ජනප්‍රිය වෙන්න හරිම අමාරුයි නමුත් ප්‍රසිද්ධ වෙන්න ඉක්මණට පුළුවන්


එදා යශෝරාවයේ බලදේවගේ චරිතයේ සිට ඉනික්බිතිව මේ දක්වා රඟපෑ සියලු චරිත සඳහා ඔහු ලබාදුන්
රංග හැඩය නිසා ඒ චරිත ප්‍රේක්ෂක රස මනසේ රැඳී තිබේ. ලැබෙන සෑම චරිතයක්ම බාර නොගෙන


බාරගත් චරිතයට උපරිම සාධාරණයක් කරමින් ප්‍රේක්ෂකයින් අතර නිබඳව ආදරය ලබන ‘ලකී’ හෙවත්
වාසනාවන්ත ප්‍රවීණ රංග ශිල්පියා මේ දිනවල අපට හමුවන්නේ සිහිනයකි ආදරේ චිත්‍රපටයේ පියෙකුගේ
රංගනයත් සමගය. මේ රංගනය වෙනුවෙන් ඔහුට ලැබෙන ප්‍රතිචාර මොනවගේද? කාලයකට පසු හමුවන
ඔහු සමග අපි දොඩමළු වූ නිමේෂයකි මේ.

මේ දිනවල ඔබ දායක වූ විකාශය වන ටෙලි නාට්‍ය මොනවද?

මේ දිනවල මම දායකවූ කිසිම ටෙලි නාට්‍යයක් විකාශය වන්නෙ නැහැ. අවුරුදු තුනකින් ටෙලි නාට්‍යයකට
සම්බන්ධවෙලා නැහැ.

ඒ කියන්නෙ ඔබට ටෙලි නාට්‍යවලට ආරාධනා ලැබෙන්නෙ නැද්ද?

ආරාධනා ලැබෙනවා.

එහෙනම්?

ටෙලි නාට්‍යය පහකට විතර ආරාධන ලැබුණා.

ඉතින් නොයන්නෙ?

බාර ගන්න බැරි මට දැනෙන විදියට රඟපෑමට චරිතයක් තිබුණෙ නැහැ.

මොන වගේ චරිත රඟපෑමටද බලාපොරොත්තුව?

කළ චරිතයට සාධාරණයක් ඉටු කරලනෙ අපි දශක තුනක පමණ කාලයක් ගෙවා තිබෙන්නෙ. ඒ චරිත ජීවමාන
කිරීමට අපට හැකියාව ලැබුණෙ හොඳ පිටපත් රචකයින් සිටි නිසයි. අපි ඒ පිටපත අධ්‍යයනය කරමින්
රඟපාන විට අපිව මෙහෙයවීමට දක්ෂ අධ්‍යක්ෂවරු හිටියා. අද ඒ ස්වභාවය අඩුයි. සිටින
අධ්‍යක්ෂවරයකුට මෙහෙයවීමට තරම් සුදුසු පිටපත් ලැබෙන්නෙත් නැහැ. ඒ තරමටම ජරාජීර්ණ වූ තත්ත්වයට
පත්වෙලා.  

ඔබ එහෙම කිව්වට හොඳ ටෙලි නාට්‍ය විකාශය වෙනවාය කියලා බොහෝ දෙනාගේ අදහසයි?

හොඳ ටෙලිනාට්‍ය කියන ඒවා විකාශය වෙන්නෙ සති අන්තයේදි. ඒවා දිගු ටෙලිනාට්‍ය නෙවෙයි. ඒවා
කරන අය කිසියම් ප්‍රමිතියකින් ඒවා කරන්නෙ. මම කියන්නෙ දිගු-ටෙලි නාට්‍ය ගැනයි.

එතකොට ඔබට ඒ හොඳ නාට්‍යවලට ඇරයුම් ලැබෙන්නෙ නැද්ද?

කණගාටුවෙන් වුණත් කියන්න තියෙන්නෙ ඒවාට ආරාධනා ලැබෙන්නෙ නැහැ. වෙනමම දෘෂ්ටියකින් බලලා
කරන ඒ නාට්‍යවල රඟපාන්න පිරිසක් ඉන්නවා. මධ්‍යස්ථ ලෙවල් එකේ කට්ටියක් තමයි ඉන්නෙ.

ඒ කියන්නෙ ‘ප්‍රවීණ’ කියන කණ්ඩායම අයින් කරලා දාලා වෙනම සෙට් එකක් ඉන්නෙ?

එහෙම කිව්වොත් හරි. හොඳට රඟපාන්න පුළුවන් කොච්චර පිරිසක් ඉන්නවද? කෝ ඒ අය? ඒ අයට අවස්ථාව
ලබා දෙන්නෙ නැහැනෙ.

‘යස් බොස්’ වැනි නාට්‍යවල ඔබ රඟපෑවානෙ?

ඒවායෙ අන්තර්ගතයක් තිබුණා. සරල වින්දනයක් ගෙන දුන්නාට ඒවායේ දායකවූ ප්‍රවීණ සම්මානනීය පිරිසක්
හිටියා. වසර ගණනාවක් එය විකාශය වුණේ ඒ අන්තර්ගතය නිසයි.

කාලයක් ඔබ නිරත වුණේ දැන්වීම් ප්‍රචාරණ ක්ෂේත්‍රයේ? අද ඒ වෘත්තියේ නියැලෙන්නෙ නැද්ද?

එයින් ඉවත්වෙලා සෑහෙන කලක් වෙනවා. අද දැන්වීම් අංශය ගත්තොත් කිසිම ප්‍රමිතියක් නැහැනෙ.
දැන්වීම් නිර්මාණකරණයට වඩා මේ අය රේටින්ස් කියන වචන යොදාගෙන මහා බොරුවක්නෙ කරන්නෙ.
ඔක්කෝම සල්ලිවලට කෙරෙන්නෙ. SMS තෝරන විදිය බලන්න. එතැන විනිවිදභාවයක් නැහැනෙ.

රියැලිටි තරග දිහා බැලුවාම ඒක හොඳට පැහැදිලි වෙනවනෙ. ලංකාවේ මාලිනි ෆොන්සේකලා, ගීතලා,
සබීතලා විසිකරලා දාලා ඉන්දීය නිලියන් රතුපලස් මතින් ගෙන්වූ රටක් මේක. ඒක අපේ නළු නිළියන්ට කළ
කොච්චර අපහාසයක්ද? එක්තරා ඉන්දීය නිළියක් ඒ කාලයේ කියලා තිබුණානෙ. ඉන්දියාවෙ කවුරුවත් එයාව
දන්නෙ නැහැ. ඒත් ලංකාවෙ මට පාරේ බැහැලැවත් යන්න බැරි තරමට පිළිගැනීම කියලා. ඔය විදියෙ
ජරා ජීරණ වැඩනෙ සිද්ධ වුණේ.

ඔබ කියන්නෙ ජනප්‍රියත්වය සහ ප්‍රසිද්ධ කියන දේ දෙවිදියක් කියලද?

අනිවාර්යයෙන්ම ඔව්. ජනප්‍රිය වෙන්න හරිම අමාරුයි. නමුත් ප්‍රසිද්ධ වෙන්න ඉක්මණට පුළුවන්. ඒ
වෙනුවෙන් ඕනෑ කුණු ගොඩක් කරන අයත් අපට දැක ගන්න පුළුවන්නෙ.

අපි කතා කරමු තිරගතවන මේ ෆිල්ම් එක ‘සිහිනයකි ආදරේ’ ගැන? එහි ඔබ රඟපාන්නෙ?

පියෙකුගේ චරිතයක්.

ඊට පෙර ඒ චරිතය රඟපාලා තියෙනවද?

අපොයි ඔව්. ආනන්ද අබේනායකයන්ගේ, සංක්‍රාන්ති සමය නාට්‍යයේ හොඳම රංගනයට එදා මට සම්මාන
ලැබුණෙත් පියෙකු ලෙස රඟපෑ චරිතයට. ඉන්පසුව සුදත් රෝහණගෙ දත් කැකුළු පාලා, නාට්‍යයේ වගේම
දරු සෙනෙහස පිළිබිඹු කෙරෙන චරිත රඟපෑම නිසා ඒ දිනවල මාව බොහොම ප්‍රචලිත වුණේ. පිය චරිතයට
සැබෑ සෙනෙහසක් එක් කළා කියලයි. සැබෑ ජීවිතයේ ඒ අත්දැකීම මට නැතත් චරිතවලදී ‘පියෙකුගේ
චරිතය අපූරුවට කරන බවට නිර්මාණකරුවන් මට සහතික ලබා දුන්නා.

මෙම සිහිනයකි ආදරේ චරිතය ගැන කියමු?

පූජා උමාශංකර්ගෙ පියාගේ චරිතය රඟපාන්නෙ. තරුණ නොවූ එය වැඩිහිටි පි​ෙයකුගේ චරිතයක්.

පූජාගේ තාත්තා ලෙස රඟපාන ඒ අත්දැකීම ගැන ඔබට මොනවද කියන්න පුළුවන්?

ඒක හරි අපූරු අවස්ථාවක්. මීට පෙර වැඩිහිටි දියණියකගේ පියකු ලෙස අහස් මාලිගා නිර්මාණයේ
රඟපෑවා. පූජා එක්ක රඟපාද්දි ඇය ඒ දියණිය කියන චරිතයට බොහොම අපූරු හැඩයක් එක් කොට
තිබෙනවා. කෙළිලොල්, දඟකාර, රිද්මයක් සහ සැහැල්ලු-තාත්වික හැඟීම් ප්‍රකාශයක් ඇයට තියෙනවා. ඒ
නිසාම තමයි පූජාට ඕනෑම කෙනෙකු සමග රඟපාද්දි හදවතට දැනෙන විදියට රංගනය ඉදිරිපත් කිරීමට
සමත්වෙලා තිබෙන්නෙ.

පූජා වෙතින් ඔබ දුටු හොඳම ගුණාංගය?

ඇය හරිම වාත්තීය මට්ටමින් ඉහළයි. ඒ වගේම උසස්ම ප්‍රමිතීන් එක්ක ඒ වෘත්තීය බව ඇය රැකගෙන සිටින
වග පෙනෙනවා. අනෙක් පැත්තෙන් ගත්තාම හදවත උණුවන, ලෙංගතු ආදරණීය බවක් ඇයට තිබෙන්නෙ. ඒ
සියලු දේ මිශ්‍ර වුණාම තිරයෙන් ඇය වෙතින් දිස්වන්නේ හරි අපූරු රිද්මයක්. එය කාටත් හදවතට දැනෙන
ස්වභාවයක්. තිරයට අමුතුම කාන්තියක් ඇයගේ චරිතයෙන් දිස්වන්නෙ ඒ ගුණාංග නිසයි. ඇය සහ මා අතර
හිතවත්කම සමග අපි දෙදෙනාගෙ චරිත මුසුව හරි කදිමෙට ගැලපුණා. ‘සරොව්’ (සරවණන්)
අධ්‍යක්ෂවරයා අපි දෙන්නගෙ ඒ රංගන හැඩය උකහා ගත්තෙ ඔහුගේ ප්‍රවීණත්වයේ දක්ෂතාවයෙන්.
අධ්‍යක්ෂණයට තිබූ මනා හැකියාව නිසා මේ ෆිල්ම් එක ඔහු ඉතා හොඳට නිමවා තිබෙනවා. මෙහි මගේ
චරිතයේ නම රොනී ෆර්නැන්ඩස්, පූජාගෙ චරිතයේ නම ජෙනිෆර්.

කොහොමද මේ ෆිල්ම් එකට ලැබෙන ප්‍රතිචාර?

ඉතා ඉහළයි. ලංකාවේ ප්‍රේක්ෂකයින් නැරැඹීමට බලා සිටි චිත්‍රපටයක් බව ප්‍රතිචාරවලින් කියන්න
පුළුවනි. ඒකට විශේෂ හේතුව පූජා සහ හේමාල්. ඒ දෙදෙනාගේ ආදරය සහ කතාව අපූරුවට ගලා
යනවා. ඒ වගේම දියණියක සහ පියෙකු අතර ඇති අසීමිත බැඳීම අපූරුවට ප්‍රකාශ වෙනවා. මේ දියණිය
තම පියාට කොතරම් සමීපද කිව්වොත්, පියාට කතා කරන්නෙ ඩාලිං කියලයි. ඒ සෙනෙහස වගේම ‘පූජා
සහ හේමාල්’ ගේ අපූරු ආදර කතාව නරඹන්න මිනිස්සු ආසාවෙන් එන්නෙ. ඒ සුසංයෝගය හරි අපූරුයි.

සඳුන් ගමගේ



Previous Post Next Post