මම පක්ෂයකට ඇලිලා හිටියා නම් කට්ටිය මටත් හුරේ දායි-චරිත් අබේසිංහ




ඔහු ලාංකික කලා ක්ෂේත්‍රය තුළ විසල් දස්කම් පෑ විශිෂ්ට ගණයේ රංගන ශිල්පියෙක්. ජූලියා, විසංගමනය, ගිනිමල් පොකුරු වැනි සිනමාපටවල අපිට ඔහුගේ රංගන ප්‍රතිභාව දැකගන්න හැකි වුණා. මේ වන විට ඔහු අධ්‍යක්ෂවරයෙක් ලෙසද කටයුතු කරනවා. මී මැස්සා, බඹරෙක් ඇවිත් වැනි ටෙලි නාට්‍ය නිසා මේ දිනවල ඔහු පිළිබඳව දැඩි කතාබහක් ඇති වෙලා. අද හදගැස්ම හා එක් වන්නේ ප්‍රවීණ රංගන ශිල්පී සහ අධ්‍යක්ෂ චරිත් අබේසිංහ.


මේ දවස් ගෙවී යන්නේ කෙසේද?


මේ දවස් රටට එතරම් යහපත් දේවල් සිදුවන කාලයක් නෙවෙයි. හැමෝම ඡන්දයට සූදානම් වෙමින් සිටිනවා. හැමදාම වගේ කට්ටියක් එකතු වෙලා ඔන්න හොරු අන්න හොරු මෙන්න හොරු කියනවා. අපි නැඟිටින කොට බඩු මිල පොඩ්ඩක් එහා මෙහා වෙනවා. අවසානේදී කවුරු හරි දිනනවා. ඔය චක්‍රය තමයි ඉතින් මේ දවස්වල වෙන්නේ. ඉස්සරහට එන්නේ මාර යුගයක්.


මී මැස්සා කියන දේශපාලනික ටෙලිනාට්‍යය ගැන කතා කරනවා නම්?


ලංකාවේ පොලිටිකල් කැම්පේන් තුළ කරන්නේ ජනතාව රැවටීම. අපි ඒ දෙය මේ කතාව තුළින් ප්‍රේක්ෂකයාට පෙන්වා දෙනවා. මේ නිර්මාණය ඉතාම කාලානුරූපීයි. මම දිල්ශාන් පතිරත්න ලියා දෙන තිර රචනාවට උපරිම සාධාරණයක් ඉටු කරනවා කියා මම සිතනවා. කතාවක් විධියට ගත් විට මෙය වෙනස් හැඩයක කතාවක්. දේශපාලනය පිළිබඳව උනන්දුවක් ඇති බොහෝ දෙනෙක්ට මේ නිර්මාණය පිළිබඳව තිබෙන්නේ ලොකු කුතුහලයක්.


අගමැතිවරයාගේ චරිතය ඔබට මොන වගේ අභියෝගයක්ද?


මේ චරිතය මම දකින්නේ මට ලැබුණු අභියෝගයකටත් වඩා රංගන ශිල්පියෙක්ට ලැබුණු හොඳ අවස්ථාවක් විධියට. මෙය රංගන ශිල්පියෙක්ට තමන්ගේ රංගන ප්‍රතිභාව පෙන්වා දෙන්න පුළුවන් ප්‍රබල චරිතයක්. මගේ රංගන හැකියාව සහ පරිකල්පන හැකියාව මත යම් කාරණා එකතු කරගන්න හැකි වුණා. මම මේ චරිතය ඉදිරිපත් කරන ආකාරය අනුව මෙතෙක් රටෙහි සිටින කිසිදු දේශපාලන චරිතයක් අනුකරණය කර නැහැ. කිසිවෙක්ව අනුකරණය නොකර රාජ්‍ය නායකයෙක් ලෙස චරිතය නිරූපණය කරන විට කිසිවෙක්ට පහර වදින්නේ නැහැ. කිසිවෙක්ට පහර නොගහ දේශපාලනය සම්බන්ධ කතාවක් කරන එක තමයි අපිට තිබුණු අභියෝගය. ඒ අභියෝගය මම මොනතරම් සාර්ථකව කරනවද කියන එක කියන්න ඕන ප්‍රේක්ෂකයා.


මේ දිනවල විකාශය වන ඔබ රංගනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් දායක වන ‘බඹරෙක් ඇවිත්’ ටෙලි නාට්‍ය සහ නිර්මාණශීලී අධ්‍යක්ෂණය ගැන කතා කරනවා නම්?


නිර්මාණශීලී අධ්‍යක්ෂණය කියන වදන යෝජනා කළේ මගේ මිත්‍රයෙක්. මම නිර්මාණයක් කරන විට එය තුළ විශාල කැප කිරීමක් කරනවා. මගේ කණ්ඩායම දන්නවා මම නිර්මාණයක් කරන විට මොන තරම් මහන්සි වෙනවද කියලා. ඒ මහන්සිය නිසා තමයි මේ සඳහා නිර්මාණශීලී අධ්‍යක්ෂණය කියන වදන මගේ මිත්‍රයා යෝජනා කළේ.


බඹරෙක් ඇවිත් තුළ තිබෙන්නෙ 71 කැරැලිකාරී යුගයේ කතාවක්. මේ චරිතය ඔබ මී මැස්සා තුළ රඟ දක්වන චරිතයට හාත්පසින්ම වෙනස් චරිතයක්. මේ ගැන කියනවා නම්?


බඹරෙක් ඇවිත් නාට්‍ය නිර්මාණය කරන්නේ අතුරුදන් වූවන් වෙනුවෙන්. ලංකාව කියන්නේ අතුරුදන් වූවන් සම්බන්ධයෙන් ලෝකයේ දෙවැනි තැන ගන්න රට. පළමු තැන ගන්න රට වෙන්නේ ඉරාකය. අපි සත්‍යා ටෙලි නාට්‍ය හරහා කතා කළෙත් මේ ගැනමයි. බඹරෙක් ඇවිත් තුළ තිබෙන්නේ 71 කැරැල්ල කාලයේ අතුරුදන් වූ තරුණයෙක් ගැන කතාවක්. ලෝක අතුරුදන් වූවන්ගේ දිනය අගෝස්තු 30 වැනිදා පැවැත් වුණා. මම එදින අතුරුදන් වූවන් වෙනුවෙන් කතා කළා.


පසුගිය දිනෙක ඔබ සහ සුප්‍රියා අබේසේකර ගායනයෙහි යෙදෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා සංසරණය වුණා මේ ගායකයාගේ ඉතිහාසය ගැනත් මතක් කරමු?


ඒක හරිම පරණ වීඩියෝ එකක්. ඒ මම සීදුව සකුරා සංගීත කණ්ඩායමේ සිටි කාලේ. මම වසර දෙකක් එම සංගීත කණ්ඩායමේ ගායකයෙක් ලෙස කටයුතු කළා. සුප්‍රියා රට ඉඳන් ඇවිත් කරපු පළමු වැනි හෝ දෙවැනි ෂෝ එක තමයි ඔය. එයා ඉස්සර සින්දු කියන්න හරි බයයි. අපි ඒ දවස්වල අක්කෙ ටිකක් ඉන්නකෝ ගීතයත් ගායනා කරනවා. ඒ දවස්වල අපි ගොඩක් දේවල් කළා. අපි ගැන සමාජය කතාබහ කරන නිසා ඉස්සර දේවල් දැන් එළියට එනවා.


කලාකරුවා දේශපාලනික විය යුතුද?


ලංකාවේ අනාගතය නිර්මාණය කරන්න සිටින බොහෝ දෙනෙක් අත්වල ලේ ගෑවුණු මිනිස්සු. ඔවුන් නිර්මාණය කරන අනාගතයකටද අපි පුනරුද යුගයක් කියන්නේ. ඔවුන් නිර්මාණය කරන අනාගතයකටද අපි සුබ අනාගතයක් කියන්නේ. ඔවුන් නිර්මාණය කරන අනාගතයකද අපි ශ්‍රී ලංකාවට පුළුවන් කියන්නේ. එක්ව ජය ගමු කියන්නේ. දේශපාලන පක්ෂයක්, දායක සභාවක් නොමැතිව නිර්මාණකරුවෙක්ට නිර්මාණයක් රැගෙන යන්න බැහැ. මම පක්ෂයකට ඇලිලා හිටියා නම් ඔවුන් මට හුරේ දානවා. පට්ට වැඩ කියනවා. හැබැයි නිර්පාක්ෂික අපි නිර්මාණ කරද්දී කවුරුත් භාරගන්නේ නැහැ. අපි කතා කරන්නේ මහ පොළොවෙ යථාර්ථය. ඒ මහ පොළොවෙ යථාර්ථය පක්ෂවල සිටින සියලු දෙනාටම වේදනාවක් ගෙන දෙනවා. ඔවුන්ට මාව දරා ගන්න බැහැ. ඉස්සරහට මට බොහෝ පිරිසක් මඩ ගන්නත් ලැහැස්ති වෙයි.


ඔබට ඉදිරියේදී දේශපාලනයට එන්න අදහසක් තිබෙනවාද? මේ දිනවල ඒ පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරනවා?


දේශපාලනයට සම්බන්ධ වීම හෝ දේශපාලනය කිරීම මට ඇති අයිතියක්. ඕනෑම පුද්ගලයෙක්ට ඔහුගේ ප්‍රජා අයිතිය අහිමි වී නැත්නම් ඔහුට දේශපාලයන කරන්න පුළුවන්. මම ප්‍රජා අයිතිය අහෝසි කරන්න තරම් වරදක් කරලා නැහැ. මට ඕන වෙලාවක දේශපාලනය කරන්න පුළුවන්. මම කවුරුන් හෝ කැමැති පක්ෂයකින් දේශපාලනය කළොත් මාර වීරයෙක් බවටත් අකැමැති පක්ෂයෙන් දේශපාලනය කළොත් අවුල් සහගත කෙනෙක් බවටත් පත් වෙයි.


ඉදිරි වැඩකටයුතු ගැන කතා කරමු?


මේ දිනවල මම ගිරිරාජ් කෞශල්‍යගේ තිරපිටපතක් අධ්‍යක්ෂණය කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. එහි රූගත කිරීම් ලබන මාසයේ සිදු කිරීමට නියමිතයි.


උද්දික ප්‍රේමරත්න, දිනක්ෂි ප්‍රියසාද්, මහේන්ද්‍ර පෙරේරා, සරත් කොතලාවල වැනි විශිෂ්ට රංගන ශිල්පී ශිල්පිනියන් එයට දායකත්වය සපයනවා. එය හාසේ‍යාත්පාදක  චිත්‍රපටයක්.


ගිහාන් සචින්ත



Previous Post Next Post