අවසාන විනිශ්චය ඒක පුද්ගල විනිශ්චයක් – මහාචාර්ය සුනිල් ආරියරත්න



රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලට පරිබාහිරව මේ වනවිට විකල්ප සාහිත්‍ය සම්මාන උත්සව කිහිපයක් පැවැතියත් මෙරට විශ්වවිද්‍යාලයකින් පවත්වන එකම සාහිත්‍ය සම්මාන උළෙල ලෙස විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල හැඳින්විය හැකිය. මෙවර විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙලට සමගාමීව එහි සමාරම්භක පුරෝගාමියකු වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් එදවස විද්‍යෝදය සම්මාන උළෙල ගැන සිය මතකය අවදි කළේ මෙසේය.


විද්‍යෝදය සම්මාන උළෙලේ ආරම්භය…..

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය ආරම්භ වන්නේ දෙදාහ වර්ෂයේදීය. ආරම්භ වී වසර විසි හතරක් ගත වුවත් මෙවර පැවැත්වෙන්නේ පහළොස්වන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයයි.


“යම් යම් කාල පරිච්ඡේදයන්වලදී විවිධ ප්‍රශ්න නිසා මෙම උත්සවය පවත්වන්නට නොහැකි වුණා. එක් කාලයක් හිටපු කුලපතිවරයෙකුගේ කීමට සම්මාන උළෙල පමණක් නොව සියලුම වැඩසටහන් නැවැත්තුවා. ඔහු කිව්වේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයා විශ්වවිද්‍යාලයට එන්නේ ඉගෙන ගන්න පමණයි. වෙනත් කලා කටයුතු, බාහිර කටයුතු කරන්න නෙමෙයි. ඒ නිසා මේ දේවල් කරන්න දෙන්න බැහැ කියලා. ඒ විතරක් නෙමෙයි තව විවිධ හේතුව නිසා අවුරුදු ගණනාවක් අපට විද්‍යෝදය සම්මාන උළෙල පවත්වන්න වුණේ නැහැ.” යැයි සුනිල් ආරියරත්න මහතා පවසා සිටියේය.


විද්‍යෝදය සම්මාන උළෙල ආරම්භ වූයේ ඇයි?

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල අතිශය දේශපාලනික හා රාජ්‍ය නිලධාරීන්ට යටත්වී පැවැති යුගයක විකල්ප සාහිත්‍ය උළෙලක අවශ්‍යතාව තදින්ම දැනෙමින් තිබී ඇත. එවන් යුගයක විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සහ කුලපතිවරුන්ගේ මැදිහත්වීමෙන් විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල ආරම්භ විය.


දේශපාලනික මැදිහත්වීමකින් තොරව ඇරඹි මෙම උළෙලේ මුල් කාලීනව සාහිත්‍යකරුවන්ගේ දෙපා නමැඳ ඔවුන්ට ප්‍රණාම පුදමින් සම්මාන පිරිනමනු ලැබුවේ ද විශ්වවිද්‍යාල විද්‍යාර්ථයන් විසින්ය.


“රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමි වූ කෘති නිවැරදිව විශ්ලේෂණය කර බැලුවහොත් ඒ සම්මාන ප්‍රදානය සිදුවූයේ කුමන පාලන කාලයක ද කියලා හඳුනා ගන්න පුළුවන් තරමටම රාජ්‍ය සාහිත්‍ය සම්මානය දේශපාලනීකරණය වුණා. අන්න ඒ නිසයි විකල්ප සාහිත්‍ය සම්මාන උළෙලක් ආරම්භ කරන්න අවශ්‍ය වුණේ” යනුවෙන් ඔහු අප සමග පවසා සිටියේය.


පළමු විද්‍යෝදය සම්මාන උළෙලේ සම්මාන ලාභීන්…..

හොඳම නවකතාව – වරාමල්- ශාන්ති දිසානායක


හොඳම කාව්‍ය ග්‍රන්ථය – ඉම්පෙදෙස් – ආරියවංශ රණවීර


හොඳම ගේය කාව්‍ය සංග්‍රහය – මලින් මලට – කුමාරදාස සපුතන්ත්‍රී


විනිශ්චය විශේෂ වන්නේ ඇයි?

අනෙකුත් සියලුම සම්මාන උළෙලවල්හි තීරක මණ්ඩලයක් විසින් අවසාන තීරණය ගනු ලැබූවත් විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේ විශේෂත්වය වන්නේ අවසාන තීරණය තනි පුද්ගලයකු විසින් ගනු ලැබීමය.


සම්මාන උළෙල සඳහා යොමු කරන ග්‍රන්ථ අධ්‍යයනයෙන් එම එක් එක් ඉසව් සඳහා පත් කරනු ලැබූ ආචාර්යවරුන් විසින් වට දෙකකින් හෝ තුනකින් අවසාන නිර්දේශිත ග්‍රන්ථ තෝරාගන්නා අතර තනි පුද්ගල විනිශ්චයකින් අවසාන තීරණය ගනු ලබයි.


සෑම විටම විනිවිද භාවයකින් ක්‍රියා කරන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙලේදී ඒ ඒ ඉසව් සඳහා යොමු කරන ලද කෘති සහ ඒ කෘති අතරින් සම්මාන සඳහා නිර්දේශිත කෘති තේරී පත් වූයේ ඇයි ආදිය පිළිබඳව කෙටි සමාලෝචනයක් විනිශ්චයකරුවා විසින් පවත්වනු ලබයි.


“මේ සම්බන්ධයෙන් විචාරකයන් විවිධ ප්‍රශ්න මතු කළා. නමුත් මෙම සම්මාන ප්‍රදානය සම්බන්ධයෙන් සීයට අනූපහක්ම නිවැරදි විනිශ්චයක් අපේ විනිසුරුකරු සපයලා තිබෙනවා. මට මතක් වෙන කාරණාවක් තිබෙනවා. ඒ මුල්ම වතාවට මස්ඉඹුලගේ දක්ෂතා හඳුනා ගන්නේ විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙලින්. ඔහුගේ සෙංකොට්ටන් නවකතාවට මුල්ම සම්මානය ප්‍රදානය කරන්නෙත් අපි. ඉන් පසුවයි ඒ සඳහා අනෙක් සම්මාන හිමිවෙන්නේ. ස්වර්ණ පුස්තක සම්මානය කියන්නේ විශාල පිරිසක් එකතුවෙලා විනිශ්චය කරන ඉසව්වක්. නමුත් 2012 වර්ෂයේ ඔවුන් සම්මානය දෙන්නේ සෙංකොට්ටන් නවකතාවට නෙමෙයි. ඒ කියන්නේ ඒ සියලුම දෙනාට වැරදුනා කියන එකනේ” යැයි සුනිල් ආරියරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


විද්‍යෝදය සම්මාන උළෙලෙන් ඇරඹෙන සාහිත්‍ය මාසය…

සාහිත්‍ය මාසය ආරම්භය, සාහිත්‍ය සම්මාන උළෙලවල් ආරම්භය සිදුවෙන්නේ විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙලත් සමගය. සෑම වසරකම සැප්තැම්බර් මස පළවන දින මෙම සම්මාන උළෙල පැවැත්වූවත් මෙවර එය ඔවුන් සැප්තැම්බර් තුන්වන දිනට යොදා ගෙන ඇත.


“අපි සැප්තැම්බර් පළවෙනිදා සම්මාන උළෙල පවත්වනවා. අපි එහෙම කරන්නේ අනිත් අයගේ විනිශ්චය බලලා අපි විනිශ්චය දුන්නා කියන චෝදනාව නොයන්න. සෑම වසරකම මුල්ම විනිශ්චය අපි තමයි දුන්නේ.


මට මතක සිදුවීම් කිහිපයක් කියන්නම්. 2001 වර්ෂයේ පරාක්‍රම කොඩිතුවක්කුගේ ලොවි කහට කාව්‍ය සංග්‍රහයට අපි සම්මානය දුන්නා සහ අනෙකුත් සියලුම සම්මාන හිමි වුණේත් ඔහුට. 2002 වර්ෂයේ නන්දන වීරසිංහගේ මහත් සඳ පිනි බිඳෙක කාව්‍ය සංග්‍රහයට සම්මානය හිමිවුණා සහ අනෙකුත් සම්මාන හිමි වූයේත් එයට. බටුවන්ගල රාහුල ස්වාමින් වහන්සේගේ බොරතෙල් පොතට අපි සම්මානය දුන්නා. ඒ වසරේ අනෙකුත් සම්මාන හිමිවූයේත් එයට.


අපේ විනිශ්චය ඒක පුද්ගල කියලා විචාරකයන් ප්‍රශ්න කරාට අපි සියයට අනූපහක් නිවැරදි විනිශ්චයන් ලබාදීලා තිබෙනවා” යැයි ඔහු පැවසුවේය.


පුවත්පත් ලිපි එකතුවට විද්‍යෝදයෙන් ඇගයීමක්…

රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ පවා අවධානයට ලක් නොවූ ක්ෂේත්‍රයක් කෙරෙහි විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙලේ අවධානය යොමු විය. එනම් වසරේ හොඳම පුවත්පත් ලිපි එකතුව හෝ තීරුලිපි එකතුව සඳහා සම්මාන ප්‍රදානය ආරම්භ කළේද විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙලේදීය. ඉන්පසුව ගොඩගේ සාහිත්‍ය සම්මාන උළෙලේ ද මේ සඳහා සම්මාන ප්‍රදානයක් ආරම්භ කෙරිණි.


“අපි මෙහෙම දෙයක් ආරම්භ කරන්න ප්‍රධානම හේතුව අදටත් සම්මාන උළෙලක කිසියම් පුවත්පතක පළ වුණු ලිපි එකතුවක් තිබුණොත් ඒක කුණු කූඩයට දානවා. ඒක හරිම අහේතුක කාරණාවක්. මොකද පුවත්පත්වල මොනතරම් සාරවත් ලිපි පළවෙනවාද? ඒ සාරවත් ලිපි පොතක පළ වුණාම ඒ පොත කුණු කූඩෙට දාන්නේ මොන හේතුවක් මතද? අන්න ඒ නිසයි අපි මේ තරග ඉසව්ව පටන් ගත්තේ. අදටත් බොහෝ දෙනාගේ ප්‍රශංසාවට පත්වන තරග ඉසව්වක් තමයි මේක.” යැයි එතුමා සඳහන් කළේය.


විශ්වවිද්‍යාලයෙන් ලැබෙන දායකත්වය…

විද්‍යෝදය සම්මාන ප්‍රදානෝත්සවය ආරම්භ වූයේ සිංහල අධ්‍යනාංශය මූලික කර ගනිමින්ය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ මූලිකත්වයෙන් මෙය ආරම්භ විය. මේ වන විට මානව ශාස්ත්‍ර පීඨය හා සමාජීය විද්‍යා පීඨයේ පීඨාධිපතිවරුන්, ආචාර්යවරුන් සහ විද්‍යාර්ථයන් සියලුම දෙනාගේ දායකත්වයෙන් මේ වනවිට මෙම සම්මාන ප්‍රදානෝත්සවය පවත්වාගෙන යනු ලබයි. අධ්‍යයන කටයුතුවලින් පරිබාහිරව පැවැත්වෙන සම්මාන උළෙල සඳහා තම කාලය, ශ්‍රමය වැය කරමින් ස්වේච්ඡාවෙන් මෙම දුෂ්කර කාර්ය ඔවුන් සියලු දෙනා එක්ව සංවිධානය කරනු ලබයි.


“සිංහල අධ්‍යයන අංශය පටන් ගත්තට එක් වර්ෂයක සිංහල අධ්‍යයනය අංශයේ ආචාර්යවරියකගේ වැරදි විනිශ්චයක් සම්බන්ධයෙන් කළ නොමනා ක්‍රියාවක් නිසා මෙය සමාජයේ විද්‍යා පීඨයට පවරගත්තා. නමුත් එම පවරා ගැනීමෙන් සම්මාන උළෙලට සිදුවුණේ යහපතක්. වර්තමානයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨ දෙකම එකතු වෙලා මෙය පවත්වන්නේ. වර්තමානයේ මම විශ්වවිද්‍යාලයේ නැහැ. නමුත් මහාචාර්ය හීන්කෙන්ද මහතා ශාස්ත්‍ර පීඨයේ ප්‍රධානී තුමා මහත් උද්‍යෝගයකින් සහ විනිවිද භාවයකින් යුතුව මෙය පවත්වාගෙන යනවා. දෙදාහ වර්ෂයේ මම ඇතුළු පිරිස මූලික වෙලා ආරම්භ කරපු මේ සාහිත්‍ය උළෙල සාර්ථකව පවත්වාගෙන යනවා දකින එකම මට ලොකු සතුටක්” යැයි මහාචාර්යතුමා නිහතමානීව සඳහන් කළේය.


මුහුණ දුන් අභියෝග…

වර්තමානය වන විට තරග ඉසව් සඳහා අවශ්‍ය පොත්පත් ලබාදීම ප්‍රකාශන ආයතන මගින් සිදු කරනු ලැබූවත් අතීතයේ පොත්පත් මිලදී ගැනීම පවා සිදුකරනු ලැබුවේ සංවිධායක මණ්ඩලයේ මුදල් යොදවමින්ය. අතීතයේ ඔවුන්ගේ මුදල් යොදවමින් නිර්මාණ කළ සම්මාන සඳහා ද වර්තමානය වන විට අනුග්‍රාහකත්වය ලබා දෙන්නේද ප්‍රකාශන ආයතන මගින්ය. තවද විශ්වවිද්‍යාලයේ පූර්ණ අනුග්‍රහය මේ වන විට විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල සතුය.


“එදා අපි පළවෙනි සම්මාන උළෙල පැවැත්වූයේ අතින් වියදම් කරලා. විශ්ව විද්‍යාලයෙන්වත් අපට අනුග්‍රහයක් ලැබුණේ නැහැ. ඒ සඳහා ලෝකඩ සම්මානයක් නිර්මාණය කළොත් අපි අතින් වියදම් කරලා. තරග විනිශ්චය කළෙත් අපිමයි. වර්තමානය වන විට අපිට ප්‍රකාශන ආයතන සහ විශ්වවිද්‍යාලය පූර්ණ අනුග්‍රහය දක්වනවා සම්මාන සඳහා වගේම පොත්පත් ලබාදීමෙන්” යැයි වැඩිදුරටත් සුනිල් ආරියරත්න මහතා පවසා සිටියේය.


සාහිත්‍ය උළෙලෙන් පසු පොත්වලට වෙන දේ…

මෙම සම්මාන ප්‍රදානය සඳහා ප්‍රකාශන ආයතන විසින් ලබාදෙනු ලබන සියලුම පොත් සම්මාන උළෙල අවසාන වීමෙන් පසු විශ්වවිද්‍යාල පුස්තකාලය වෙත ලබාදීම සිදුකරනු ලබයි.


“මේ සඳහා ඉදිරිපත් කරන සියලුම පොත් සම්මාන උළෙලෙන් පසු විශ්වවිද්‍යාලයේ පුස්තකාලයට භාර දෙනවා. එමගින් පුස්තකාලයේ යාවත්කාලීන වීමක් වගේම එම පොත්පත් පරිහරණය තුළින් විද්‍යාර්ථයන්ගේ දැනුමට යමක් එකතු වීමකුත් සිදුවෙනවා” යැයි මහාචාර්යවරයා පැවසුවේය.


නිර්මාණකරුවෙක් ඉදිරියේදී සාර්ථක නිර්මාණ බිහිකරන්නට නම් ඔවුන්ගේ මහන්සියට හා උත්සාහයට සුදුසු ඇගයීමක් හිමිවිය යුතුමය. එවන් අරමුණු පෙරදැරිව ඇරඹි සම්මාන උළෙලවල් අනාගතයේ සාර්ථක නිර්මාණකරුවකු බිහි කරන්නට පන්නරයක් වන්නේද නිතැනින්ය.


චින්තනී වික්‍රමනායක




Previous Post Next Post