එදා තව පොඩ්ඩෙන් මම වෙඩි කනවා -චතුරංග කොඩිතුවක්කු



සෙලාන් බැංකු වෙළෙඳ දැන්වීමක් ඔස්සේ හා හා පුරා කියා කලා ක්ෂේත්‍රයට පා තැබූ ඔහු ශ්‍රියන්ත ප්‍රසාද් රත්නායකගේ ‘හදවතේ කතාව‘ ටෙලි නිර්මාණයේ ප්‍රධාන භූමිකාවට පණ පොවමින් පුංචි තිරයට ද පිවිසියේය. ෂැඩෝ, ළංවී, උන්මාදිනී, දිවිතුරා මෙන්ම මේ දිනවල ජනප්‍රියත්වයේ ඉහළින්ම වැජඹෙන see you ටෙලි නිර්මාණය ඔහුගේ රංගන හැකියාව තව තවත් වර්ධනය කළේය. එමෙන්ම ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වන ‘රොන්‘ ටෙලි නිර්මාණයේ පූර්ණගේ භූමිකාව ඔහුගේ රංගන දිවියේ වෙනස්ම පැතිකඩක් නිරාවරණය කරන සුවිශේෂී ටෙලි නිර්මාණයකි. අද අප හා කතාබහට එක්වන ඔහු චතුරංග කොඩිතුවක්කුය.


චතුරංග මේ දවස්වල ජීවිතයේ ආධ්‍යාත්මික පැත්ත හොයනව කියල ආරංචියි?


ඔව්. ඒ මේ දිනවල ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වන ප්‍රදීප් ධර්මදාසගේ ‘රොන්‘ ටෙලි නිර්මාණයේ පූර්ණ. පූර්ණ කියන්නෙ මට ලැබුණු ටිකක් වෙනස් චරිතයක්. සියලු සැප සම්පත් තියෙන සල්ලිකාර පවුලක පුතෙක් විදිහට ඔහු ජීවිතය වින්ද කෙනෙක්. ඔහුගේ පෙම්වතිය වුණේ සාෂා. ඇයත් සුන්දර යුවතියක්. අන්තිමට ඒ හැමදේම අතහරින ඔහු පරිසරයට ආදරය කරමින් ජීවිතයේ ආධ්‍යාත්මික පැත්ත හොයන්න පටන් ගන්නවා. ගෙවල් දොරවල් අත්හැරලා මුහුදු වෙරළේ ජීවිතය ගත කරනවා. මොබයිල් ෆෝන් එකත් අත්හරිනවා. යම්කිසි පිරිසක් ඔහු වටා එක්රොක් වෙනවා. පූර්ණ හරහා යම්කිසි පණිවුඩයක් සමාජගත වෙනවා කියලත් හිතෙනවා. ඒ චරිතය මං ගොඩක් කැමැත්තෙන් කරන චරිතයක්.


ඒ කියන්නෙ පූර්ණ, චතුරංගට අභියෝගයක් වුණා ද?


ඒක මට අභියෝගයකට වඩා සමීප චරිතයක් කිව්වත් හරි. මමත් ගොඩක්දුරට ජීවිතයේ ආධ්‍යාත්මික පැත්ත සොයන, අධ්‍යයනය කරන කෙනෙක් විදිහට මට ලොකු පහසුවක් වුණා පූර්ණව ප්‍රතිනිර්මාණය කරන්න. සියයට සීයක්ම නොවුණත් පූර්ණ, චතුරංගට බොහෝදුරට සමානයි කියන්නත් පුළුවන්. ඒත් චතුරංග ළඟ තාම පූර්ණගේ තරම් ඉවසීම නම් නෑ.


ඔබේ බාහිර පෙනුමත් ලොකු වෙනසක් කරල නේද?


ඒ වෙනසම මේ වෙද්දි චරිතය ජනප්‍රිය වෙන්න හේතුවක් වෙලා. ප්‍රදීප් අයියා ඇහුවා මෙහෙම චරිතයක් තියෙන්නෙ කරන්න කැමතිද කියලා. කොණ්ඩෙ දිගට ගොතලා දාලා. මේ හෙයාර් ස්ටයිල් එක දාන්න පැය 8ක් විතර යනවා. ඒ නිසා ෂූට් එකට කලින් දවසෙ කොණ්ඩෙ හදනවා. ඒ වගේම වෙනත් චරිතවලට වඩා ඇඳුමත් ටිකක් වෙනස්. පූර්ණගේ පෙනුමට ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා.


ලැබෙන ප්‍රතිචාර කොහොමද ?


හෙයාර් ස්ටයිල් එකට තමයි වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නෙ. පෙනුමට වගේම ඇඳුමට කැමැති අයත් ඉන්නවා. මෙතෙක් දායක වුණු නිර්මාණවලට වඩා වෙනස් අත්දැකීමක් වුණා. මං ප්‍රදීප් අයියා එක්ක වැඩ කරන පළමු අවස්ථාව මේක. ඔහු ගොඩක් හොඳ සපෝටිව් අධ්‍යක්ෂවරයෙක්. මේ වෙද්දි විකාශය වෙලා තියෙන කොටස් ගණන සීමිත වුණත් දැනටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


See You කියන්නෙත් මේ දවස්වල ගොඩක් ජනප්‍රිය ඔබ දායක වන ටෙලි නිර්මාණයක්. ශෙහාන් ගැන කතා කළොත්?


‘See You‘ කියන්නේ ධනුෂ්ක රත්නායකගේ අධ්‍යක්ෂණයක්. ශෙහාන්ට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ශෙහාන් කියන්නෙ මට ප්ලේ කරන්න තියෙන හොඳ කැරැක්ටර් එකක්. ඒ වගේම හසුන් සමීරගේ ‘ජානු‘ ටෙලි නිර්මාණයත් මේ දිනවල විකාශය වෙනවා. ඒ සඳහා මට ආරාධනා ලැබෙන්නෙ හසුන් සමීර අයියගෙන්මයි. මීට කලින් ඔහුත් එක්ක මං ‘උන්මාදිනී‘ ටෙලි නිර්මාණයේ වැඩ කළා. ‘සික්ස්පැක්‘ පහුගිය දා විකාශය නිමා වුණා.


ඔබ ක්ෂේත්‍රයට පිවිසීම සිදුවුණු විදිහත් කියමු?


මුලින්ම මං සෙලාන් බැංකුවේ වෙළෙඳ දැන්වීමකට පෙනී හිටියා. ඒක තමයි කැමරාවක් ඉදිරියේ මං ලබපු පළමු අත්දැකීම. ඊට පස්සෙ වෙළෙඳ දැන්වීම්වලට ගොඩක් අවස්ථා ලැබුණා. ඒ අතරේ ශ්‍රියන්ත ප්‍රසාද් රත්නායකගේ හදවතේ කතාව ටෙලි නිර්මාණයේ ප්‍රධාන චරිතයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඔහු මට කතා කරල තිබුණෙ ෆේස්බුක් එකෙන් දැකලා. කුලුඳුල් රංගන අත්දැකීම ප්‍රධාන භූමිකාවක් වෙනවා කියන්නෙම ලොකු ජයග්‍රහණයක්. ‘හදවතේ කතාවෙ‘ නිමේෂ්ට ගොඩක් ප්‍රතිචාර ලැබුණා. අදටත් හදවතේ කතාව මතක් කරන ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. ඊට පස්සෙ ටෙලි නිර්මාණ ගණනාවකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා.


‘ළංවී‘ ටෙලි නිර්මාණයේ රූගත කිරීමක දී අකරතැබ්බයකට ලක්වුණාලු නේද?


ඔව්. ඒක රංගන ජීවිතේට විතරක් නෙවෙයි මගේ මුළු ජීවිතේටම අමතක නොවන එකක්. එක තැනක මං තුවක්කුවකුත් අතින් අරන් දෙන්නෙකුට තර්ජනය කරන සීන් එකක් තියෙනවා. ඒක ඇත්තක් කියල හිතල කවුරුහරි 119ට අරගෙන පොලිසියට කතා කරලා කියලා. හදිසියේම පොලිස් කණ්ඩායමක් ඇවිත් තුවක්කු ඉලක්ක කරගෙන මාව වටකර ගත්තා. මං මැරයෙක් කියල හිතල වෙඩි තියන්නයි හදල තියෙන්නෙ. පස්සේ කැමරා එහෙම පෙන්නල බොහොම අමාරුවෙන් පැහැදිලි කරල දුන්නා. එදා මට තව පොඩ්ඩෙන් වෙඩි කන්නයි වෙන්නෙ.


චතුරංග කියන්නෙ ගොඩක් උස රංගන ශිල්පියෙක්?


ඔව්. මං අඩි 5යි අඟල් 11ක් උසයි.


මේ දිනවල නිවේදකයෙක් විදිහටත් කටයුතු කරනවා නේද?


හිරු නාළිකාවේ ‘අඟර දඟර‘ ගේම් ෂෝ එක කරනවා. මං මීට කලිනුත් හිරු ‘ටොප් ටෙන්‘ චාට් ෂෝ එක කළා.


පවුලේ තොරතුරු ගැන කතා කරනව නම්?


මගේ අම්මා, තාත්තා දෙන්නම නැහැ. මං පවුලේ එකම ළමයා. දැනට ඉන්නෙ මං විතරයි.


ආදරය කියන්නෙ චතුරංගට මොනවගේ අත්දැකීමක්ද?


ආදරය කරලා, ආදරය විඳලා අත්දැකීම් තියෙනවා. ඒත් දැන්නම් මට ආදරවන්තියක් නෑ.


නාමලී ගමගේ



Previous Post Next Post