මම පෙම්වතියක් – රංගි රාජපක්‍ෂ




රංගි රාජපක්‍ෂ මේ දිනවල අතිශය කාර්යබහුල වෙලා. කාලෙකට පස්සෙ ටෙලි නාට්‍ය පහකින් ඇයව දකින්න ලැබෙනවා. මේ කාර්යබහුල බව අතර වුණත් ඇය බොහොම සැහැල්ලුවෙන් මීවිත එක්ක කතාබහකට එකතු වුණා. ඒ අතර රහසකුත් එළිකරන්න අමතක කළේ නැහැ.

රංගි, මේ දිනවල ටෙලි නාට්‍ය කිහිපයකින්ම දකින්න ලැබෙනව?


ඔව්, මේ දිනවල මම රංගනයෙන් දායක වන ටෙලි නාට්‍ය පහක් විකාශය වෙනව. ඊට අමතරව අලුත් ටෙලි නාට්‍ය තුනක රූගතකිරීම් කටයුතු සිදුවෙනව.


මොනවද මේ ටෙලි නාට්‍ය පහ?


මේන් කැරැක්ටර්, නිකිණි කුසුම්, නෙළුනි (ස්වර්ණවාහිනිය), රොකී සහ මී මැස්සා (සිරස),


මේ අතරින් වැඩිම ප්‍රතිචාර ලැබෙන්නෙ?


මේ ටෙලි නිර්මාණ පහේම මට ලැබිල තියෙන්නෙ එකකට එකක් වෙනස් චරිත. නමුත් මට හිතෙනව මේන් කැරැක්ටර් ටෙලි නාට්‍යයට වැඩි ප්‍රතිචාර ලැබෙනව කියල. නමුත් සාපේක්‍ෂව හැම ටෙලිනාට්‍යයකටම හොඳ ප්‍රතිචාර ලැබෙනව.


මී මැස්සා ගැන බොහෝ දෙනා කතා වෙනව?


ඔව්, මී මැස්සා නිර්මාණය ගැන ගොඩක් තැන්වල කතාබහ වෙනව. මොකද ඒක දේශපාලයත් එක්ක යන වෙනස් වැඩක්. මේ නිර්මාණයේ මට ලැබුණ චරිතය භාරගනිද්දි පවා මම ගොඩක් බය වුණා. මොකද මෙහි කතා කරන්නෙත් වෙනස්ම විදිහකට. ඒ වගේම මම දේශපාලනයට පොඩ්ඩක්වත් කැමති නැති කෙනෙක්. මගෙත් එක්ක ඇක්ට් කරන්න හිටියෙ මහේන්ද්‍ර අයියා. අපේ කණ්ඩායමේ අයගේ සහයෝගයෙන් චරිතය සාර්ථකව කරගන්න පුළුවන් වුණා.


රොකී ගැන කතා කළොත්?


රොකී ගැනත් කතා නොකරම බැහැ. එතනදි පාලිත අයියා සහ නිරෝෂන් අයියව මතක් කරන්න ඕන. පාලිත අයිය වගේ දැවැන්තයන් එක්ක වැඩකරන්න ලැබීමත් සතුටක්. මෙහි මට ලැබිල තියෙන්නෙත් වෙනස්ම චරිතයක්. විශේෂයෙන්ම කියන්න ඕන, මේ හැම නිර්මාණයකම අපිට නිදහසේ වැඩකරගෙන යන්න පුළුවන් අධ්‍යක්‍ෂවරු සහ නිෂ්පාදන කණ්ඩායම් ඉන්න එක ගැන ගොඩක් සතුටුයි.


ටෙලි නාට්‍ය පහක එකවර පෙනී සිටීම ඔබට අවාසියක්ද?


එහෙම නැහැ. සමහර කාලවල අපිට වැඩ තිබුණෙම නැහැ. නමුත් දැන් වැඩ එනකොට මම බලන්නෙ මට ලැබිල තියෙන්නෙ ප්‍රධාන චරිතයක්ද කියන එක නෙමෙයි, ඒ තුළ මට කරන්න පුළුවන් දේ මොකක්ද කියල. දැනටත් මට ලැබිල තියෙන්නෙ ඒ වගේ එකකට එකක් වෙනස් චරිත. එකවර නිර්මාණ පහක පෙනී සිටීම මට හොඳක් වෙලාතියෙනව.


වැඩිපුර බැනුම් අහන චරිතය?


වැඩිපුර බැනුම් අහන්නෙ නිකිණි කුසුම් ටෙලි නාට්‍යයේ චරිතයට. මොකද ඒක ටිකක් නපුරු චරිතයක්. ඒ නපුරුකමට බැනුම් අහන එක තුළ මම මගේ සාර්ථකත්වය දකිනව.


මේ චරිත පහ තුළ රංගිගෙ ජීවිතයට සමාන චරිතයක් ඇති?


මෙහෙමයි, ගැහැනියෙක් වුණාම මේ චරිත පහ අපේ ජීවිතයට සමාන වෙන අවස්ථා තියෙනව. දේශපාලන චරිතය හැර අනෙක් හැම චරිතයක් තුළම රංගි තුළ තියෙන කොටස් තියෙනව.


රංගන ක්‍ෂේත්‍රය දකින්නෙ මොන විදිහකටද?


රංගන ක්‍ෂේත්‍රය කියන්නෙ හොඳ තැනක්. එහෙම නරකයි කියන්න මට කවදාවත් කිසිම කෙනකුගෙන් වරදක් වෙලා නැහැ. සමාජය මේ ක්‍ෂේත්‍රයේ අය ගැන විශේෂයෙන් හොයනව, බලනව. ඒකත් එක්ක කටකතා පැතිරෙන්න ගන්නව. ඒක මේ ක්‍ෂේත්‍රයට ආවේනික දෙයක් වගේ වෙලා. වාසනාවකට මට නම් තවම එහෙම වෙලා නැහැ.


පවුලේ අයගෙ ප්‍රතිචාරය මොන වගේද?


මගේ වැඩවලට පවුලේ අයගෙන් හොඳ සහයෝගයක් ලැබෙනව. ඒ වගේම අම්මයි තාත්තයි ඉන්නෙ ලොක-ු සතුටකින්. විශේෂයෙන්ම මගේ තාත්තා මං ගැන කතාකරන්නෙ හරිම ආඩම්බරෙන්. මට ඒ ගැන හරිම සතුටුයි.


රංගි රංගන ශිල්පිනියක් වෙන්නෙ කොහොමද?


ඇත්තටම මම රංගන ශිල්පිනියක් වෙන්නෙ අහම්බයකින්. මගේ ෆොටෝස් ටිකක් දැකපු නුවන් කළුආරච්චි මහත්මයා මාව වෙළෙඳ දැන්වීමකට සම්බන්ධ කරනව. එතැන් පටන් වෙළෙඳ දැන්වීම් බොහෝ ප්‍රමාණයකට සම්බන්ධ වෙන්න මට අවස්ථාව ලැබෙනව. මේ අතර ‘රාවණා’ ටෙලියට මට ආරාධනා ලැබෙනව. නමුත් මුලින්ම ටෙලිකාස්ට් වෙන්නෙ ‘සල්සපුනා’ ටෙලි නාට්‍යය. මේ විදිහට තමයි මම රංගනයට සම්බන්ධ වෙන්නෙ. අහම්බයකින් ලැබුණ දෙයක් වුණත් මම විශ්වාස කරනව මේක තමයි මට හරියන ගමන කියල.


රංගිගෙ වෘත්තිය?


මම දැන් වෘත්තීයමය රංගන ශිල්පිනියක්.


වෘත්තීයමය රංගන ශිල්පිනියකට හෝ ශිල්පියකුට නිසි වටිනාකම ලැබෙනවද?


මෙහෙමයි, තව කෙනකුට අපිව වටින විදිහට අපි අපේ තැන හදාගන්න ඕන. මම තවම ආධුනිකයි, මට තව ඉගෙනගන්න දේවල් තියෙනව. මම තවම මගේ වටිනාකම හදාගෙන යනගමන්.


කෞෂි සිනමා නිර්මාණයත් සමග ජාත්‍යන්තරයට ගියා.


ඒ අත්දැකීම මොන වගේද?


ඒක මගේ ජීවිතයට සුවිශේෂී අත්දැකීමක්. කෞෂි චිත්‍රපටයත් සමග මට අමිල අයියත් එක්ක මාලදිවයිනට යන්න අවස්ථාව ලැබුණා. මේක ගොඩක් දෙනකුට නොලැබෙන අවස්ථාවක්. ඒ අය අපිට පිළිගත්ත විදිහ, සලකපු විදිහ අලුත්ම දෙයක් වුණා. ඒ වගේම මම හිටපු හෝටලයේ උඩ ඉඳන් බලනකොට පහළ නගරයේ හැම තැනකම වගේ සහ වාහනවලත් මගේ ෆොටෝස් අලවල. ඒ අත්දැකීම මට හීනයක් වගේ.


ඉදිරියේදී තිරගත වීමට නියමිත සිනමා නිර්මාණ මොනවාද?


අලුත් චිත්‍රපටයකට සම්බන්ධ වුණා. ඒක ඉන්මනින්ම තිරගතවෙයි කියල බලාපොරොත්තු වෙනව. කදිර දිව්‍යරාජ චිත්‍රපටයේ විහාරමහාදේවියගෙ චරිතය නිරූපණය කළේ මම. ඒ ගැනත් හරිම සතුටුයි.


රංගි පෙම්වතියක්?


ඔව්, මම පෙම්වතියක්.


ඔහුගෙන් ලැබෙන සහය මොන වගේද?


මාව ප්‍රශ්න නොකර, සැක නොකර නිදහසේ මගේ වැඩ ටික කරගෙන යන්න ඔහුගෙන් ලොකු සහයෝගයක් ලැබෙනව.


ඔහු ගැන රසිකයන්ට විස්තර ටිකක් කියමුද?


වැඩි විස්තර අපි පසුවට කියමු නේද?


මහේෂ් එදිරිසිංහ



Previous Post Next Post