ඒක ඇත්තටම සංසාරගත බැඳීම කියලා හිතෙනවා - හරේන්ද්‍ර ජයලාල්

harendra-jayalal-speaks

මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක් වන හරේන්ද්‍ර ජයලාල් එකල නිතරම ඉදිරිපත් කළේ සමාජයට ආදර්ශයක් දෙන සුබවාදී වැඩ සටහන්ය. ඔහු කරන වැඩසටහන් මෙන්ම ඔහු ධනාත්මක, ආදර්ශවත් මනුස්සයකු පියෙකු සැමියකු ලෙස ජීවිතය ගත කරනු අයුරු ද අපි දකින්නෙමු. හරේන්දු ජයලාල්ගේ ජීවිතයේ රසබර තැන් ගැන කතා කිරීමට අපි ඔහුට කතා කළෙමු.

හරේන්ද්‍ර ජයලාල්ව කෙටියෙන් හදුන්වා දුන්නොත්?

මම ආත්ම ශක්තියක්, ආත්ම විශ්වාසයක් තියෙන කෙනෙක්. දැන හෝ නොදැන අපට විශ්වය ලබාදුන් දෙයක් තිබෙනවා. ඒ විශ්ව දායාදය රැගෙන මම ගොඩ නගාගත් දෙයක් තිබෙනවා. කිසිවිටක මම කා එක්කවත් තරග කරලා නෑ. කවුරුවත් කපාගෙන යා යුතුයි කියලා මම හිතන්නේ නැහැ. තමන්ගෙ අනන්‍යතාව ගොඩනඟා ගැනීම තමා සතු වගකීමක්. කවුරු බාධා කළත් නොසැලී මම මගේ අරමුණට මම යනවා.

මේ වෙද්දි හරේන්දු ජයලාල් සිය ඉලක්කය සපුරාගෙනද සිටින්නේ?

සැබැවින්ම ඔව්. මොකද මම මාධ්‍ය ජිවිතයේ පළමු පියවරේ සිට මේ දක්වා සාර්ථක ගමනක් ඇවිත් තිබෙනවා. මම කැමතියි මෙතෙක් ලැබූ පන්නරය, අත්දැකීම් එක්ක මගේ හැකියාවන් ඔපමට්ටම් කරගෙන එයට තව තවත් වටිනාකමක් දෙන්න. අද මේ වගෙ නූතන තාක්ෂණයත් එක්ක අනුගත වෙමින් මාධ්‍ය කටයුතු වල නිරත වන්නෙත් මම උපරිමයෙන් කැපවීම් කර ලබා ගත් අනන්‍යතාව නිසයි.

නවකයන්ට මාධ්‍ය ක්ෂේත්‍රය තෝර ගනිද්දී කියන්න යමක් තියෙනවද?

අපි අතර දක්ෂයො වගේම අති දක්ෂයො ඉන්නවා. හැබැයි තමන් තමන්ගෙ ටැලන්ට් එක හරියට හඳුනාග න්න ඕන. ඒ තුළ අපිව නිර්මාණය කර ගන්න ඕන. සමහර විට අපි ෆේල් වෙන්නත්, ප්‍රතික්ෂේප වෙන්නත් පුළුවන්. ඒත් Format එක අපි ඔළුවෙ තියා ගෙන එයට අවශ්‍ය වපසරිය ගොඩ නගා ගන්න ඕන. මම ස්වර්ණවාහිනියට යන්නෙ ප්‍රවෘත්ති නිවේදනය සඳහා. එහිදී සාම්ප්‍රදායික ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීමේ ක්‍රමයට වඩා වෙනස් අයුරින් මම ප්‍රවෘත්ති ඉදිරිපත් කළා. මගේ වෙලාවට ස්වර්ණවාහිනිය එය භාර ගත්තා. ඒ වගේ අලුතෙන් හිතන්න, අලුත් දෙයක් කරන්න, තමා තුළ ඉන්න දක්ෂයා අවදි කරන්න පුළුවන් නම් කාටත් දුර ගමනක් යන්න පුළුවන්.



මේ දවස්වල මොකද කරන්නෙ?

යූටියුබ් නාළිකාවේ සහ ඇකඩමි එකේ වැඩ ටික සුපුරුදු පරිදි කරගෙන යනවා. බිරිය සමඟ සැප්තැම්බර් මාසයේ අලුත් ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

කාර්යබහුලත්වය සමග වෘත්තීය කටයුතුවලට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?

බිරියගෙන් පුතාගෙන් ලැබෙන සහයෝගය ඉතාම ඉහළයි. මගේ වෘත්තීය කටයුතු වලට උපරිම නිදහස
ලබාදී තිබෙනවා. ගෙදර වැඩවලින් සම්පූර්ණයෙන් නිදහස් කරලයි තිබෙන්නේ. අපි වැඩ බෙදා ගෙන කරන්නේ.
ඒ නිසා මට මගේ වෘත්තීය කටයුතු ඉතා පහසුවෙන් කර ගන්න පුළුවන් පසුබිමක් නිර්මාණ වෙලා තියෙනවා. හදිසියේ ගෙදර ටැප් එක කැඩුනත් මගේ වැඩවලට ඒකත් කරදරයක් නිසා බාස් කෙනෙක් ගෙන්න ගෙන ගෙදර වැඩ ටික කළමනාකරණය කරගන්න තැන බිරිය ඉන්නවා. මගේ කාලය උපරිමයෙන් රැක ගන්න පුදුමාකාර සහයක් බිරියගෙන් ලැබෙනවා.

ඇත්තටම පවිත්‍රා කියන්නෙ සංසාරගත බැඳීමක්ද?

ඔව්. එහෙම වෙන්න ඇති. මගේ වෘත්තීය පසුබිම හඳුනාගෙන, මාව හඳුනාගෙන මගේම ගැන හිතද්දී, මගේ ගමන වෙනුවෙන් මං වෙනුවෙන් කරන කැපවීම් ගැන හිතද්දි ඇත්තටම එහෙම හිතෙනවා. මට නම් එයා හරියටම හරි. මම හිතුව කෙනා එයා.

මාධ්‍ය ජීවිතය තූළ තෘප්තිමත්ද?

ඔව්, ගත වුණු අවුරුදු 25ක කාල සීමාව තුළ තෘප්තිමත්. අදටත් මට ස්වර්ණවාහිනියෙන් ලැබෙන ආරාධනා ඕනෑ තරම්. ප්‍රවෘත්ති, කාලීන, සංස්කෘතික, ආගමික, ජාතික, සෑම අංශයකින්ම මම මාධ්‍ය කටයුතු සිදු කර තිබෙනවා. Live @ 8 ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියා ලෙස (2008, 2012) ප්‍රවෘත්ති උපදේශක ලෙස කටයුතු කළා. ස්වර්ණවාහිනි ප්‍රවෘත්ති අංක එකට ගෙන ආවා. ඉන්පසු මම එම තනතුරෙන් ඉවත් වෙලා නිදහස් මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කළා. දිනපතා රූපවාහිනි නිවේදකයෙක් වෙලා ඉන්න මට ඕන වුණේ නැහැ.
ඒ වගේම මට තනතුරු ගැන ලොකු ආශාවක් තිබුණෙත් නැහැ.

හරබර ලෙස Live @ 8 ඉදිරිපත් කළ හරේන්ද්‍ර ජයලාල් මාධ්‍යයට පැමිණෙන ගමන් මග සිහිපත් කරමු...

යොවුන් මුද්‍රිත පුවත්පතක ප්‍රදීප් කුමාර බාලසූරිය මහතා, ලක්හඬ ගුවන් විදුලියෙ චන්දන තිලකරත්න මහතා යන අය මට පළමු පියවරේ උදව් කළ මිනිසුන්.

මාව ස්වර්ණවාහිනියට හඳුන්වා දෙන්නේ හේම නලීන් කරුණාරත්න මහත්මයා. එතුමාට පළමුකොට පින් දිය යුතුයි. මම මාව පවා නොදන්නා මොහොතක මාධ්‍ය ක්ෂේත්‍රයේ අභියෝග භාර ගන්න මට ශක්තිය ලබා දුන්නෙ එතුමා.

ජැක්සන් ඇන්තනී මහතා, රොස්මන්ඩ් සේනාරත්න මහතා, එස්.ඩී. ප්‍රේමරත්න මහතා, කැලුම් පාලිත මහීරත්න මහතා යන ජ්‍යෙෂ්ඨයන් යටතේ මම ස්වර්ණවාහිනි නාළිකාවෙ කටයුතු කළා. ඔවුන් මාව මාධ්‍ය කටයුතුවලට දායක කර ගැනීම නිසා මට හොඳ පන්නරයක් ලැබුණා.

ඒ වගේම ස්වර්ණවාහිනි කළමනාකාර අධ්‍යක්ෂතුමා ජීවක එදිරිසිංහ මහතා මට අවශ්‍ය පරිදි මා මෙහෙයවන වැඩ සටහන් නිවේදනය කටයුතු කරගෙන යෑමට, මට සෑම අතින්ම පූර්ණ නිදහස ලබා දුන්නා. ඒ නිසා නිදහසේ මාධ්‍ය කටයුතු මෙහෙයවන්න මට හැකියාව ලැබුණා.

ස්වර්ණවාහිනියට මම සදා ණය ගැතියි. මාව ලොවට හඳුන්වා දුන්න පින්බිම. සෝමා එදිරිසිංහ මැතිනිය මට මගේ දෙවන අම්මා හා සමානයි. ඒ තරම් ආශිර්වාදයක් මට ලැබුණා. එයාලටත් මම පවුලෙ කෙනෙක් වගේ. ඒ තරම් ආදරයක් ගෞරවයක් මටත් ඔවුන් ගැන තිබෙනවා.

රස, නීරස, අමතක නොවන මාධ්‍ය මතකයන් ඇති?

ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියා ලෙස සේවය කරන කාලය තුළ මම ඉතා කාර්යබහුලයි. ප්‍රවෘත්ති අංශයේ ඇතුළත සහ පිටතින් ලැබෙන පුවත් සම්බන්ධයෙන් තීරණය මගේ කාර්යයක් වු නිසා මට බාහිර දේවල්වලට කාලයක් තිබුණෙ නැහැ. බිරිය පුතා ලැබිලා රෝහලෙන් නිවසට එක්කගෙන එන්න ටිකට් කපන්න ගියත්, එදා යුද්ධය අවසන් වූ බවට නිවුස් එක ආවා. ඉතින් එයාලව රෝහලේ තියලා ආපසු ප්‍රවෘත්ති අංශයට ආවා. හරිම දුකයි. බිරිය දරුවා එක්ක හවස මම යනතුරු හිටියා, ඒ වගේ මම මගේ පෞද්ගලික ජීවිතය වෙනුවෙන් කැප කරන කාලය පවා වෘත්තිය වෙනුවෙන් කැප කළා. ඒ දවස නම් කවදාවත් අමතක වෙන එකක් නෑ.

තේජා සුදසිංහ


Previous Post Next Post