.




කෑමවලට මුල් තැනක් දීලා ඇඟ රැකගන්නෙ කොහොමද?




ඇඟ සිහින් හැඩයට නඩත්තු කරනවද? නැත්තන් කෑම කලා සතු⁣ටින් ඉන්නවද? කියන එකෙන් මම තෝරගෙන ඉන්නේ ඇත්තටම හිතේ හැටියට කෑම කලා සතුටින් ඉන්න එක. ඒ නිසා මම වැඩිය කෑම පාලනය කරන්නෙ නැහැ. හැබැයි අධික ප්‍රමාණයෙන් කෑම ගන්නෙ නැහැ. මම දන්නවා මගේ සීමාව. ඒ සීමාවට අනුව මම කෑම ගන්නවා.


සැමියගෙන් ලැබෙන සහයෝගය කොහොමද?




සැමියගෙන් ම⁣ට ලොකු නිදහසක් වගේම සැහැල්ලුවක් හම්බවෙනවා. රංගන කටයුතුවලට යනකොට කවදාවත් එයා මගෙන් අහලා නැහැ මොනවද ගිහින් කරන්නෙ කාත් එක්කද රඟපාන්නේ කීයටද ආපහු එන්නෙ වගේ වදයක් වෙන ප්‍රශ්න. නිතරම එයා අහන්නෙ මට සහයෝගයක් දෙන්න පුළුවන් විදිහේ දේවල් එයාට තියනවද කියලා. ඉතින් අද කාලෙ සමහර පිරිමි එක්ක බැලුවහම ඒ වගේ සැමියෙක් ලැබීම ගැන මම වාසනාවන්තයි.






දිලූෂිගේ කටකාරකමට සැමියා කැමතිද?






අනේ ඔව්. එයා හොඳ ඇහුන්කන් දෙන්නෙක්. මම කියවන ඕන දෙයක් හරි කැමැත්තෙන් එයා අහගෙන ඉන්නවා.




ඒ කියන්නෙ සැමියාගෙන් සීමා මුකුත් නැතුව ඇති?




රංගන ජීවිතය ගැනවත් මම අඳින පලඳින විදිහ ගැනවත් හැසිරීම ගැනවත් සැමියා ම⁣ට කිසිම කොන්දේසියක් අද වෙනතුරු දාලා නැහැ. ඒ දේවල් ප්‍රශ්නයක් නැතුව සීමාවක් තියාගෙන කරගෙන යන්න මම දන්නවා. ඉතින් මම ගැන ඒ විශ්වාසය සැමියට තියනවා.



දිගටම රඟපාන්නද අදහස?




පහුගිය වසරෙදී මම උපාධිය සම්පූර්ණ කළා. නමුත් ලබපු අධ්‍යාපනයෙන් රැකියාවකට යන්නෙ නැතුව තාම රංගනය වෘත්තීය කරගෙන ඉන්නවා. පශ්චාත් උපාධිය වෙනුවෙන් පිටරට විශ්වවිද්‍යාලයකට අයැදුම් කරලා තිබුණත් රොකී ටෙලිනාට්‍යය බාරගත්ත නිසා ලංකාවේ ඉඳගෙන රංගන කටයුතු කරගෙන යනවා. ඇත්තටම දැන් රොකී වෙනුවෙන් පිටරට අධ්‍යාපනයට යන සිහිනය කල් දාලා ලංකාවෙ විශ්වවිද්‍යාලයකට සම්බන්ධවෙලා පශ්චාත් උපාධිය හදාරන ගමන් රංගන කටයුතු කරගෙන යන්න හිතාගෙන ඉන්නෙ.








Previous Post Next Post