මෑත කාලයේ මම කරපු ගීත ගත්තොත් සපත්නීරෝෂය කියන්නේ අනර්ඝ ප්‍රතිචාර ලැබුණු ගීතයක් - අභිෂේකා විමලවීර

 


මේ දවස්වල බොහෝ දෙනෙක් කතා කරන්නේ සපත්නීරෝෂය ගැන. ඒ වචනය ආදරණීය රසිකයන්ට සමීප කළේ දක්ෂ ගායන ශිල්පිනියක් වන අභිෂේකා විමලවීර. සපත්නීරෝෂය ගැන දැනගන්න සූදානමින් ඉන්න ආදරණීය රසිකයන් වෙනුවෙන් හදගැස්ම අපි මෙවර ආමන්ත්‍රණය කළේද ඇයටයි. ඇය අභිෂේකා විමලවීර.


සපත්නීරෝෂය ගීතය ලියන්න අභීට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?


“පසුගිය දවස්වල මගේ ප්‍රසංග කිහිපයක් තිබුණා  ඕස්ට්‍රේලියාවේ. ප්‍රසංග පහක් පමණ. ඒ ප්‍රසංග පහේම මියුසික් කළේ ඉන්ද්‍රජිත් මිරිහාන අයියා. ඉන්ද්‍රජිත් මිරිහාන අයියාට ඒ වෙනකොට ටේක් කෙයාර් ටෙලි නාට්‍යයට මේ සින්දුව කරන්න භාරදීලා තිබුණා. එයා මගෙන් ඇහුවා ටේක් කෙයාර් ටෙලි නාට්‍යයට සින්දුවක් කරන්න පුළුවන්ද කියලා. ඉතින් නන්දා මාලිනි මහත්මියවත් සම්බන්ධ කරගෙන මේ වගේ ලස්සන වැඩක් කළාට ඉන්ද්‍රජිත් අයියාට ස්තුති කරන්න මං මේක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම සාරංග දිසාසේකර, දිනක්ෂි ප්‍රියසාද්ට ස්තුතියි කියන්න  ඕනෑ.”


සපත්නීරෝෂය කියන වචනය මේ ගීතයේ තේමාව බවට පත්වුණේ කොහොමද?


“සපත්නීරෝෂය කියන සංකල්පය මුලින්ම අපිට හමුවන තැනක් තමයි ජාතක කතා පොත. එහි එන සම්බුලා සහ ඡද්දන්ත යන ජාතක කතාවල සපත්නීරෝෂය ගැන සඳහන් වෙනවා. ඇත්තටම එක් සැමියකුට භාර්යාවන් කිහිපදෙනකු සිටින විට ඒ හැම බිරියක්ම එම තත්ත්වයට පත්වෙනවා. ඒ හැම භාර්යාවෝ අතර එකිනෙකා කෙරෙහි හටගන්නා වූ කෝපය, ද්වේෂය, තරහව තමයි සපත්නීරෝෂය කියලා හැඳින්වූයේ.


නමුත් ටේක් කෙයාර් ටෙලි නාට්‍යය තුළ අසේනි සහ මේනකා කියන්නේ වාසලගේ සම භාර්යාවෝ නෙවෙයි. අසේනි නීතිමය බිරිය, මේනකා අනියම් බිරිය. ඒ නිසා ඔවුන් සම තත්ත්වයේ නැහැ. ඒ නිසා තමයි අසේනි මේනකාට කියන්නේ ඒ ඇයට මේනකා කෙරෙහි සපත්නීරෝෂයක් නැහැ කියලා.


එක්තරා විදිහකට එය අභියෝගයක්. මොකද අසේනි මේනකාට නොකියා කියන්නේ මම නීත්‍යානුකූල භාර්යාව වුණාට ඔයා එවැනි තත්ත්වයක නැහැ. ඒ නිසා ඔයා සමාන භාර්යාවක් නෙවෙයි කියලයි. ඉතින් එතැනින් තමයි මේ ගීතය පටන් ගන්නේ.”


සපත්නීරෝෂය හරහා අභිෂේකා ඉතාම අනර්ඝ පද ගැළපීමක් කරලා තියෙනවා. ඉතින් අපිට කියන්නකෝ ලැබෙන ප්‍රතිචාර ගැනත්?


“ලැබෙන ප්‍රතිචාර ගොඩක් හොඳයි. මං හිතන්නේ මෑත කාලයේ මම කරපු ගීත ගත්තොත් සපත්නීරෝෂය කියන්නේ අනර්ඝ ප්‍රතිචාර ලැබුණු ගීතයක් කියන එක නම් මම කියන්නම  ඕනේ.”


විශාරද නන්දා මාලනිය සමඟ යුග ගායනයකට සම්බන්ධ වීමට ලැබීම ගැන මොකද සිතෙන්නේ?


“අපි කොයි කවුරුත් ගොඩක් ආදරේ කරන ගෞරව කරන විශාරද නන්දා මාලනි මහත්මිය එක්ක යුග ගායනයක් කරන්න ලැබීම මං මහත් භාග්‍යයක් කොට සලකනවා. මෙය මගේ ගායන ජීවිතේ  ලොකු සන්ධිස්ථානයක් කියලා කිවුවොත් වැරැදි නැහැ.”


අභිෂේකා හරි ලස්සනට ගීත ලියනවා කියලා ඔබට ආදරේ කරන ප්‍රේක්ෂකයෝ කියනවා. ඒ ගැන මොකද හිතෙන්නේ?


“ඇත්තටම මම ලිවුවට මම කැමැතියි මාව ගායිකාවක් විදිහට ප්‍රේක්ෂකයන් හඳුන්වලා දෙනවට. වැඩියෙන්ම මම කැමැති ඒකට.”


අභිගේ තාත්තාගෙන් ලැබුණු සහයෝගය ගැන මතක් කරමුද?


“ඇත්තටම තාත්තා තමයි මාව මුලින්ම ගායනයට යොමු කරන්නේ. සංගීත් නිපුන් සනත් නන්දසිරි ගුරුතුමා ළඟට මාව එක්කගෙන ගිය හැටි අදටත් මට මතකයි. ඒ වගේම තාත්තාම තමයි මාව කැලණිය විශ්වවිද්‍යාලයේ සංගීතය පිළිබඳ ශාස්ත්‍රපති  විභාගයට යොමු කරන්නෙත්. ඒ වගේම තාත්තාගේ හීනයක් වෙලා තිබුණු පී.එච්.ඩී. එක මං මේ දිනවල සෞන්දර්යය විශ්වවිද්‍යාලයේදී කරගෙන යනවා.”


ඉදිරි කටයුතු ගැනත් කියමුද?


“ඉදිරියේදී සින්දු කිහිපයක්  එන්න තිබෙනවා. ඒවාට මියුසික් වීඩියෝ ටිකකුත් කරගෙන යනවා. ඒ වගේම අගෝස්තු 31 දින තියෙන අභී ලයිව් ඉන් කොන්සර්ට් එක ගැනත් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මතක් කරන්න මං මේක අවස්ථාවක් කරගන්නවා. ඒ වගේම චිත්‍රපට ගීත කිහිපයකුත් එන්න තිබෙනවා.”


ක්‍ෂේත්‍රය තුළ රැඳී ඉන්න යම් හැදෑරීමක් අත්‍යවශ්‍යද?


“අතීතයේත් වර්තමානයේත් සංගීතය හදාරන්නේ නැතිව ක්ෂේත්‍රය තුළ  සාර්ථක වුණු පිරිස්  ඕනෑ තරම් සිටියා සහ ඉන්නවා. මේක ඇත්තටම සාපේක්ෂ කාරණාවක්. මගේ පැත්තෙන් ගත්තොත් මං සංගීතය හදාරලා තිබෙනවා.”


සංගීත ක්ෂේත්‍රයට එන්න කැමැත්තෙන් ඉන්න අයට පණිවුඩයක් දෙන්න කිව්වොත්?


“වර්තමාන සංගීත ක්ෂේත්‍රය තුළ ඉන්න කෙනෙක් විධියට මං කියන්නේ තමන්ගේ හිතට දැනෙන දේවල්. තමන්ට හරියි කියන දේවල් නිර්මාණවලින් එළියට දැම්මොත් තමන්ට තමන්ගේම කියලා නමක් හදාගන්න පුළුවන්. එතැනදී සමාජයේ අනෙක් අය කියන කරන දේවල්වලට එතරම් අවධානය යොමු කරන්න අවශ්‍ය නෑ.”


අභීව නැවතත් රියැලිටි තරග විනිශ්චයකාරියක් විධියට දකින්න ලැබෙයිද?


ඇත්තටම නැතිවෙයි. මොකද රියැලිටි වැඩසටහන්වලට අපි සම්බන්ධ වෙනවා නම් ඒ වෙනුවෙන්ම කැපවෙලා වැඩ කරන්න  ඕනෑ. මගේ සංගීත ක්ෂේත්‍රයේ වැඩත් එක්ක මං ගොඩක් කාර්යබහුලයි. ඉතින් රියැලිටි වැඩසටහන් වෙනුවෙන්  වෙන් කරන්න තරම් කාලයක් මට දැන් නැහැ.”


අභිෂේකාට ඉන්නවා ලස්සන හුරතල් චූටි දුවක්. ඉතින් ඇයත් කවදා හරි ලංකාවේ ජනප්‍රිය ගායන ශිල්පිනියක් වේවි?


“දුවට පියානෝ ප්ලේ කරන්න පුළුවන්. සින්දු කියන්නත් පුළුවන් වුණාට දුව සින්දු කියන්නේ නැහැ. ඒ වගේම ලස්සනට චිත්‍ර අඳින්නත් පුළුවන්. දැනට දුව අධ්‍යාපනයයි, කලාවයි බැලන්ස් එකේ කරගෙන යනවා. ඉස්සරහට අපි බලමු නේද එයා මොන විදිහේ ක්ෂේත්‍රයක් තෝරාගන්නේද කියලා. ඉතින් එයා හරිම දේ තෝරාගනීවි. දුව අපි දෙන්නටම ආඩම්බර වෙන්න පුළුවන් කෙනෙක් වේවි දවසක.



Previous Post Next Post