සැමියා නිසා කලාවට දුන්න තාවකාලික විරාමය ඉවරයි-ශෙනායා වෑන්හොෆ්




කලා ක්ෂේත්‍රය හදිස්සියෙම අතෑරලා ගිය ශෙනායා වෑන්හොෆ් මේ දිනවල විකාශයවන මායාවී ටෙලිනාට්‍යය තුළින් ආපහු ක්ෂේත්‍රයට ඇවිත් තියනවා. ඉතින් හිටිහැටියේම කලා ක්ෂේත්‍රයෙන් ගිය එක ගැන වගේම ශෙනායගේ නැවත ආගමනය ගැන ඇයගෙන්ම දැනගන්න අපි හිතුවා.






ශෙනායා ඇත්තටම මොකක්ද වුණේ?




මට හදිස්සියෙම විවාහවෙන්න වුණා. මගේ සැමියා රැකියාව කරන්නෙ සංචාරක ආයතනයක. ඒ නිසා විවාහවුණ ඉක්මනින්ම මට සැමියා එක්ක රට යන්න සිද්දවුණා.




හැමෝම හිතුවෙ ශෙනායා ක්ෂේත්‍රයෙන් අයින්වුණා කියලා?




ඔව්. මම ක්ෂේත්‍රයෙන් අයින් වුණා හැබැයි ඒ තාවකාලිකව. ඒ වෙද්දි මම හිතළඟ හිනැහුනා සහ සල්ලි පොකුරු ටෙලිනාට්‍යයවල ප්‍රධාන චරිත භාරඅරගෙන රඟපානගමන් හිටියෙ. හදිසියේ රටින් යන්න වුණ නිසා මට ඒ ටෙලිනාට්‍යයවලින් එකපාරම අයින්වෙන්න වුණා. ඇත්තටම එකපාර අයින්වුණ නිසා ඒ ටෙලිනාට්‍යවල අධ්‍යක්ෂවරු සහ නිෂ්පාදකවරු මම හින්දා අපහසුතාවයට පත්වුණා. ආපහු ක්ෂේත්‍රයට ආපු ගමන් මම ඒ හැමෝගෙන්ම සමාව ඉල්ලලා හිටියා. හැබැයි මම දන්නෙ නැහැ ඔවුන් සමාව දුන්නද කියලා.



ඒ වෙද්දි රඟපාපු ටෙලිනාට්‍යයවලින් ශෙනායව ප්‍රේක්ෂකයො අතර ගොඩක් ප්‍රසිද්ධ වෙලා තිබුණෙ. ඒ විදිහෙ තත්ත්වයක් අතෑරලා දාලා ගිය එක අපරාදෙ කියලා හිතුනෙ නැද්ද ?






සල්ලි පොකුරු සහ හිතළඟ හිනැහුනා ටෙලිනාට්‍යයවලින් මට ඒ වෙද්දි දැවන්ත ප්‍රේක්ෂක ආදරයක් ලැබුණා. සමහර ප්‍රේක්ෂකයො කියලා තිබුණා මගේ හොඳම රඟපෑම දැක්කෙ ඒ ටෙලිනාට්‍යයවලින් කියලා. ඉතින් ඒ වගේ ප්‍රසිද්ධියක් තත්ත්වයක් අතෑරලා ගිය එක අපරාදෙ කියලා හිතුනෙ නැතුව නෙමෙයි. හැබැයි මට ලැබුණ ප්‍රසිද්ධිය තත්ත්වය සේරටම වැඩිය සැමියව මට වටිනවා. සැමියව මට හම්බවෙන්නෙ මගේ අයියා ගායන ශිල්පී  අමිල පෙරේරාගේ මාර්ගයෙන්. ඇත්තටම සැමියා ගොඩක් හොඳ කෙනෙක්. ඉතින් ඒ වගේ හොඳ කෙනෙක් ලැබිලා පවුල්වල වැඩිහිටියනුත් අපිට ආශිර්වාද කරලා තියෙද්දි ඒ වගේ ආදරයක් මට අතාරින්න හිතු⁣නෙ නැහැ. ඉතින් කලාවට තාවකාලික විරාමයක් දීලා මම සැමියව තෝරගත්තා.




ආපහු ක්ෂේත්‍රයට ඇවිත් රඟපාන මායාවී මොනවගේ ටෙලිනාට්‍යයක්ද ?






සඳුන් රාජකරුණා අධ්‍යක්ෂණය කරන මහේෂ් සත්සර මද්දුමආරච්චි තිර රචනය කරන මායාවී කියන්නෙ කුතුහලය පිරිච්ච වෙනස් විදිහට ගලාගෙන යන ලස්සන ආදර කතාවක්. මායාවී ටෙලිනාට්‍යයේ මාත් එක්ක දුශේනි මියුරංගි සහ චානුක ප්‍රබුද්ද රංගනයෙන් දායකවෙලා ඉන්නවා.




ක්ෂේත්‍රය අතෑරලා යන්න කලිනුත් මහේෂ් සත්සර මද්දුමආරච්චි තිර රචනය කරපු ටෙලිනාට්‍යයක රඟපෑවා...






ඔව් මහේෂ් සර් තමයි මම රඟපාපු හිතළඟ හිනැහුනා ටෙලිනාට්‍යය තිරරචනය කෙරුවෙ. 


පෞද්ගලික ජීවිතය වෙනුවෙන් එවේලෙ ගත්ත තීරණය ගැන මහේෂ් සර්ට මම කරුණු පැහැදිලි කරලා සමාව ඉල්ලුවා.




සල්ලි පොකුරු ටෙලිනාට්‍යයේ ශෙනායා රඟපාපු පින්කිගේ චරිතය දැන් රඟපාන දුශේනි මායවේ ටෙලිනාට්‍ය තුළින් ශෙනායට හම්බවෙනවා..




මම අයින් වීමත් එක්ක සල්ලි පොකුරු ටෙලිනාට්‍යය වැටෙන්න නොදී දුශේනි අක්කි බේරගත්තා. ඇත්තටම දුශේනි අක්කි පින්කිගේ චරිතයට ගොඩක් හොඳ සාධාරණයක් කරනවා. මායාවී ටෙලිනාට්‍යයෙදි දුශේනි අක්කි මට හම්බවෙනවා. ඉතින් ඇත්තටම දුශේනි අක්කි ගොඩක් හොඳ කෙනෙක්. පින්කිගේ චරිතය වෙනුවෙන් මම ඇයට සුබ පතනවා.




ක්ෂේත්‍රය අතෑරලා නොගියා නම් දුශේනිට හම්බවෙලා තියන ප්‍රසිද්ධිය සම්මාන ශෙනායට නේද හම්බවෙන්න තිබුණෙ?






සල්ලි පොකුරු ටෙලිනාට්‍යයේ පින්කිගේ චරිතය වෙනුවෙන් දුශේනි අක්කිට දැවැන්ත ප්‍රේක්ෂක ආදරයක් වගේම කීපසැරයක්ම සම්මාන උළෙලවල් වලදි ජනප්‍රියම නිළියට හිමි සම්මානය ලැබුණා. මම ක්ෂේත්‍රයේ රැඳීහිටියා නම් මට ඒ සම්මාන ආදරය සමහරවිට ලැබෙන්න තිබුණා. මට නොලැබී දුශේනි අක්කිට ඒ ප්‍රසිද්ධිය සම්මාන ලැබුණ එක ගැන කිසිම ඊර්ෂ්‍යාවක්වත් නැහැ. ඇයට මම හදවතින්ම සුබ පතනවා. ඒ ව⁣ගේම තමයි අදටත් පෞද්ගලිකත්වය වෙනුවෙන් මම ගත්ත තීරණය ගැන සතුටු වෙනවා වගේම ඒ ගැන කිසිම පසුතැවීමක් නැහැ.




ශෙනායට ආදරය කරපු රසිකයො දැන් නැද්ද ?






එකපාරටම ක්ෂේත්‍රයෙන් අයින්වෙලා ගිය නිසා රසිකයොන්ගෙන් මට දෝශාරෝපනය එල්ල වුණා. මම පිළිගන්නවා ඒක මගේ අතින්වුණ වැරැද්දක් කියලා. හැබැයි ක්ෂේත්‍රයෙන් ගියාට මම සමාජ මාධ්‍ය හරහා නිතරම රසිකයො එක්ක කතාබහ කලා. ඒ දේවල් එක්ක තවමත් මාත් එක්ක රසිකයො ඉන්නවා කියලා මම දන්නවා. මායාවී ටෙලිනාට්‍යය⁣ට වුණත් ඔවුන්ගෙන් මට හොඳ ප්‍රතිචාර ලැබෙන නිසා ඒක මට තහවුරුයි.




සැමියගෙන් කලා ජීවිතයට ලැබෙන සහයෝගය මොනවගේද?






සැමියා තමයි කිව්වෙ මගේ රංගන ජීවිතය අතෑරලා දාන එක අපරාදෙ. ආපහු ලංකාවට ගිහින් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න කියලා. ඉතින් ඔහුගෙන් ගොඩක් ලොකු නිදහසක් කැපකිරීමක් රංගන ජීවිතය වෙනුවෙන් මට ලැබෙනවා.




කොහොමද සැමියා එක්ක පිටරට ගෙවපු ජීවිතය?






අපි හිටියෙ නවසීලන්තයෙ. එහෙ රටක් විදිහට නම් සෑහෙන්න දේවල් දියුණුයි. හැබැයි අඳුරන කවුරුත් නැති හින්දා හරි පාළුවෙන් හිටියෙ. ඒ අරුනහම ලංකාව සහ නවසීලන්තය අතර ලොකු වෙනසක් නැහැ.




ආපහු ක්ෂේත්‍රයේ ඇවිත් ඉන්න නිසා නිර්මාණ වලින් ආරාධනා එනවද?




ඔව්. මායාවී අරුනහම මේ වෙද්දි තවත් ටෙලිනාට්‍යය දෙකකින් ආරාධනා ලැබිලා තියනවා. ඒ වගේම මම රඟපාපු සෝලෝ ටවුන් චිත්‍රපටයත් ළඟඳීම තිරගත වෙන්න තියනවා.




දැන් ආපහු දිගටම කලා ක්ෂේත්‍රයේ ඉන්නවද?




ඔව් ආපහු නම් එකපාර දමලාගහලා යන්නෙ නැහැ. භාරගත්ත වැඩ ටික ඉවරකරලා තමයි කවදාහරි ආපහු සැමියා එක්ක විදේශ ගතවෙන්නෙ.




විවාහවෙලා කාලයක් පිටරටක ජීවත් වුණත් රූපය ඇඟේ හැඩය වෙනස් නොවී තියාගත්තෙ කොහොමද?




මොන රටේ ජීවත් වුණත් මම ඇඟ ගැන හිතනවා. පිටරට ඉද්දි වැඩිය බත් මේදය පිටි කෑම කන්නෙ නැතුව සෞඛ්‍ය සම්පන්න ආහාර ගත්තා. ඒ වගේම නිතර ව්‍යායාම කරලා ඇඟ ලස්සන හැඩයට පවත්ව ගත්තා.



Previous Post Next Post