රංගනය මයුර පෙරේරාව කණපිට හරවයි



 මොනයම් හෝ ක්‍රමයකින් තමන්ට ලැබෙන පුංචි ඉඩකඩේදී හෝ තමන්ගේ වැඩේ හරියට කරලා පෙන්වන්න පුළුවන් නළුවො අපට ඉන්නේ කීයෙන් කීදෙනෙක්ද? අන්න එහෙම තමන්ගේ වැඩේ හරියටම කරලා පෙන්වපු නළුවෙක් අපිට පසුගිය දවසක “පීවීආර්” සිනමා සංකීර්ණයේදී මුණගැසුණා. ඔහු රඟපෑ චිත්‍රපටයේ මංගල දර්ශනය නරඹන්න තමයි මෙයා ඇවිත් හිටියේ. චිත්‍රපටයේ නම සිහින නෙළුම් මල්. ඔහුගේ නම මයුර කාංචන පෙරේරා. මේ මයුරගේ කතාවයි.

සිහින නෙළුම් මල් හි අසංක වෙන්න ලැබුණේ කොහොමද?


මෙහි අධ්‍යක්ෂ ශමීර මේ චරිතය ගැන මට කතා කරලා කිව්වහම ඒ චරිතය මට නුපුරුදුත් නැහැ. මොකද අපිත් පසුගිය කාලයේ සටන් දේශපාලන ක්‍රියාකාරකම්වල රැඳීසිටිය චරිත. අපිටත් ඒ අත්දැකීම් තියෙනවා. නමුත් දරුවෙක් සම්බන්ධ තියෙන අත්දැකීම වෙනමම කාරණයක්. මම කොහොමත් කුඩා දරුවන්ට හරි ආදරෙයි වගේම පොඩි අයත් එක්ක වැඩ කරනවා. ඒ හින්දා මට මේ චරිතය ලොකු අභියෝගයක් වුණේ නෑ.


චිත්‍රපටයෙත් තිබුණේ අරගලකරුවකුගේ චරිතයක් නේද?


ඔව්. ඔව්. අරගලයට අපිත් සම්බන්ධ වුණා. හැබැයි ඒ දේශපාලන පක්ෂයක් නියෝජනය කරමින් නෙවෙයි, කලාකරුවො හැටියට අපි ස්වාධීනව අරගල කළේ. මේ පවතින ක්‍රමය වෙනස් වන සමාජ පරිවර්තනයක් වෙන්න ඕනෑ කියලයි අපි ඒ අරගලය සිදුකළේ. ඒක අලුත් දෙයක් නෙමෙයි. ඇත්තම කියනවා නම් ඒ චරිතය මට අභියෝගයක් නෙමෙයි. මම ගොඩක් කල්පනා කළේ ඒ අවස්ථාවයි. මොකද තමන්ගේ දරුවා සම්බන්ධයෙන් එන හැඟීමක් ඒ මොහොතේ දැනෙන්නේ කොහොමද කියන කාරණය ගැන තමයි හිතන්න වුණේ.


ඔබ වේදිකාවට සමීප චරිතයක් නේද?


ඇත්තම කිව්වොත් මගේ ගමන ආරම්භ වෙන්නේ වේදිකාවෙන්. මම වසර 2000 ඉඳලා සෝමලතා සුබසිංහ නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයෙක්. සෝමලතා සුබසිංහ, කෞෂල්‍යා ප්‍රනාන්දු, මගේ ගුරුවරු. ඉතින් ඒ අයගෙන් තමයි රංගනය සම්බන්ධයෙන් මගේ පළමු අත්දැකීම් ලබාගන්නේ.


වේදිකාවේ ජීවිතය කටුකයි නේද?


සෑහෙන කටුකයි. ඇත්තම කියනවා නම් ලංකාවේ වේදිකාවේ රඳාපවතින්න අමාරුයි. පුහුණුවීම් සඳහා නිෂ්පාදකවරුන්ට විශේෂයෙන් කියලා ගෙවීම් කරන්න සිද්ධ වෙන්නේ නැහැ. ලංකාවේ ප්‍රේක්ෂකාගාරය ටිකක් වෙනස් හින්දා නාට්‍ය දර්ශන වාරවලදී විශාල මුදලක් ගෙවන්න සිද්ධවෙන්නේ නැහැ. දැන් වෙනකොට වේදිකාවට ප්‍රේක්ෂකයො ඇදෙන ප්‍රමාණය අඩුවෙලා තියෙනවා නෙවෙයි කැටගරි එකට තමයි ගොඩක් ඕඩියන්ස් එක ඇදෙන්නේ.


පාසල් කාලයේ ඉඳලා කලාවට සම්බන්ධ ද?


ඉස්කෝලේ කාලේ මුකුත්ම කරලා නැහැ. චිත්‍ර විෂය විතරයි හැදෑරුවේ. සංගීතය, නැටුම් මොකුත්ම කරලා නැහැ. උසස් පෙළින් පසුව තමයි මට නළුවෙක් වෙන්න ඕනෑ කියලා හිතුණේ. ඒකත් එක්ක හොයාගෙන ගිය ගමනක් තමයි මේ.


ඉස්කෝලේ ගියේ, ගම් පළාත එහෙම කොහේද?


කොළඹ වේළුවන විද්‍යාලයට ගියේ. ගම මුල්ලේරියව, හිඹුටාන.


පසුගිය කාලයේ ඔබව පුංචි තිරයෙනුත් දකින්න ලැබුණා?


මට මුලින්ම ආරාධනා ලැබෙන්නේ ආනන්ද අබේනායක මහත්මයාගේ ටෙලි නාට්‍යවලට. එතැනින් තමයි මට කැමරාවක් එක්ක වැඩ කරන අත්දැකීම ලැබුණේ. ඊට පසුව මාණික්කාවත, පියාඹන මූනිස්සම් වගේ ටෙලි නාට්‍යවල රඟපෑවා. කෝලම් කුට්ටම තමයි මම දවස් පහම විකාශය වෙන ටෙලි නාට්‍යයක් හැටියට භාරගත්තේ. සද්ධා අයියා තමයි කතා කළේ. කෝලම් කුට්ටමෙන් මාව හුඟක් ජනප්‍රිය වුණා. හුඟදෙනෙක් මගේ නමින් අඳුරන්නේ නැහැ. මගේ සේන කියන චරිතයෙන් තමයි මාව මිනිස්සු අඳුරගන්න පටන් ගත්තේ.


සේන, ඔබේ කලා ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණා කිව්වොත්?


ඔව්. ඔව්. ඒක හැරවුම් ලක්ෂ්‍යයක්. විශේෂයෙන් මාව ජනයා අතරට යන්නට කෝලම් කුට්ටම ලොකු හේතුවක් වුණා. මම ඉතින් සෑහෙන සන්තෝෂ වෙනවා මොකද මිනිස්සු මඟතොටේදී මට කතා කරන්නේ මගේ නමින් වඩා, මම රඟපාන චරිතවල නම් වලින්. ඒ ගොල්ලන්ට මගේ නම මතක නැහැ. හැබැයි මම රඟපෑව චරිතය අඳුරනවා. මට හරි සන්තෝෂයි මම රංගන ශිල්පියෙක් විදිහට හරි සාර්ථකයි කියලත් හිතනවා.


රංගන ජීවිතය ගැන මොකද හිතෙන්නේ?


ඇත්තම කියනවා නම් සතුටුයි. මම මාව සම්පූර්ණයෙන්ම කණපිට හැරෙව්වා කියලා හිතනවා. රංගනය මයුර පෙරේරාව කණපිට හැරෙව්වා කියලත් කියන්න පුළුවන්. මම කුඩා කාලයේ පැත්තකට වෙලා හිටපු ළමයෙක්. රංගනය හැදෑරීමත් එක්ක මගේ පෞරුෂයේ විශාල වෙනසක් සිද්ධ වුණා. රංගන ශිල්පියෙක් විදිහට ප්‍රේක්ෂකයො මාව විඳිනකොට මාව භාරගන්න කොට ඒ චරිත ඔවුන් විඳින කොට මට ඒක පුදුම උත්තේජනයක් වුණා. ඒක තමයි අදටත් මාව මෙහෙම වර්ධනය කරන්න ශක්තිය ලැබෙන්නේ. මේ මොහොත වෙනකොට රංගන ශිල්පියෙක් විදිහට මම සෑහෙන සතුටුවන මට්ටමක ඉන්නවා කියලා හිතනවා. ඉදිරියේදී තව මට කරන්න ගොඩක් දේවල් තියෙනවා.


මයුර මේ වෙනකොට ආදරය විඳින චරිතයක් කියලත් ආරංචියි?


ඔව්. ආදරය දැන් වෙනකොට මට තියෙන සම්බන්ධතාවය ඇතුළේ විඳිනවා. ආදරය කියන එක විඳිනවා කියන එකට වඩා මට මේ මොහොත වෙනකොට එන්න එන්නම තහවුරු වෙනවා, ආදරය කියන එක මොකක්ද කියලා අවබෝධ වෙනවා. ආදර සම්බන්ධතාවයක් මොකක්ද කියන එක අවබෝධ වෙනවා.


ඒ ආදරය ඔබට දැනෙන්නේ දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියකගෙන් කියන්නේ?


නම් වශයෙන් කියන්න අවශ්‍ය නැහැ. ඇයත් රංගන ශිල්පනියක්. ඉතාම දක්ෂ නවක රංගන ශිල්පිනියක්.


දැන්ම විවාහය සිදුවේවිද?


අපි දෙන්නාගේම අදහස තමයි විවාහය කියන ලේඛනයට යටවෙලා ඉන්න වුවමනා නැහැ කියන එක.


ආදරය කොළයට සීමා කරන්න බැහැ. එහෙමද?


ඔව්. ඔව්. එහෙම දෙයකින් අපේ ආදර සම්බන්ධතාවය රඳාපවත්වා ගන්න වුවමනා නැහැ. ආදරය කියන්නේ එකක්, සම්බන්ධතාවය කියන්නේ තව එකක්. ඒ දෙක එකතු වෙන මොහොතක් එනවා. ඉතින් යම් මොහොතකදී අපිට හිතුණොත් අපිට එකට සම්බන්ධ වෙලා ඉන්න බැහැ කියලා, අපිට වෙන්වෙන්නත් ඉඩක් තියෙන්න එපායැ. මොකද අපි ලේඛනයකින් බොරුවට බාධකයක් හදාගන්නේ. අපිට ඉන්න පුළුවන් කියලා විශ්වාසයක් තියෙනවා නම් වෙන තහවුරු කිරීමක් අවශ්‍ය නැහැ. යම්කිසි මොහොතක එතැනින් ඉවත්වෙන්න ඕනෑ නම් එතැනට බාධකයක් ඕනෙත් නැහැ.


දිනේෂ් විතාන



Previous Post Next Post