මම කොන්දේසි විරහිතව ආදරේ කරන කෙනෙක් නයනි රාමනායක

 



නයනි රාමනායක කියන්නේ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක්. මේ දිනවල ඇය ප්‍රේක්ෂකයින් අතරට එන්නේ බේකරි ගෙදර සපුමලි, එහෙමත් නැත්නම් රොකි නාට්‍යයේ යශෝ ලෙසින්. එකිනෙකට වෙනස් වූ චරිත තුළින් ප්‍රේක්ෂකයින් අතරට එන නයනි රාමනායක සමඟ කළ සොඳුරු කතාබහයි මේ….


නයනි කොහොමද ජීවිතේ?


ජීවිතේ හොඳයි. හැමෝටම ජීවිතවල අමාරු කාල එනවා. ඒ වගේ තමයි මගේ ජීවිතේටත් විවිධාකාර ප්‍රශ්න එනවා. මේ දවස් වල ඔළුවට ප්‍රශ්න වැඩියි. ඉස්කෝලේ යන කාලේ ඉඳන් කියන දෙයක් තමයි ‘නැව ගිලුනත් බෑන් චූන්. තව ගිලුණත් තවත් චූන්‘ කියලා. ඒ වගේම තමයි මම වෘත්තීය වශයෙන් රංගන ශිල්පිනියක් සහ රූපලාවණ්‍ය ශිල්පිනියක්. රූපලාවණ්‍ය පැත්තෙන් නම් මට ප්‍රශ්න එන්නේ නැහැ. රංගන ජීවිතේ නම් මට ප්‍රශ්න එනවා. ඒ ප්‍රශ්න සහ පෞද්ගලික ජීවිතේ ප්‍රශ්නත් එක්ක වුණත් මම සතුටින් ඉන්නවා.


මේ දවස් වල මොකද වෙන්නෙ?


අලුත් නිර්මාණ කිහිපයකටම දායක වුණා. ඒ නිර්මාණ එන්න තියෙනවා. මේ දවස් වල විකාශය වෙන්නේ දෙරණ නාළිකාවේ බේකරි ගෙදර. මම එහි සපුමලිගේ චරිතය කරන්නේ. ඒ කියන්නේ මද්දුගේ චරිතය. ඒ එක්කම අලුතින් විකාශය වෙන්න පටන් ගත්තා සිරස නාළිකාවේ රොකි නාට්‍යය. එහි යශෝගේ චරිතය කරන්නෙත් මම.


කොහොමද ලැබෙන ප්‍රතිචාර?


ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉස්සරට වඩා දැන් මිනිසුන් මාව හඳුනා ගන්නවා. ඔවුන් මම කරන රංගනයන් ආදරෙන් වැලඳ ගෙන තියෙනවා. මම ගොඩක් වැඩ කරලා තියෙන්නේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් එක්ක. විශේෂයෙන්ම කියන්නම ඕනේ ප්‍රවීණයින් පුදුම නිහතමානී අය සහ ඒ අයගෙන් මට ඉගෙන ගන්න ගොඩක් දේවල් තිබුණා. මට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර නිහතමානිව භාර ගන්න පුරුදු වුණේ ප්‍රවීණයින් ඇසුරේ නිර්මාණ කරන්න ලැබුණු නිසා.


වැඩියෙන්ම ප්‍රතිචාර ලැබුණු නිර්මාණය මොකක්ද?


දෙරණ නාළිකාවේ විකාශය වුණු ‘දෙකොන් මාරු‘ ටෙලි නාට්‍යයේ මන්දාකිණි කියන ප්‍රධාන චරිතයට තමයි ගොඩක්ම ප්‍රතිචාර ලැබුණේ. අදටත් ගොඩක් දෙනා කතා කරන්නේ මන්දාකිණි කියලා. පොඩි ළමයි ආදරෙන් වැලඳ ගත්ත චරිතයක්. ඒ එක්කම සිරස නාළිකාවේ විකාශය වූ චන්දෝලි නාට්‍යයේ පුන්නිටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. ක්ෂේත්‍රයේ ඉන්න ගොඩ දෙනෙක් පුන්නිගේ චරිතය තුළින් මම කළ රංගනය අගය කළා. පුන්නි කියන්නේ මමත් පෞද්ගලිකව ආස කළ චරිතයක්.


සිනමාවට ලැබුණු අවස්ථා මොනවද?


මගේ ප්‍රථම සිනමා අත්දැකීම තමයි කම්බිලි. මේ දිනවල කම්බිලි තිරගත වෙනවා. කම්බිලි චිත්‍රපටයේ සමාධිට රඟපෑ නෙත්මි රොෂෙල්ගේ යාළුවට මම හිටියේ. මාව සිනමාවට ගෙනාවේ නිශාන්ත ජයවර්ධන මහතා. මගේ දෙවැනි සිනමා නිර්මාණය මේ දිනවල රූ ගත කෙරෙනවා. ගිරිරාජ් කෞශල්‍ය මහතාගේ තිර රචනයට ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා අධ්‍යක්ෂණය කරන කාසි වාසි. ක්ෂේත්‍රයේ දැවැන්තයින් ගොඩක් ඉන්න ලස්සන වැඩක්. මාව ඒකට ගත්තේ ශ්‍රී ලාල් අයියා.


චරිතවලට සීමා තියෙනවද?


මම එහෙම සීමාවන් දාගෙන නැහැ. හොඳ රංගන ශිල්පිනියක් නම් ඕනෙම චරිතයක් කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. අපි ඒ චරිතයට කොයි තරම් සාධාරණයක් කරනවද කියන එක තමයි වැදගත් වෙන්නේ. අපි ඉන්නේ තිරයේ තත්පර ගාණක් වෙන්න පුළුවන්. ඒත් ප්‍රේක්ෂක මනසට යමක් දෙන්න පුළුවන් නම් එතැන තමයි රංගන ශිල්පියා හෝ ශිල්පිනිය ඉන්නේ. ඒ නිසා මගේ ලොකු ලොකු සීමාවන් නැහැ. සරාගී චරිත වලදී යම්කිසි සීමාවන් තියෙනවා. ඒ හැරෙන්න වෙන සීමාවන් නැහැ.


ගොසිප්වලට බය ද?


නැහැ මම පොඩ්ඩක්වත් බයත් නැහැ. දුකත් නැහැ. කතාවටත් කියනවනේ පල ඇති රුකටනේ ගල් ගහන්නේ කියලා. අපි මොනවා හරි දෙයක් කරද්දී තමයි මිනිස්සු කතා හදන්නේ. අපි හුදෙක් මැරුණු මනුස්සයෙක් විදියට මේ සමාජයේ ඉන්නවා නම් කතා හදන්නේ නැහැ. අපිට කතාවක් හදනවා කියන්නෙම අපි දැනෙන්න යමක් කරලා තියෙනවා කියන එක. මගේ හෘද සාක්ෂිය දන්නවා මම කවුද කියලා. මම කරන්න බැරි දෙයක් කියන්නෙත් නැහැ. කියන්න බැරි දෙයක් කරන්නෙත් නැහැ. මම කෙළින් කතා කරන කෙනෙක් නිසා හතුරන් වගේම මිතුරන් ඉන්නවා. හැබැයි මට හොඳම යාළුවෙක් හෝ නරකම හතුරෙක්වත් නැහැ. මොන කතා කිව්වත් මගේ ගමන මම සතුටින් යනවා.


ආදරේ දකින්නෙ කොහොමද?


ආදරේ කියන්නේ පූජනීය හැඟීමක්. ආදරේට පුළුවන් මනුස්සයෙක් ජිවත් කරවන්න වගේම මනුස්සයෙක්ව මරන්න. මම ත් ආදරේ කරපු කෙනෙක්. විටෙක මම ආදරේ කරන කෙනෙක්. ඒ ආදරේ තුළ මම ආදරේ කරන කෙනාට කොන්දේසි විරහිතව ආදරේ කරන කෙනෙක්.


ආදරේ ගැන තියෙන්නෙ මොන වගේ අත්දැකිම් ද?


මට අවංක ආදරයක් මේ වෙනකම් මගේ දෙමාපියන්ගෙන් හැරෙන්න ලැබිලා නැහැ. ආදරේ ලැබිලා තියෙනවා. කොන්දේසි විරහිත ආදරයක් මට ලැබිලා නැහැ. වංචා සහගත දේවල් තිබ්බා. ආදරේ ඕනෙම ද කියලා හිතෙන තැනට හිත රිදිලා තියෙනවා. ඒ වුණත් මම හරි සංවේදී කෙනෙක්. ඒ නිසා හැමදේම දරාගෙන ජීවත් වෙනවා. මම ආදරේ කරන කෙනාට අම්මා කෙනෙක් වගේ ආදරේ කරනවා. අම්මා කෙනෙක් වගේ බලාගන්නවා. වැරැද්දක් දැක්කොත් මම කෙළින් කියනවා. මම ආදරේ නිසා දුන්නු දේවල් ගොඩයි මට ලැබුණු දේවල්වලට වඩා. මගේ ආදරේ යම් කිසි කෙනෙක්ට මඟ හැරුණා නම් මම හිතන්නේ ඒ කෙනා අවාසනාවන්තයි. මොකද මම ආදරේ කරපු කෙනාට මම උපරිමයෙන් ආදරේ කරලා ඇති. මම ආසයි කොන්දේසි විරහිත ආදරයකට. හැබැයි මට කවදාවත් එහෙම ආදරයක් ලැබිලා නැහැ.


පෞද්ගලික ජීවිතේ තොරතුරු මොනවද?


රංගනය සහ රූපලාවණ්‍ය මගේ වෘත්තීය විදියට කරගෙන යනවා. මම ගොඩක්ම කරන්නේ වෙළඳ දැන්වීම්වල අංග රචන වැඩ. ටෙලිනාට්‍යය නම් එකක වගේ තමයි අංග රචන වැඩ කළේ. සෝෂල් මිඩියා කමර්ෂල් වැඩවල ගොඩක් මේකප් කරන්නේ මම. ඒ දේවල් මම ආසාවෙන් කරනවා. පොඩි කාලේ ඉඳන් ආසාවෙන් කරන දෙයක්. ගොඩක් අය දන්නේ නැහැ මම මේකප් ආටිස් කෙනෙක් කියලා. කමර්ෂල් ෆීල්ඩ් එකේ ඉන්න අය නම් දන්නවා. මම මේක පබ්ලිෂ් කරන්නේ නැති තරම්. මම ආසාවෙන් ඉන්නේ මගේම සැලෝන් එකක් දාන්න. ඒ හැර මම මගේ උසස් අධ්‍යාපන කටයුතු කරගෙන යනවා. දෙසැම්බර් විභාගයක් තියෙනවා. ඒ වෙනුවෙන් කටයුතු කරනවා.


ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?


මගේ වෘත්තිමය ජීවිතේට නම් ගෙදරින් ලැබෙන සහයෝගය හරිම අඩුයි. මම තනියම හැදුණු කෙනෙක්. අදටත් මම කොහේ ගියත් තනියම ඉන්න කැමති කෙනෙක්. මගෙ තාත්තා විශ්‍රාමලත් පොලිස් පරීක්ෂකවරයෙක්. තාත්තා අනතුරක් වෙලා එක තැන ඉන්නේ. අම්මා විශ්‍රාමලත් ගුරුවරියක්. තාත්තගේ වැඩ ඔක්කොම බලාගෙන ගෙදර ඉන්නේ අම්මා. අම්මා තාත්තා සහ මම විතරයි පවුලේ ඉන්නේ.


අනුෂා රණසිංහa



Previous Post Next Post