දැන්ම විවාහ වෙන්න බෑනේ – අනුරාධා එදිරිසිංහ



මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වන “මේන් කැරැක්ටර්” ටෙලි නාට්‍යයේ “සහශ්‍රා” ලෙසින් පුංචි තිරය ඔස්සේ ඔබේ දෑස් මානයට එන විස්සයි විසිඑක වසරේ හොඳම නිළිය සම්මානයට පාත්‍ර වූ ප්‍රේක්ෂක ඔබේ ආදරය දිනාගත් රංගන ශිල්පිනි අනුරාධා එදිරිසිංහ සමඟිනුයි මේ සුහද කතාබහ ඇරඹෙන්නේ.

අනුරාධා මේ දවස්වල මොකද වෙන්නේ?


මේ දවස්වල මම මගේ පවුලේ අයත් එක්ක ටිකක් කාර්යබහුලයි. ඒත් එක්කම “මේන් කැරැක්ටර්” ටෙලි නාට්‍යයේ ෂූටින් එක්ක තමයි කාලය ගත කරන්නේ. ඊට අමතරව මම හරිම ආසාවෙන් බලාගෙන ඉඳපු, මම රංගනයෙන් දායක වුණ තීක්ෂණ අනුරාධ අයියගේ අලුත්ම ගීතය එළිදැක්වෙනවා. මම අවුරුදු දහයක විතර ඉඳලා බලාගෙන හිටියා එයත් එක්ක එකතු වෙලා වැඩක් කරන්න. අන්තිමට ඒ චාන්ස් එකත් හම්බවුණා. මේ දවස්වල ඒ ගැනත් හරිම සතුටින් තමයි මම ඉන්නේ.“


“මේන් කැරැක්ටර්” සහශ්‍රාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ගොඩක් හොඳයි.“මේන් කැරැක්ටර්” ටෙලිකාස්ට් වුණාට පස්සේ මට ගොඩක් එළියට යන්න හම්බවුණේ මේ වකවානුවේදී. එතකොට ගොඩක් වෙලාවට රසිකයො මගේ ළඟට ඇවිල්ලා “සහශ්‍රා” කියලා නම කියලා කතා කරපු වෙලාවට මාරම සතුටක් දැනෙනවා. මොකද මාස හතකින් වගේ මගේ නාට්‍යයක් ටෙලිකාස්ට් වෙන්නේ. මේ වකවානුවේ මේ ලබන ප්‍රතිචාර ගොඩක් හොඳයි සහ මමත් හරිම ආදරෙන් ඒ ආදරය භාරගන්නවා.


සහශ්‍රාව මුණගැසුණේ කොහොමද?


ඇත්තටම අධ්‍යක්ෂක ශාන් ජයරත්නගේ ‘අක්ෂි’ ටෙලි නාට්‍යයෙන් පස්සේ තමයි ඔහු අධ්‍යක්ෂණය කළ මේ දෙවැනි ටෙලි නාට්‍යයටත් මට ආරාධනා ලැබුණේ. මම හිතුවේ නැහැ “මේන් කැරැක්ටර්” එකේ මේන් කැරැක්ටර් එකට මට කතා කරයි කියලා. මොකද ඒ වකවානුව වෙද්දී එහෙම වපසරියක් තිබුණෙ නැහැ, මගේ නිර්මාණ කටයුතුවල. ඉතින් මම ඇහුවා ඔයාට ෂුවර් ද මේක කරන්න ඕනෑ කියලා. ඉතින් ශාන් ජයරත්න මේ නිර්මාණයේදී මටත් වැඩිය මාව විශ්වාස කළා. එහෙම තමයි මට මේ චරිතය හම්බවෙන්නේ.


සහශ්‍රා කියන්නේත් රංගන ශිල්පිනියකගේ චරිතයක්නේ.


ඒ අභියෝගයට මුහුණ දෙන්නේ කොහොමද?


ඔව්, ඇත්තටම ඒක හොඳ අභියෝගයක්. මොකද සාමාන්‍යයෙන් මාව ළඟින් ඇසුරු කරන අය දන්නවා මම රංගන ශිල්පිනියක් කියන වෘත්තිය ඇතුළේ විතරමයි මම වෘත්තීමය රංගන ශිල්පිනියක් වෙන්නේ කියලා. එතැනින් එහාට කොහේවත් මම රංගන ශිල්පිනියක් විදියට ඉන්නේ නැහැ. මෙතැනදී මම සහශ්‍රාගේ දකින විශේෂ දේ තමයි මම සාමාන්‍ය අනුරාධා විදිහට එළියේ ඉන්න මිනිස්සු දකින්නේ නැති ටික මට නිරූපණය කරන්න ලැබිලා තියෙනවා. මෙතෙක් රඟපාපු චරිත වලදිත් මම කවදාවත් මෙහෙම මගේ වෘත්තියට අදාළ චරිතයක් කරලා තිබුණෙ නැහැ. ඉතින් මට මේ චරිතෙ හරිම සුන්දර අභියෝගයක් වුණා.


අනුරාධා “රිදී තිරයට” ආරාධනා ලැබුණේ නැද්ද?


නැහැ. මට කවදාවත්ම චිත්‍රපටයකට ආරාධනා ලැබිලා නැහැ. මෑත කාලේදිත් එහෙම කිසිම විදියක ආරාධනාවක් ඇවිල්ලත් නැහැ. සිනමාව මගේ දෛවයේ ලියවිලා නැතුව ඇති කියලත් සමහර වෙලාවට මට හිතෙනවා. හැබැයි එහෙම ලොකු අවුලකුත් නැහැ. එහෙම කිසිම දෙයක් ගැන ලොකුවට බලාපොරොත්තු තියාගෙන ඉන්නෙ නැහැ. නමුත් සිනමා නිර්මාණයකට ආරාධනා ලැබුණොත් මම උපරිම සතුටු වෙනවා. මොකද ඒක ඕනෙම කෙනෙකුගේ ජීවිතේ තියෙන ලොකු හීනයක්නේ.


කලා ක්‍ෂේත්‍රය තෝරා නොගත්තනම් අද මොන වගේ වෘත්තියකද නියැළෙන්නේ?


මම කලා ක්ෂේත්‍රය තෝරා ගත්තේ නැත්නම් අනිවාර්යයෙන්ම නීති අංශයෙන් රැකියාවක නියැළිලා ඉඳීවි.


මේ වැඩ කටයුතු නිදහසේ කරගෙන යන්න ගෙදරින් ලැබෙන්නෙ මොනවගේ සහයෝගයක්ද?


ගෙදරින් ලැබෙන සහයෝගය නම් 200% ක් කිව්වත් මදි. ඒක ඊටත් එහා. කිසිම විදිහකින් මට නීති දාන්නේ නැහැ. මම මටම දාගත්තු ලිමිට්ස් ටිකක් තියෙනවා. මගේ ජීවිතය ඇතුළෙ මම කරන නිර්මාණයක් දැකලා වැඩියෙන්ම සතුටු වෙන්නේ මගේ අම්මා, අයියා සහ පවුලේ අය.


කලා ක්ෂේත්‍රයේ මෙතෙක් ආ ගමන්මඟ ගැන මොකද හිතෙන්නේ?


මේ ආපු ගමන්මග ගැන හැරිලා බලද්දි හරිම සන්තෝෂයි. මොකද මට 2021 වසරේ සකර්ම” ටෙලි නිර්මාණයට හොඳම සහාය නිළියගේ සම්මානය ලැබෙනවා. ඒ වගේම 2021 වර්ෂයේ සිග්නීස් සම්මාන උළලේදී හොඳම නිළිය සම්මානයත් ලැබෙනවා “ගරුඬමුහුර්ථය” ටෙලි නාට්‍යයට. ඉතින් මෙච්චර පොඩි කාලයක් ඇතුළේදී ඒ වගේ ඇචුව්මන්ට්ස් බලාපොරොත්තු වුණේ නැහැ. නමුත් ඒ වගේ සම්මානයට පාත්‍ර වෙන්න ලැබෙන එක ඕනෑම කෙනෙකුගේ හීනයක්. ඉතින් මේ ගමන ඇතුළේ මගේ ඒ හීනය සැබෑ කරගන්න ලැබුණ එක ගැන මම හරිම සතුටෙන් ඉන්නේ. හැබැයි මේ ආපු ගමන හරිම දුෂ්කරයි. මේ මොහොතෙත් මේ ගමන පොඩ්ඩක්වත් ලේසි නැහැ. ඒක තමයි ඇත්ත.


ෆැෂන්වලට මොන වගේ නැඹුරුවක්ද දක්වන්නේ?


ඒක නම් මට අදාළම ප්‍රශ්නයක් නෙවෙයි. මම කරන කැරැක්ටර් එකකට අදාළ විදිහට ෆැෂනබල් දේවල් කරනවා. එතැනින් එහාට මම කැමති සරල විදිහට ඉන්න. මේකප් කියලා මම දාන්නෙත් ලිප්ස්ටික් විතරයි. ඒක මම ළඟින් ඇසුරු කරන අය දන්නවා. මගේ ජීවිතේ ගොඩක් ගත වෙන්නේ මේකප්, ඇඳුම්, ෆැෂන් එක්ක නිසා ෂූටින් වලින් පස්සේ මට ඕනේ මම මමම විදිහට ඉන්න. මම කියන ඇත්ත මනුස්සයා ජීවත් වුණොත් තමයි වෙන කැරැක්ටර් එකක් දුන්නම මට ඒක හොඳට කරන්න පුළුවන් වෙන්නෙ. එහෙම නැතුව ඇත්ත ජීවිතෙත් මම රඟපාන්න ගියොත් මම කැරැක්ටර් එකක් රඟපාන්නේ කොහොමද කියලා මට හිතාගන්න අමාරුයි.


දැන්ම විවාහ වෙන්න අදහසක් නැද්ද?


දැන්ම විවාහ වෙන්න බෑනේ, එතකොට ගෙදරින් තියෙන මේ මානසික නිදහස නැතිවෙනවනේ. මට හිතෙනවා මේ මොහොතේ මම රුක්එසදබියසච එකට ගියොත් ඒ කෙනාටත් ඒකෙන් ලොකු අසාධාරණයක් වෙන්නේ කියලා. මොකද කොච්චරක් දුරට මාව දරා ගන්න පුළුවන්ද අන්න එච්චරක් සාර්ථකයි එකක්. මොකද මම ඉන්නේ ගොඩක් මිනිස්සුන්ගේ හැඟීම් එක්ක ගනුදෙනු කරන ෆීල්ඩ් එකක. එතකොට මම කරන්නේ චරිතයක් එක්ක ගනුදෙනු කරන එක. ඒකට මානසික නිදහස කියන දේ අත්‍යවශ්‍යම කාරණයක්. ඉතින් බලමු ඉස්සරහට ඒක කොයි මොහොතේ, කොයි විදිහට සිද්ධ වෙයිද කියලා මට දැන්ම කියන්න බැහැ.


මොනවගේ සහකරුවෙක්වද හොයන්නේ?


මානසික නිදහස අංක එකට දෙන, මාව විශ්වාස කරන, ආදරය ගොඩාක් ගොඩාක් දෙන කෙනෙක්ව. ඒ වගේම අපි කොච්චර පරිණත වුණත් අපේ ඇඟ ඇතුළේ පොඩි ළමයෙක් ජීවත් වෙනවානේ. අන්න ඒ පොඩි ළමයට හොඳට ටී්‍රට් කරන්න පුළුවන්, තමන්ගේ තාත්තා වගේ ආදරය කරන, රැකවරණයක් දෙන ආදරයක් තමයි මම බලාපොරොත්තු වෙන්නේ.


ඉදිරියේ විශේෂ බලාපොරොත්තු මොනවද?


ළඟම තියෙන බලාපොරොත්තුව තමයි තීක්ෂණ අනුරාධ අයියගේ රිලීස්වෙන්න තියෙන මියුසික් වීඩියෝ එක. සෑහෙන කාලෙක ඉඳලා මම අයියගේ රසිකාවියක්. මට ආසාවක් තිබුණා තීක්ෂණ අයියගේ නිර්මාණයකට දායක වෙන්න. ඉතින් සජිත අක්මීමන අධ්‍යක්ෂණය කරන ශ්‍රීනික අයියත් එකතු වෙලා ඒ ටීම් එකත් එක්ක එළියට එන මේ නිර්මාණය හරිම ලස්සනයි. ඉතින් මෙච්චර කාලයක් ගතවෙලා තමයි මගේ මේ ආසාවත් ඉෂ්ට වෙන්න යන්නේ.


පාරමී කෞෂිකා



Previous Post Next Post