අලුත් අය නිසා අපිත් අප්ඩේට් වෙනවා-අංජුලා රාජපක්ෂ



ඇය ලාංකේය රසික හදවත් තුළ නොමැකෙන මතකයන් තබන්නට සමත් වූ දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. දෙවෙනි ඉනිමේ ‘අමීෂා’ කියූ සැණින්ම ඇයව ඔබට මතකයට නැඟෙනවා ඇති. සැබෑ නමට වඩා පණ පෙවූ චරිතයේ නමින්ම රසික හදෙහි ලැගුම් ගත් ඇය නමින් අංජුලා රාජපක්ෂ. මේ දිනවල ඔබේ කාලය ගෙවී යන්නේ කොහොමද?


ගෙදර වැඩ කටයුතු වගේම රංගන වැඩකටයුතුත් සමඟින් කාලය ගෙවී යනවා. මේ දිනවල පාරාදීසේ ටෙලි නාට්‍යයේ වැඩකටයුතු කරගෙන යනවා. ඒ වගේම දෙවෙනි ඉනිමේ ෂූටිංවලටත්, බිග්බෙන් ටෙලි නාට්‍යයේ වැඩකටයුතුවලටත් තමයි මගේ කාලය ගත වෙන්නේ.


ඔබ පරාදීසේ සහ දෙවෙනි ඉනිමේ යන නාට්‍යයන් දෙකෙහිම මවක් විධියට රංගනයෙන් දායක වෙනවා. ඒ ගැන කතා කරමු?


ඔව්… ඒ නාට්‍යයන් දෙකේම මම මවක් විධියට තමයි රංගනයෙන් දායක වන්නේ. නමුත් ඒ චරිත දෙක හාත්පසින්ම වෙනස්. අමීෂා කියන්නේ කලින් නපුරු විධියට හිටපු දැන් ටිකක් හොඳ වෙලා ඉන්න ඉහළ පෙළැන්තිය නියෝජනය කරන චරිතයක්. පාරාදීසේ මල්ලිකාගේ චරිතය ජනාකීර්ණ පරිසරයක ජීවත් වන දුෂ්කරතාවලින් පිරුණු පවුලක මවකගේ චරිතයක් තමයි නියෝජනය කරන්නේ.


මේ දිනවල ඔබ විවිධ චරිත හරහා නිර්මාණ කිහිපයකින්ම දකින්නට ලැබෙනවා නේද? ඉතින් ඔබට ලැබෙන රසික ප්‍රතිචාර ගැනත් කතා කරමු?


ඇත්තටම ‘නේබරයා’ ටෙලි නාට්‍යයට නම් ඉහළම ප්‍රතිචාර ලැබුණා. ඒක හරිම ලස්සන ටෙලි නාට්‍යයක්. ඒ වගේම දෙවෙනි ඉනිමටත් දැන් අවුරුදු අටක් තිස්සේ සම්බන්ධ වෙලා ඉන්නවා. තවමත් ඒ විධියටම ප්‍රතිචාර ලැබෙනවා.


නවක පරපුරේ රංගන ශිල්පීන් ගැන ඔබේ අදහස් දක්වමු?


මේ කාලය ගොඩක් අපට අවස්ථාව ලැබෙන්නේ නවක පරපුරේ රංගන ශිල්පීන් සමඟින් එකට වැඩකටයුතු කිරීමට තමයි. ඉතින් නවක පරපුර හරි දක්ෂයි. අද නව පරපුර හරි ඇඩ්වාන්ස්. ඒ අය සමඟ අපි එකට වැඩ කිරීමේදී අපිත් සමහර දේවල් අලුතෙන් ඉගෙන ගන්නවා. මං කියන්නේ රංගන කටයුතු ගැනම පමණක් නෙවෙයි, වෙනත් බොහෝ දෑ අපිත් ඒ අයගෙන් ඉගෙන ගන්න යම් යම් අවස්ථා තිබෙනවා. නව පරපුරේ සිතුම්- පැතුම්, අදහස් එහෙමත් ටිකක් වෙනස්නේ. ජෙනරේෂන් ගැප් එකත් එක්ක අපිට ජෙනරේෂන් දෙකක් තුනක් එක්ක එකට වැඩකටයුතු කරන්න අවස්ථාව ලැබෙනවානේ. ඉතින් අපේ ජීවිතයේ සමහර තැන් අප්ඩේට් කරගන්න අවස්ථාව ඒ නිසා අපටත් ලැබෙනවා. මං සමඟ වැඩකටයුතු කළ නව පරපුරේ රංගන ශිල්පි ශිල්පිනීන් හැමෝම ගොඩක් හොඳින් සහයෝගයෙන් වැඩ කටයුතු කළා.


නපුරු චරිත බොහොමයක් හරහා රසිකයන් අතරට පැමිණි රංගන ශිල්පිනියක් විධියට ඒ වගේ චරිත නිරූපණයේදී ඔබට ලැබුණු අභියෝග ගැනත් කතා කරමුද?


ඇත්තටම අවුරුදු ගණනක්ම මේ වෙනකල්ම මං ඒ වගේ චරිත තමයි කළේ. ගොඩක් දෙනෙක් අහිංසක චරිතවලටනේ වැඩිපුර ආදරය කරන්නේ. නමුත් මටත් ඒ හා සමානම ආදරයක් ලැබුණා. සමහර වෙලාවට අපි චරිතයක් සාර්ථකව කළාමනේ බැනුම් අහන්නත් වෙන්නේ. එහෙම බැනුම් අහපු අවස්ථාත් තිබෙනවා. චරිතයට සැබෑ සාධාරණයක් කරපු නිසා වෙන්න ඇති අඛණ්ඩව ඒ වගේම චරිතයන්ට කොටුවීමක් සිදුවෙන්නෙත්. අහිංසක චරිතයක් කරනවාටත් වඩා එහා ගියපු දෙයක් නපුරු චරිතයක් හරහා කරන්න පුළුවන් කියලා විශ්වාසයක් මට තිබෙනවා. ඒ චරිත ගොඩක් මට දැනෙනවා. ඉතින් ඒ ගැන මට සතුටක් තිබෙනවා.


දෙවෙනි ඉනිම ඔබේ කලා දිවියේ සන්ධිස්ථානයක්ද?


ඔව්, මගේ පෞද්ගලික ජීවිතේත් ගොඩක් වෙනස්වීම් සිදුවුණු ටෙලි නාට්‍යයක් තමයි දෙවෙනි ඉනිම කියන්නේ. මං විවාහ වීමට පෙර තමයි නිර්මාණයට සම්බන්ධ වුණේ. ඒ ටෙලි නාට්‍යය අතරතුරේදී තමයි මං විවාහ වෙන්නේ සහ මගේ බබා ලැබෙන්නෙත්. මගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථා ගොඩක් එක්ක තමයි මං එහි රංගන කටයුතු කරන්නේ. කලා දිවියේ පළමු වතාවට තමයි ලොකු දරුවකුගේ මවක් ලෙස චරිතයක් නිරූපණයට අවස්ථාව ලැබුණේ. ඊට කලින් පෙම්වතියගේ චරිත කරලා තිබුණා. එතැනින් එහාට ලැබුණු චරිතත් ඒ වගේම චරිත. ඒ වගේම තිබුණු ජනප්‍රියත්වය ගොඩක් වැඩි වුණා කියන්න පුළුවන්. ඒ නාට්‍ය රඟපෑ ප්‍රවීණ, ආධුනික හැමෝගෙම ජනප්‍රියත්වය වැඩි වුණා කියන්න පුළුවන්.


ඔබ කුඩා දරුවකු සිටින මවක් විධියට සැබෑ ජීවිතයේ ඒ ආදරණීය මවු පදවිය ඔබට දැනෙන්නේ කොහොමද?


ඒක නම් වචනවලින් විස්තර කරන්න අමාරු හැඟීමක්. ජීවිතේ මොන සම්බන්ධකම තිබුණත් ඒ බැඳීමට වඩා ඉහළින් යන සම්බන්ධයක් නැහැ කියන දේ මට හිතෙනවා. අම්මා කියන්නේ අකුරු තුනකට සීමා වුණු දෙයක් නෙවෙයි. විස්තර කළ නොහැකි වගකීම් පිරුණු ආදරණීය පදවියක් තමයි අම්මා කියන්නෙම. පුතා සමඟ ජීවිතය හරි සුන්දරව ගෙවෙනවා. දවසින් දවසේ එයා ලොකු වෙනකොට ඒ දේවල් විඳිමින් ආදරයෙන් හරි සුන්දරව ජීවත් වෙනවා.


රසිකයන් ඔබව චරිතයේ නමින් හ¾දුනා ගන්නා තරමටම මතක හිටින චරිතයන්ට පණ පෙවූ රංගන ශිල්පිනියක්. රසික ආදරය ගැන මොකද හිතෙන්නේ?


රසික ආදරය අපිව ජීවත් කරවනවා. අපි කොහේ ගියත් කවුරුම හරි කෙනෙක් අපි ළඟට ඇවිත් හ¾දුනාගෙන කතා කරනවා. අපි තනිවෙලා නැහැ කියන හැඟීම ඒ වෙලාවට දැනෙනවා. රසික ආදරය අපට හරි වටිනවා. ඒ රසික පිළිගැනීමම තමයි අපේ සාර්ථකත්වයට හේතු වන්නේ. අපේ රසිකයන්ට හැම වෙලාවකම අපි ස්තුති කරන්න ඕනෑ. ප්‍රේක්ෂක ප්‍රතිචාර තුළ හොඳ ප්‍රතිචාර වගේම නරක ප්‍රතිචාරත් ලැබෙන්න පුළුවන්. අපිට හරි විධියට ප්‍රේක්‍ෂක ආදරය ලැබෙන්න තරම් අපි හරි වාසනාවන්තයි කියල හිතෙනවා.


මෙතෙක් ආ කලා දිවිය දෙස නැවත හැරී බැලුවොත් ඔබට මොකද හිතෙන්නේ?


ගොඩක් සතුටු හිතෙනවා. මං රංගන ක්‍ෂේත්‍රයට සම්බන්ධ වෙලා අවුරුදු 24ක් වෙනවා. එදා සිට අද වනතුරුම මං රඟපානවා. ඒ තුළින් මං මගේ ජීවිතේ බොහොමයක් දේවල් ලබා ගත්තා. ආපස්සට හැරිල බැලුවම මගේ ජීවිතය තුළ මං කලාව තෝරා ගැනීම ගැන හරිම සතුටු වෙනවා. ඒක ඒකාකාරී රැකියාවක් නෙවෙයි. දවසින් දවස අපට අලුත් අය සමඟ වැඩ කිරීමට ලැබෙන රැකියාවක්. ඒ හැමදේම මේ කලාව නිසා. මට හොඳ චරිත ලැබුණා. ඒ වගේම හොඳ අධ්‍යක්‍ෂවරු, ප්‍රවීණ නළු නිළියන් සමඟ වැඩකටයුතු කරන්න අවස්ථාව ලැබිලා තිබෙනවා. ඒ හැමදේකින්ම මගේ ජීවිතයට ලැබුණු අත්දැකීම් බොහොමයක් තිබෙනවා.


ඉදිරි වැඩකටයුතු ගැනත් මතක් කරමු?


සාමාන්‍ය පරිදි රූගත කිරීම්වලට සම්බන්ධ වෙමින් ඉන්නවා. ඉදිරියේදී චිත්‍රපටයකට දායක වීමට අවස්ථාව ලැබී තිබෙනවා. පෞද්ගලික ජීවිතය ගැන කතා කළොත් බබාට දැන් අවුරුදු 3කුත් මාස 3කුත් වෙනවා. බබාගේ අධ්‍යාපන කටයුතුත් හොඳින් කරගෙන, පවුල් ජීවිතයත් සමබර කරගෙන ඉන්න තමයි ඉතින් ඉදිරියට ප්ලෑන් කරගෙන තිබෙන්නේ.


රුවිනි අමරකෝන්




Previous Post Next Post