බීමතින් සයිකල් පැද්ද BTS කණ්ඩායමේ සුගාට මොකද වෙන්නේ?




ලෝක ප්‍රකට BTS සංගීත කණ්ඩායමේ ජනප්‍රිය සාමාජිකයකු වන සුගා (Suga)ට එම කණ්ඩායමෙන් ඉවත් වීමට සිදු වෙයි ද? මේ පසුගිය දිනවල – BTS රසික රසිකාවියන් තුළ ලොකු කුතුහලයක් ඇති කළ කාරණයක්.


මෙවැනි ප්‍රශ්නයක් මතු වූයේ ඔහු බීමත්ව තම විදුලි ස්කූටරය පදවා පොලිසියට හසුවීමේ සිද්ධියක් හේතුවෙනුයි. මේ නිසා ඔහුට එරෙහිව විමර්ශනයක් ද ආරම්භ වුණා. මෙවැනි නීති විරෝධී කටයුත්තක වැරදිකාරයකු වීම නිසා ඔහුට තවදුරටත් BTS කණ්ඩායමේ සාමාජිකත්වය දැරීමට නොහැකි වේවි ද යන කුතුහලයක් බොහෝ දෙනෙකු තුළ ඇති වූ බව පෙනුණා. මාධ්‍ය තුළ පවා මෙම ප්‍රශ්නය සාකච්ඡාවට ලක් වනු දකින්නට ලැබුණා. එවැනි කෙනෙකු කණ්ඩායම තුළ සිටීම කණ්ඩායමට කැළලක් විය හැකි නිසා සුගාට BTS කණ්ඩායමෙන් ඉවත් වීමට සිදුවනු ඇති බව යි ඇතැමුන් පැවසුවේ.  


මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනයෙන් පසු සුගාට වසර කිහිපයක සිර දඬුවමක් පවා නියම වීමට ඉඩ ඇති බවටත් අදහස් පළ වී තිබෙනු දකින්නට ලැබුණා. ඇතැම් මාධ්‍ය වාර්තාවලින් පැවසුණේ ඔහුට ලොකු දඩයක් ගෙවීමට සිදුවනු ඇති බවයි. එය සමහර විට කොරියානු වොන් මිලියන 10-20ත් අතර දඩයක් විය හැකි බවයි ඇතැමුන් අනුමාන කර තිබුණේ. ලංකා මුදලින් මෙය රුපියල් ලක්‍ෂ 20 – 40ත් අතර මුදලක්.


සුගා මේ ආකාරයෙන් බීමත්ව ස්කූටරය පදවා තිබුණේ තවමත් හමුදාවේ සේවය කරමින් සිටිය දී වීමත් අමතක කරන්න බැහැ. ඒ නිසාත් මෙම වැරැද්දෙහි බරපතළ බව තවත් වැඩි වෙනවා. BTS කණ්ඩායමේ සාමාජිකයන් සියලු දෙනාම පසුගිය කාලයේ හමුදා සේවයට එක් වූ බව රහසක් නොවෙයි. වයස අවුරුදු 18ට වැඩි නීරෝගී පිරිමින් කිසියම් කාලයක් හමුදාවේ සේවය කළ යුතුය යන්න දකුණු කොරියාවේ නීතියක්. 2023 සැප්තැම්බර් මාසයේ හමුදාවට එක් වූ සුගා ගේ හමුදා සේවය අවසන් වීමට නියමිතව තිබෙන්නේ 2025 ජුනි මාසයේ යි.


ඉහත කී සිද්ධිය සිදුව තිබුණේ පසුගිය 6 වැනි දිනයි. එදින රාත්‍රියේ කිසියම් තැනක මත්පැන් පානය කිරීමෙන් පසු සුගා සිය ස්කූටරයෙන් ගමන් කරමින් සිටිය දී ඔහු එයින් ඇද වැටී තිබූ බවයි මාධ්‍ය වාර්තාවල සඳහන් වූයේ. එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ද ඒ ආසන්නයෙන් ගොස් තිබූ බව සඳහන්. සුගා ස්කූටරයෙන් ඇද වැටෙනු දැක ඔවුන් ඔහු අසලට පැමිණ තිබුණා. ඒ ඔහුට උදව් කිරීම සඳහායි. නමුත් පොලිස් නිලධාරීන්ට එම අවස්ථාවේ වැටහී ගොස් තිබුණේ සුගා බීමත්ව සිටින බවයි. ඒ අනුව ඔවුන් විමර්ශනයක් සඳහා ඔහු පොලිස් ස්ථානයක් වෙත ගෙන ගොස් තිබුණා. එහි දී කරන ලද පරීක්‍ෂාවක දී අනාවරණය වී තිබුණේ සුගා ගේ රුධිරයේ ඇල්කොහොල් මට්ටම සාමාන්‍යයෙන් තිබිය යුතු මට්ටමට වඩා අට ගුණයකින් පමණ ඉහළ ගොස් තිබූ බව යි.


සුගා මෙන්ම BTS කණ්ඩායමේ ඒජන්ත සමාගම වන බිග්හිට් මියුසික් (Big Hit Music) සමාගම ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් රසික රසිකාවියන්ගෙන් සමාව ඉල්ලා තිබුණා. මෙම සිද්ධිය සුගා ගේ සංගීත දිවියට කවර බලපෑමක් කරනු ඇත් ද යන්න ගැනත් විශාල සංවාදයක් ඇති වී තිබෙනවා. ඇතැමුන් ගේ අදහස වූයේ ඔහු BTS කණ්ඩායමෙන් ඉවත් කිරීමක් සිදු නොවනු ඇති බවයි. සුගාගෙන් කණ්ඩායමට ඉටුව ඇති සේවය නිසා ඔහු ඒ ආකාරයෙන් ඉවත් කිරීමක් සිදු නොවනු ඇති බවට අදහස් පළ වී තිබුණා.


BTS කණ්ඩායමේ සියලු දෙනා හමුදා සේවය අවසන් කිරීමට නියමිතව ඇත්තේ ලබන වසරේ යි. එයින් පසු ඔවුන් නැවතත් කණ්ඩායමක් ලෙස සංගීත කටයුතුවලට අවතීර්ණ වීමට නියමිතයි. සමහර විට ඔවුන් ලොව රටවල් කිහිපයක සංගීත ප්‍රසංග මාලාවක් පැවැත්වීමට ඉඩ ඇති බවත් පැවසෙනවා. සුගා ගේ සිද්ධිය නිසා එම කටයුතුවලට කිසිදු බලපෑමක් එල්ල නොවනු ඇති බවත් සඳහන්ව තිබුණා.


මේ වනවිට 31 වැනි වියෙහි පසුවන සුගා ගේ සැබෑ නම මින් යූන් – ගි (Min Yoon-gi). 2013 වසරේ සිටම ඔහු BTS කණ්ඩායමේ සාමාජිකයකු ලෙස කටයුතු කරනවා.



Previous Post Next Post