සද්දබද්ද නැතිව ගත්ත රවීගෙ වෙඩිම



ගායනයෙන් මෙරට පමණක් නෙවෙයි ජාත්‍යන්තරයට පවා ගිය අපේ ලාංකේය තරුවක් වුණු රවී රොයිස්ටර්ගේ ජීවිතයේ ලොකුම වෙනසක් පසුගියදා ඇතිවුණා. වැඩි සද්දබද්දයක් නැතිවම සිද්ධවුණු ජීවිතයේ මේ ලොකු වෙනස්කම ගැන වැඩිය සමාජ මාධ්‍යවල පවා කතාබහට ලක්වුණේ නැහැ. ඉතිං අපි හිතුවා වැඩිය සද්දබද්දයක් නැතිවම ගත්තු රවීගෙ වෙඩිම ගැන ඔයාලට කියන්න.


වැඩි සද්දබද්දයක් නැතිවම රවී කසාද බැන්ද?


ඒකනේ. වැඩි සද්දබද්ධයක් නෑනේ.


මේ ආදර කතාවට කොච්චර කාලයක් වෙනවාද?


ආදර කතාවට මම හිතන්නේ ටික කාලයක් වෙනවා. හැබැයි ඉතිං අපි දෙන්නා අපේ ආදර කතාව ප්‍රසිද්ධ කළේ නැහැ. ඉතිං පොඩ්ඩක් සද්දබද්ද නැතිවම හිටියා.


ඇයව මුලින්ම දැක්කේ කොහේදිද?


ඇයව මම මුලින්ම දැක්කේ එයාර්පෝට් එකේදි.


කවුද මුලින්ම මේ ආදර යෝජනාව ගෙන ආවේ?


ආදර යෝජනාව මම තමයි මුලින්ම අරගෙන ආවේ. දුරකථනයෙන් තමයි ආදර යෝජනාව ප්‍රකාශ කළේ.


ඇයත් රවීගේ හොඳ රසිකාවියක්ද?


ඔව්. ඇය මගේ හොඳ රසිකාවියක්. හැබැයි ඉතිං මුලින්ම අපි හමුවෙලා තිබුණේ නැහැ. දුරකථනයෙන් තමයි අපි දෙන්නා කතාබහ කරමින් හිටියේ.


බිරිඳගේ විස්තර එහෙම කිව්වොත්?


ඇයගේ උපන් ගම කුරුණෑගල. දැනට පදිංචි වෙලා ඉන්නේ කැනඩාවේ. ඇය කැනේඩියානු රාජ්‍යයේ විධායක නිලධාරිනියක් විදිහට සේවය කරනවා. ඇගේ නම ජයෝමි කෝනාර.


අපි මේ කතාබහට රවී රොයිස්ටර්ගේ බිරිඳ ජයෝමි කෝනාරවත් එකතු කරගත්තා.


රවීගේ සින්දු අහලා තියෙනවාද?


මම සින්දු අහලා තියෙනවා. මම ඔහුගේ ගොඩක් සින්දු දන්න කෙනෙක් නෙමෙයි. මම එයාගේ එක වැඩසටහනක් නරඹලා තමයි එයාගේ සින්දුවලට ආසා වුණේ. මම මුලින්ම ඇහැව්වේ ගයන්තගේ සින්දුවක් වුණු ‘සුදු පාට මල් වැටුණු’ ගීතය. ඊට පස්සේ දුරකථන මාර්ගයෙන් කතා කළා.


රවීව මුණගැහිලා කොච්චර කල්ද?


මාස අටක් විතර වෙනවා.


රවීගේ හමාර බණවර ගීතය අහලා තියෙනවද?


ඒ සින්දුව අහලා තියෙනවා. නමුත් මම සජීවීව ගායනා කරනවා දැකලා නැහැ. ඒ සින්දුවට හරි ආසයි. මුලින්ම මම දැනගෙන හිටියේ නැහැ මේ සින්දුව කියන්නේ රවී කියලා. හරි සංවේදී ගීතයක්නේ. පස්සේ තමයි දැනගත්තේ.


රවීව සැමියා විදිහට තෝරාගන්න විශේෂ හේතුවක් තිබුණද?


හරි සැලකිල්ලක් දක්වන අපේ පවුලේ අයටත් එකතු කෙනෙක්. අපි දෙන්නා දෙපැත්තක හිටියත් අපේ දේවල් ගැන හරි අවබෝධයෙන් වැඩ කරන චරිතයක්. දවස ගෙවන විදිහ අපි දෙන්නම හොඳින් දන්නවා.


විවාහයෙන් පස්සේ පදිංචිය එහෙම?


එතකොට නම් කැනඩාවේ තමයි. මට ලංකාවේ ඉන්න විදිහක් නෑ.


රවීවත් කැනඩාවට එක්කගෙන යනවාද?


ඔව්. ඒක තමයි ප්ලෑන් එක. එයාව සංගීතයෙන් ඈත් කරන්නේ නැහැ. රවීට කැනඩාවෙත් සංගීතය පැත්තෙන් අවස්ථා උදාවෙලා තියෙනවා.


රවීගේ ප්‍රසංග එහෙම නරඹලා තියෙනවාද?


ඔව්. මම ගියවර ලංකාවට ආපු වෙලාවේ ප්‍රසංගයක් නැරඹුවා. 07 වැනිදා විජය ඇන්තනීගේ ප්‍රසංගයක් ලංකාවේ තියෙනවා. ඒ ගැන මම පුදුම වෙලා ඉන්නේ. මොකද රවීත් ඒ ප්‍රසංගයේ සින්දු කියනවා.


රවීගේ පවුලේ අයගෙන් ලැබුණු ප්‍රතිචාර එහෙම?


මම හිතන්නේ රවී තමයි ගෙදරට අලුතෙන් ආපු කෙනා. මම තමයි ගෙදර සාමාජිකයා වෙලා තියෙන්නේ.


කවදාද ලංකාවෙන් යන්නේ?


මම කොහොමත් තව සති දෙකකින් ලංකාවෙන් යනවා. මේ අවුරුද්දේ අන්තිම රවීත් කැනඩාවට ඒවි. අපි සැලසුම් කරලා තියෙන්නේ.


වෙඩින් එකේ විස්තර එහෙම මොනවාද?


ඉතාම පොඩි කාලෙකින් තමයි වෙඩින් එක සැලසුම් කළේ. මම ලංකාවට ආවෙත් අන්තිම මොහොතේ. වෙඩින් එකට දවස් තුනකට කලින් තමයි ලංකාවට ආවේ. රවී තමයි සියල්ල සැලසුම් කළේ. මම මගේ වෙඩින් එකේ ගෙස්ට් වගේ හිටියා.


අපි ආපහු රවී දෙසට හැරුණා. වෙඩින් එකෙන් පස්සේ සැලසුම් මොනවාද කියලා දැනගන්න.


සංගීත කටයුතු කිසිවක් නවත්වන්නේ නැහැ. ප්‍රශ්නය තියෙන්නේ පදිංචිය විතරක් පොඩ්ඩක් වෙනස් වෙන එක විතරයි. රේඩියෝ නාළිකාවක තමයි වැඩ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ අවුරුද්දේ අන්තිම වගේ තමයි ලංකාවෙන් යන්න හිතාගෙන ඉන්නේ.


මොනවද සංගීත වැඩකටයුතු එහෙම?


සංගීත වැඩකටයුතු හොඳට කෙරීගෙන යනවා. මගේ ප්‍රසංගය හින්දා ගීත කිහිපයක් එළි දක්වන්න බැරි වුණා. මගේ තව ගීත හතරක් තියෙනවා එළිදක්වන්න. ඒ ගීත හතර ඉදිරි සති කිහිපයේ රිලීස් කරන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නේ.


කොහොමද ප්‍රසංගවල වැඩකටයුතු දැනට තියෙන්නේ විජය ඇන්තනීගේ ප්‍රසංගය. එළැඹෙන 07 වැනිදා තමයි පවත්වන්නේ. ඒකේ මම, මනෝජ්, ඒඩීකේ සින්දු කියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. විජය ඇන්තනීත් මේ ප්‍රසංගයට සහභාගි වෙනවා.


වෙඩින් එක කාටවත් කිව්වේ නැත්තේ ඇයි?


වැඩිය කාටවත් කිව්වේ නැහැ. මට හිතුණේ ළඟම ඉන්න කට්ටියට විතරක් කියනවා කියලා. අනෙක් කට්ටියට කතා කරලා කිව්වා ලබන අවුරුද්දේ පාටියක් දෙනවා කියලා. ඒ හින්දා ඒක එච්චර අවුලක් වුණෙත් නැහැ.


දිනේෂ් විතාන



Previous Post Next Post