ටෙලි නාට්‍ය නිසා වේදිකාවේ ඉඩ නැති කරගන්නේ නැහැ-ඉමා වීරසූරිය



ටී.වී දෙරණ නාළිකාවේ විකාශය වන සංගීතේ ටෙලි නාට්‍යයේ පොඩ්ඩිගේ චරිතය වෙනස් විදිහට ආපහු ටෙලි නාට්‍යයට එකතුවෙලා තියනවා. වෙනස් වුණ පොඩ්ඩිගේ චරිතය රඟපාන්නෙ වේදිකා නාට්‍යය සහ ටෙලි නාට්‍යය රංගන ශිල්පීනී ඉමා වීරසූරිය විසින්. ඉතින් සංගීතේ පොඩ්ඩි වුණ අත්දැකීම ගැන දැනගන්න ඉමා එක්ක කතා කරන්න අපි හිතුවා.




ඉමා ගැන විස්තර ටිකක් කියමුද?




මේ වෙද්දි මට වයස අවුරුදු 28 යි. පදිංචිය රඹුක්කන.සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් නාට්‍ය හා රංගකලාව පිළිබඳ විශේෂ උපාධිය හදාරලා මේ වෙද්දි වෘත්තීමය රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කරනවා.


රංගන ක්ෂේත්‍රයට ආ‍ෙව් කොහොමද?




නාට්‍යය හා රංගකලා උපාධිය හදාරන අතරතුර වේදිකා නාට්‍යයවල රඟපාන්න අවස්ථාව ලැබුණා. වේදිකා නාට්‍ය නිළියක් විදිහට ප්‍රසිද්ධ වීමත් සමග ටෙලි නාට්‍යවලින් ආරාධනා ලැබුණා. මේ වෙද්දි රාවණා සීසන් 1, පොදු සීසන් 1, ඇස්, බයෝ සීසන් 3, මිහි, අළු පාට දේදුනු යානාදී ටෙලි නාට්‍යයවල රඟපාන්න අවස්ථාව හම්බ වුණා. ඒ වගේම එස්.අයි. සමරක්කොඩි අධ්‍යක්ෂණය කරපු ලංකාවෙ පළමුවැනි වන්ටේක් චිත්‍රපටය හෙලෝ සිනමාපටයෙත් ප්‍රධාන නිළිය විදිහට රඟපෑවා.




රංගනයට පවුලෙන් ලැබුණ සහයෝගය මොන වගේද?




මගේ තාත්තා නැතිවෙලා දැනට අවුරුදු හයක් වෙනවා. අම්මයි මල්ලියි මගේ බලු පැටියා ෂැඩෝ එක්ක තමයි මම ජීවත්වෙන්නෙ. ඉතින් ඉස්සර ඉඳලා අම්මගෙයි තාත්තගෙයි තිබුණ හීනයක් තමයි මාව කලාකාරීනියක් කරන්න. ඔවුන්ගේ හීනය සැබෑ කරන්න තමයි මම නාට්‍ය හා රංගකලා විශේෂ උපාධිය හදාරලා වෘත්තීමය රංගන ශිල්පිනියක් විදිහට කටයුතු කරන්නෙ.




සංගීතේ පොඩ්ඩි වෙන්නෙ කොහොමද?




ටී.වී දෙරණ නාලිකාවේ උප සභාපති ලක්සිරි වික්‍රමගේ සර් තමයි සංගීතේ ටෙලි නාට්‍යයේ පොඩ්ඩිගේ චරිතයට මට ආරාධනා කෙරුවෙ. මීට කලින් පොඩ්ඩිගේ චරිතය රඟපාපු නිළිය අයින් වුණ නිසා සංගීතේ ටෙලි නාට්‍යයෙනුත් පොඩ්ඩිගේ චරිතය අයින් කරලා තිබුණෙ. ඉතින් ලක්සිරි සර් මට කතාකරලා කිව්වා පොඩ්ඩිගේ චරිතය වෙනස් විදිහට ආපහු ටෙලි නාට්‍යයට එකතු කරනවා මට චරිතය රඟපාන්න භාරගන්න පුළුවන්ද කියලා. ඉතින් ලක්සිරි සර්ගේ ආරාධනයෙන් අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස් අයියගේ උපදෙසුත් ඇතුව සංගීතේ පොඩ්ඩි වුණා.




පොඩ්ඩිගේ චරිතය කලින් රඟපෑවෙ වෙනත් නිළියක් නිසා අභියෝගයක් නැද්ද?




පොඩ්ඩි විදිහට කලින් වෙනත් නිළියක් ප්‍රේක්ෂකයො අඳුරගෙන හිටිය නිසා මට පොඩ්ඩි වෙන එක තරමක් අභියෝගයක් වුණා. හැබැයි පොඩ්ඩිගේ චරිතය ආපහු සංගීතේට එකතුවෙන්නෙ වෙනස් විදිහෙ හැඩයකින්. පරණ පොඩ්ඩිට වැඩිය චරිතයේ ස්වභාවය වෙනස්වීමත් එක්ක මට චරිතයට පහසුවෙන් අනුගත වෙන්න ලැබුණා. ඒ වගේම සංගීතේ කියන්නේ දීර්ඝ මාලා නාට්‍යයක්. දීර්ඝකාලීනව විකාශනය වෙන නිසා චරිතවල නළු නිළියන් වෙනස් වෙන එක සාමාන්‍ය දෙයක්. මීට කලින් ටෙලි නාට්‍යයවල රඟපාලා තිබුණට මම දීර්ඝ මාලා ටෙලි නාට්‍යයවල රඟපාලා තිබුණෙ නැහැ. ඉතින් නිළියක් විදිහට මට ලැබුණ අවස්ථාව වටින අත්දැකීමක් කරගත්තා.


කොහොමද අලුත් පොඩ්ඩිට ලැබෙන ප්‍රතිචාර?




පොඩ්ඩිගේ චරිතය රඟපාපු පරණ නිළියම බලාපොරොත්තුවෙන් ඉන්න ප්‍රේක්ෂකයොත් ඉන්නවා. හැබැයි දැනට ලැබෙන ප්‍රතිචාර අතරින් අලුත් පොඩ්ඩිව සෑහෙන්න ප්‍රේක්ෂකයො පිරිසක් වැලඳගෙන ඉන්නවා.




සංගීතේ වගේම ජානු සහ රජ ගෙදර ටෙලි නාට්‍යවලත් මේ දවස්වල ඉමා රඟපානවා...




මේ දවස්වල සංගීතේ පොඩ්ඩි විදිහටත් ජානුවල නිසලි විදිහටත්, රජ ගෙදර නිශා විදිහටත් රඟපානවා. මේ චරිත තුනම එකිනෙකට ගොඩක් වෙනස්. චරිත එකකට එකක් සමාන විදිහට පේන්නෙ නැතුව රඟපාන එක ඇත්තටම ලොකු අභියෝගයක්.



ටෙලි නාට්‍ය නිසා වේදිකාව මගහැරෙයිද?




රංගන ජීවිතයේ ආරම්භය වේදිකාව. මේ වෙද්දිත් වේදිකාව එක්ක වැඩ කටයුතු කරගෙන යනවා. පහුගිය දවස්වල තිබුණ යෞවන නාට්‍යය සම්මාන උළෙලෙදි චමෝදි දයාවංශ අධ්‍යක්ෂණය කරපු මං ඇතුළෙ ඝාතකයෙක් කියන වේදිකා නාට්‍යයේ කරපු රංගනය වෙනුවෙනුත් මට හොඳම සහාය නිළියට හිමි සම්මානය ලැබුණා. ටෙලි නාට්‍යය නිසා මම කවදාවත් වේදිකාවට තියන ඉඩ නැති කරගන්නෙ නැහැ. සමබරව චරිතාංග වේදිකා නාට්‍යය සහ ටෙලි නාට්‍ය නිළියක් විදිහට කටයුතු කරගෙන යන්නයි මගේ බලාපොරොත්තුව.




සැබෑ ජීවිතයේ මොනවගේ කෙනෙක්ද?




කාටවත් කරදරයක් නැතුව සරලව පාඩුවෙ ජීවත්වෙන්න කැමැති කෙනෙක්.



ආදරය ගැන මොකද හිතන්නෙ?




ආදරය කියන්නෙ ඇත්තටම වචනයෙන් විස්තර කරන්න බැරි ලස්සන හැඟීමක්. හැම වයසකදිම අපි ආදරය බලාපොරොත්තු වෙනවා වගේම ආදරණීයන් එක්ක ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා.




ආදරය විරහව වගේ දේවල් විඳලා තියනවද?




ඔව්, ආදරයත් විඳලා තියනවා. විරහවත් විඳලා තියනවා. මනුෂ්‍ය ජීවිතයේදි ආදරය වගේම විරහා වේදනාවත් හරි සුන්දර දෙයක්.




Previous Post Next Post