මවක් වෙන්න මමත් සිහින මවනවා – දුෂේනි මියුරංගි



පසුගිය කාලයේ ‘සිංහබාහු’ සිනමා නිර්මාණයෙන් ඔබ හමුවට ආ දුෂේනි මියුරංගි මේ දිනවල රිදී තිරයෙන් ඔබ හමුවට එන්නේ ‘සිහින නෙළුම් මල්’ හි නයෝමි ලෙසිනි. ඉතිං නයෝමි ගැන හැමෝම වගේ කතාබහ වෙනවා. රිදී තිරයේ නයෝමි ගැන වගේම පුංචි තිරයේ පිංකි ගැන ද ඇය ‘මීවිතට’ පැවැසුවේ මෙවැන්නකි.

රිදී තිරයෙන් හමුවෙන නයෝමි ගැන ඔබේ ආදරණීයයන් කියන්නේ මොනවගේ කතාද?


පසුගියදා පැවැති මංගල දර්ශනයේදී ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් කිහිප දෙනකුගෙන්ම හොඳ ප්‍රතිචාර ලැබුණා. මම දන්නේ නැහැ නයෝමිව ප්‍රේක්‍ෂකයෝ කොහොම වැලඳ ගනීවිද කියලත්. මාව ප්‍රේක්‍ෂකයෝ නොදුටුව විදිහට, සිහින නෙළුම් මල් චිත්‍රපටය හරහා රසිකයන් අතරට එහි අධ්‍යක්‍ෂ ශමීර නාඔටුන්න අරගෙන ගිහින් තියෙනවා. මම කරපු චරිතවලට වඩා නයෝමි හරි වෙනස් චරිතයක්.


දුෂේනිට නයෝමි ගැන මොකද හිතෙන්නේ?


මගේ රංගන ජීවිතයේදී මම ගොඩක් චරිත රඟපාලා නැහැ. හැබැයි මම කරපු සීමිත චරිත ඇතුළේ නයෝමි කියන්නේ ගොඩක් ආදරය කරන චරිතයක්. ඇත්තටම මම ආදරයෙන් වැලඳ ගත්තු චරිතයක්.


ඇයි ඒ?


හැම කාන්තාවකගේම සිහිනය වෙන්නේ කවදා හරි දවසක මව් පදවිය ලබන්න. ඉතිං මගේ සිහිනයත් ඒකම තමයි. මට නයෝමිව ගොඩක් දැනුණා සහ මම නයෝමිට ගොඩක් දැනෙන්න ඉඩ හැරියා. ඒ නිසාම නයෝමිට හරිම ආදරෙයි.


රිදී තිරයේ පළමු වතාවට හේමාල්ගේ පෙම්වතිය වෙනවා නේද?


ඇත්තටම හරිම සහයෝගයෙන් වැඩ කරන්න පුළුවන් නළුවෙක්. ලංකාවේ චිත්‍රපටවල ඉන්න දැවැන්ත චරිතයක්. අපේ අඩුපාඩු හදාගෙන සාමුහිකව වැඩ කිරීමේ හොඳ ගුණාංගයක් ඔහුට තියෙනවා. ඒ වගේම උමාලි තිලකරත්න, මයුර කාංචන, කලණ ගුණසේකර, ශ්‍රියානි අමරසේන වීණා ජයකොඩි ඇතුළු පිරිස එක්ක ලස්සන වැඩක් කළා කියලා හිතනවා.


ඔබේ රංගනය ගැන මේ වෙලාවේ හැමෝම කතාබහ වෙනවා?


හරි සන්තෝෂයි, ඕනෑම රංගන ශිල්පිනියක් හෝ ශිල්පියකුගේ අවශ්‍යතාව වෙන්නේ තමන්ගේ රංගනය අනෙක් අයට දනවන්න. තමන් දනවන හැඟීම ප්‍රේක්‍ෂකයාට දනවන එක තමයි අපේ පරම ආසාව. ඉතිං මම පිළිබිඹු කරපු හැඟීම අනෙක් අයට දැනෙනවා කියලා ගොඩක් අය මට කිව්වා. ඒ ගැන හරි සන්තෝෂයි. දැන් අපිට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි අපේ පරාසය පෙන්වීමට ගැළපෙන චරිත නොලැබීම. සමහරක් හේතු නිසා අපේ කැපෑසිටි එක පෙන්වන්න චරිත ලැබෙන්නේ නැහැ. මම පෞද්ගලිකව ශමීර අයියට ස්තුතිවන්ත වෙනවා, ටිකක් බැරෑරුම් චරිතයක් අපි වගේ කෙනකුට ලබා දුන්නට.


නයෝමිගේ පිටපත අතට ලැබුණහම මොකද හිතුණේ?


ඇත්තටම සතුටුයි. ශමීර අයියා කියන්නේ මෝටර් බසිසිකලේ චිත්‍රපටය අධ්‍යක්‍ෂණය කළ සම්මානනීය අධ්‍යක්‍ෂවරයෙක්. ඔහු රඟපාන නළු නිළියන් ගැන එහෙම කිව්වහම මම හරි ආසාවෙන් තමයි මේ වැඩේ භාර ගත්තේ. පළමු චිත්‍රපටයට වඩා ගොඩක් බැරෑරුම් චරිතයක් විදිහට හිතලයි භාරගත්තේ. ශමීර අයියාත් භාර ගත්තේ අභියෝගයක්. ඔහුට වුණත් කට්ටිය කියන්න ඇති “මෙයා තවම මේකට ළපටි වැඩියි” කියලා. නමුත් තිරපිටපත අතට ලැබුණුවෙලේ ඉඳලා මම නයෝමිට ආදරය කරන්න පටන් ගත්තා.


ළඟ ළඟ චිත්‍රපට දෙකක් තිරගත වුණා.


මොකද හිතන්නේ මේ අවුරුද්ද ගැන?


දැනට මේ අවුරුද්ද හොඳින් ගත වෙනවා. මගේ කුලුඳුල් සිනමා නිර්මාණයත් මේ අවුරුද්දේ තමයි තිරගත වුණේ. ඒක දින සියයත් පසුකළා. මම විශ්වාස කරනවා සිහින නෙළුම් මලුත් වාසනාවන්ත දින සියය පසු කරාවි කියලා. මම හිතනවා වාසනාවන්ත කාලයක් ගත වෙනවා කියලා. ඒ වාසනාව ලැබෙන කාලය තුළ ඒක නිහතමානීව භාරගන්න එක තමයි මම හැමතිස්සේම හිතන දෙය.


කොහොමද රඟපෑම් වැඩකටයුතු එහෙම?


හොඳයි, සැප්තැම්බර් 02 වැනිදා ඉඳලා මගේ අලුත්ම ටෙලි නාට්‍යය සිරස නාළිකාව හරහා විකාශය වෙනවා. මහේෂ් මද්දුමආරච්චිගේ තිර රචනයක් සහ සඳුන් රාජකරුණාගේ අධ්‍යක්‍ෂණයක්. ඔය අතරේ ශිවගුරුනාදන් මහත්මයාගේ සල්ලි පොකුරු ටෙලි නාට්‍යයත් විකාශය වෙනවා. ඔය අතරේ චිත්‍රපටයකටත් ආරාධනා ලැබිලා තියෙනවා. තවම කතාබහ කරගෙන යන ගමන්.


සල්ලි පොකුරු පිංකි ගැන දැන් කට්ටිය මොනවද කියන්නේ?


කාලයක් බැන්නා. දැන් නම් කට්ටිය හොඳ කියනවා. පින්කිට දැන් ආදරය කරන ප්‍රේක්‍ෂකයෝ ඉන්නවා. දැන් ඉතිං පිංකිව කට්ටියට ඕකේ වෙලා.


තිරයට හරි කියුට්, සුන්දර, ආදරණීය චරිතයක් කියලත් කට්ටිය කියනවා.


ඒ ලැබෙන ආමන්ත්‍රණ ගැන හරි සතුටුයි. මට වඩා ගොඩක් බාල, මහලු ගැහැනු ළමයි මේ ක්‍ෂේත්‍රයට එනවා. ඒ අතරේ මටත් හරි හුරුබුහුටියි කියන වචනය අහන්න ලැබෙන එක හොඳයි. මොකද මම මේ ක්‍ෂේත්‍රයට ඇවිත් ටික කාලයක්. මම හරි ආසයි ආදරණීය ජවනිකාවලට. මට හිතෙනවා මට ඒක තිරයේ හොඳට කරන්නත් පුළුවන් කියලා. මට පහසුවෙන් ඒකට අවතීරණ වෙන්න පුළුවන්.


පුද්ගලික ජීවිතයේ වැඩකටයුතු ගෙවීගෙන යන්නේ කොහොමද?


හැමදේම සමබරව පවත්වාගෙන යන්න තමයි මගේ උත්සාහය. සමහර වේලාවට රූගත කිරීම්වලට කාලය වැඩිපුර වැයවෙන කොට මට ගෙදර ඉන්න කාලයක් නැති වෙනවා. මේ වෘත්තිය මම ආදරේ කරන වෘත්තියක්. වෘත්තියට එක දීලා අනෙක් වැඩ ටික කරගෙන ඉන්නවා.


දුෂේනි බිරිඳක්, මවක් වෙන්න සිහින මවන්නේ කොයි වගේ කාලෙකද?


ඒ ගැන හරියටම කියන්න බැහැ. හැබැයි ඒකට මමත් සිහින මවන කෙනෙක්. ඕනෑම කාන්තාවකගේ අන්තිම සිහිනය ඒක. සිහින ගොඩක් දැකලා දැකලා අන්තිමට ඒ සිහිනය දකිනවා. දැන්ම කාලවකවානු කියන්න බැහැ.


මේ ලැබෙන ජනප්‍රියත්වය ගැන මොකද හිතෙන්නේ?


දැන් අවුරුදු දෙක තුනක කාලයක ඉඳලා මිනිස්සුන්ගේ ආදරය එක විදිහට දිගින් දිගටම ලැබෙනවා. මම හිතනවා මිනිස්සුන්ගේ ආදරය ලැබෙන එක වාසනාවක් කියලත්. ඒක හැමෝටම ලැබෙන්නේ නැහැ. සමහර ගොඩක් දක්‍ෂ රංගන ශිල්පි – ශිල්පිනියන් ඉන්නවා මේ ආදරය ලැබෙන්නේ නැති. මට ඒක ලැබෙන්නේ වාසනාවකට. මගේ ප්‍රේක්‍ෂකයන් හැමෝමට ආදරෙයි වගේම මට ඉන්නේ අවංක ප්‍රේක්‍ෂක පිරිසක්.


රංගනයේදී ඔබට ලැබෙන චරිත ගැන තෘප්තිමත්ද?


සමහර චරිත මට නොකර ඉන්නත් සිද්ධ වුණා. මම තිරපිටපත පිළිබඳව වැඩිපුර හිතන කෙනෙක්. ඒක නිසා මම හරියට හිතලා බලලා චරිත තෝරා බේරා ගන්නවා. නයෝමි වගේ ගොඩක් බැරෑරුම් චරිතයක් රඟපාන්න මම ගොඩක් කාලයක ඉඳලා හිත හිත හිටපු කෙනෙක්. චිත්‍රපටයක එහෙම කරන්න ලැබුණා. දීර්ඝ ටෙලි නාට්‍යයක නෙමෙයි, කොටස් අඩු ප්‍රමාණයක ඒ වගේ චරිතයක් කරන්න ලැබේවි කියලා මම විශ්වාසයෙන් ඉන්නේ. මේ වෙනකොට ගොඩක් ටෙලි නාට්‍ය ප්‍රතික්‍ෂේප කරලා එතැනට ඉඩ හසර තියාගෙන ඉන්නවා.


ඔබ හරියට හිතලා ගන්න තීරණ එකක්වත් වැරදිලා නැතිද?


වැරදුණු අවස්ථා තියෙනවා. මොකක් හරි චරිතයක් හින්දා මම ඒක වරද්දා ගත්තේ. මම හිතනවා මම එතැනින් යම්කිසි පාඩමක් ඉගෙන ගන්නවා කියලාත්. ජීවිතයේ වැරදුණු කිසිම තැනක් මට පාඩමක් උගන්නපු නැති තැනක් විදිහට හිතන්නේ නැහැ. ඕනෑම වැරදීමක් ඇතුළේ මගේ ජීවිතයට ගන්න පාඩමක් තිබෙනවා කියලා විශ්වාස කරනවා.


නයෝමි ගැන සචින් මොනවද කිව්වේ?


එයත් කිව්වේ හොඳ අධ්‍යක්‍ෂණයක්, හොඳ කැමරාකරණයක්, හොඳ චිත්‍රපටයක් කියන එක. එයත් මාව මේ විදිහට බලාපොරොත්තු වුණේ නැහැ කියන එක මට කිව්වා. කවුරුත් බලාපොරොත්තු වුණේ නැති චරිතයක් ඒක. එයත් සන්තෝෂයි මගේ රංගනය ගැන. මාව ගොඩක් වෙලාවට හසුරුවන්න අවශ්‍ය කෙනෙක්. ඒක හින්දා අධ්‍යක්‍ෂවරුන්ගේ දක්‍ෂකම එතැන තියෙනවා කියලා මම විශ්වාස කරනවා.


හොඳම නිළිය වීමේ සිහිනයකුත් තියෙනවාද?


ඇත්තටම තියෙනවා. දැන් මම ජනප්‍රිය නිළිය කියන එක නොකඩවා හතර වතාවක් අරගෙන තියෙනවා. ඇත්තටම දැන් මට තියෙන්නේ දක්‍ෂතම නිළිය කියන සිහිනය. සිංහබාහු චිත්‍රපටය වෙනුවෙන් බෙලීසා අන්තර්ජාතික සිනමා සම්මාන උළෙලේදී හොඳම නිළියට නිර්දේශවෙලා තියෙනවා. රංගනයට එහෙම වටිනාකමක් ලැබීම ගැන හරි ආසයි. මේ කාලවකවානුවේ මගේ හීනය දක්‍ෂතම රංගන ශිල්පිනිය වීමයි.


සචින්ගේ දක්‍ෂතා ගැන මොකද හිතෙන්නේ?


ඇත්තටම ඔහුත් හොඳ රංගන ශිල්පියෙක්. මම විශ්වාස කරනවා ඔහු සිනමාවට ගොඩක් ගැළපෙනවා කියලත්. ඔහුට හොඳ තිරපිටපත්, හොඳ චරිත ලැබෙනවා නම් සාර්ථකව ඉදිරියට යාවි කියලා.


ගෙදරින් ලැබෙන සහයෝගය?


මට මේ ක්‍ෂේත්‍රයට එන්න වුවමනාවක් තිබුණෙත් නැති කෙනෙක්. මගේ තාත්තා තමයි මාව මේ තැනට ගෙන ආවේ. තාත්තා, අම්මා මගේ මල්ලිගෙත් ලොකු සහයෝගයක් ලැබෙනවා. මට උදව් කරන පවුලක් ඉන්න එකත් මගේ වාසනාවක් කියලත් හිතනවා.


බලාපොරොත්තු නොවුණ අවස්ථාවක බලාපොරොත්තු නොවුණ ගමනක් ඇවිත් තියෙනවා. මොකද හිතෙන්නේ?


ඇත්තටම ජීවිතයේ බලාපොරොත්තු නොවුණ දෙයක් තමයි මේක. බලාපොරොත්තු නොවුණ ගමනක සාර්ථක තැනක ඉන්නවා කියලා මම හිතනවා. ඉදිරිය කොහොම වෙයිද කියන්න මම දන්නේ නැහැ. හැබැයි අද දවසේ මම කරන චරිත පිළිබඳව මම ඉන්න ක්‍ෂේත්‍රය පිළිබඳව ප්‍රේක්‍ෂක ආදරය පිළිබඳව සන්තෝෂයි. ජිවිතයේ අපි හැමෝම බලාපොරොත්තු වුණු දේවල් නෙවෙයි සිද්ධ වෙන්නේ. මේකත් බලාපොරොත්තුම නොවුණ දෙයක්. අද තියෙන තත්ත්වය ගැන සන්තොෂයි. අසතුටක් නැහැ. සතුටුයි.


තාත්තාගේ බලාපොරොත්තුව ඉෂ්ට නොකළා නම් ඇත්තටම මොනවා කරයිද?


මම ගුරුවරියක් වෙයි. එහෙමත් නැතිනම් මම අන්තිමටම අධ්‍යාපනය හැදෑරුවේ ගිණුම්කරණයෙන්. මට ඕනෑ වුණේ ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයක ගිණුම්කරණ නිලධාරිනියක් වෙන්න. බොහෝ දුරට මම ගුරුවරියක් හෝ ගිණුම්කරණ නිලධාරිනියක් වේවි. එතැනින් එහාට මම කවදාවත් මේ වගේ ක්‍ෂේත්‍රයක් ගැන හිතලා නැහැ.


අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?


අද ඉන්න තැන ගැන හරි නිහතමානීව සන්තෝෂ වෙනවා. ආපසු හැරිලා බලද්දී හොඳ සහ නරක දෙකම මගේ ජීවිතයේ තියෙනවා. හැබැයි මේ හැම දෙයක්ම දිහා බලලා මේ හැම දෙයක්ම කරගත්තේ මම කියන කාරණාවේදී සන්තෝෂයක් තියෙනවා. ආපසු හැරිලා බැලුවොත් ජීවිතය දිහා කලකිරීම්වලට වැඩිය සන්තෝෂ වෙන්න පුළුවන් කාරණා වැඩියි කියලා හිතෙනවා.


දිනේෂ් විතාන




Previous Post Next Post