මම ලද දෙයින් සතුටු වෙනවා - අනූෂා දමයන්ති

anusha-damayanthi

ඉතින් කොහොමද ජීවිතේ ? මොනවද අලුත් තොරතුරු ?

ජීවිතේ හරිම සුන්දරව ගලාගෙන යනවා. නමුත් කොරෝනා වලට කලින් අපි ගත කරපු කාර්ය බහුල ජීවිතේ නම් තවම නෑ. ඒ කාලයේ අපි විදේශ සංචාරවලට යනවා. නර්තන ප්‍රසංග සඳහා යනවා. විවේකයක් තිබුණෙම නෑ. කොරෝනා වලින් පස්සේ ටිකක් වැඩ අඩු වෙනවා.

ඔය වැඩ කියන්නේ චිත්‍රපටද? නැත්නම් ඩාන්සින් ෂෝද?

හැම දෙයක්ම. ඩාන්සින් ෂෝස් කෙරුණේ නෑ. චිත්‍රපට කෙරෙන්නේ නැති තරම් වුණා. විදේශ සංචාර අඩු වුණා. ටෙලිඩ්‍රාමාත් කරන ප්‍රමාණය අඩුවුණා. මම සාමාන්‍යයෙන් ටෙලිඩ්‍රාමා කරන්නේ නැති වුණත්, අමුතු වැඩක් කරන්න තිබුණොත්, ඒකට මගේ හිත ගියොත් මම කරනවා. ඒ විදියට තමයි මම රොෂාන් වීරසිංහගේ දුවිලි සහ ගිහාන් රෝහණගේ අසනි වර්ෂා කියන නාට්‍ය කළේ. නිහාල් ප්‍රනාන්දුගේ සිව් රඟ සේනා කළා. ඊට පස්සේ ‘සූ සැට මායම්’ කළා.

සාමාන්‍යයෙන් ඔබ ටෙලිඩ්‍රාමා රංගනයට එක් නොවන කෙනෙක් නේද? මේ නාට්‍යවල දැකපු සුවිශේෂීත්වය මොකක්ද?

බොහෝ වෙලාවට මම බලනවා මට සිනමාවේ කරන්න බැරිවුණ චරිත නිරූපණයන් තිබුණොත් සහ ප්‍රේක්ෂකාගාරයට යන්න පුළුවන් චරිත තිබුණොත් ඒක මම බාර ගන්නවා. ටෙලිනාට්‍ය කරන්නේ නෑ කියන තැනක මම නෑ. මට හරි ආසයි විවිධ තලවල චරිත නිරූපණයන්හි යෙදෙන්න. අර ඒ කාලේ තිබුණු දඬුබස්නාමානය, කඩුල්ල, හිමගිරි අරණ, ගිරය වැනි ටෙලිනාට්‍යවලට මම හරි ආසයි. එවැනි අමුතු, බර චරිත නිරූපණයක යෙදෙන්න මම හරි ආසයි. අද හැබැයි ඒ වගේ ඒවා කෙරෙනවා හරි අඩුයි. මේ වගේ ආරාධනාවක් ආවොත් නම් අනිවාර්යයෙන් පිළිගන්නවා. කැප කිරීමක් කරලා හරි කරන්න.

චිත්‍රපටවල තත්ත්වය කොහොමද?

චිත්‍රපට නම් හතක් ම මගේ රිලීස් වෙන්න තිබෙනවා. හැබැයි මම දන්නෙනෑ ඒවා කවදා රිලීස් වෙයිද කියලා. චිත්‍රපට නිදහස් කිරීමේ ජාතික ප්‍රතිපත්තියක් නැති නිසා මේවා රිලීස් වෙන දවසක් කියන්න බෑ. ඇත්තටම මේ සඳහා මුදල් යොදවපු නිෂ්පාදකවරු හරි පව්. ඔවුන් වසර ගණනාවක් තමන්ගේ මුදල් ඒ වෙනුවෙන් හිර කර ගෙන ඉන්නවා. මම රඟපාපු ‘අක්කයි නංගියි, යතිවරයාණෝ, සීතල යුද්ධය අල්ලපු ගෙදර ඇතුළු හතක් තිබෙනවා. මේ දවස්වල තවත් චිත්‍රපට දෙකකට ආරාධනා ලැබිලා තිබෙනවා. මේ දවස්වල එහි තිර පිටපත් කියවමින් ඉන්නවා. පොඩි පොඩි ගැටලු නිසා සමහර පිටපත් අතහරිනවා. සමහර ඒවා වෙනස් කරගෙන කරන්න පුළුවන්ද කියලා බලනවා.එක චිත්‍රපටයක් රොෂාන් වීරසිංහගේ. අනෙක් චිත්‍රපටය දෙමළ අධ්‍යක්ෂවරයෙකු වන රාකේෂ් ගේ. මේ දෙක තමයි දැනට තියෙන්නේ.

ඔබ විවාහයෙන් පස්සේ රඟපෑම සීමා සහිත වුණාද?

නෑ එහෙම එකක් වුණේ නෑ. තවම මම විවාහ වෙලා අවුරුදු දෙකක් වත් ගතවුණේ නෑ. ඒ කාලේ ඉඳලම මම වැඩ කළා. ඒ කාලේ තමයි මම සනත් අබේසේකරගේ ‘දළදාගමනය’ චිත්‍රපටයත් ‘මහවිරු පණ්ඩු’ ටෙලි නාට්‍යයත් කළේ. විවාහය කොහෙත්ම මගේ ගමනට බාධාවක් වුණේ නෑ. මම හරි වාසනාවන්තයි. මාව එහෙම සීමා කරන කෙනෙක් නොවෙයි මට ලැබිලා ඉන්නේ. මට කිසිදු වාරණයක් ඔහුගෙන් නෑ. හොඳ හස්බන්ඩ් කෙනෙක් මට ඉන්නවා. එයා එදා ඉඳලම මාව දන්නවා. අනූෂා දමයන්ති කියන්නේ කවුද? කොයි විදියටද ක්ෂේත්‍රයේ වැඩ කරන්නේ, මින්ස්සු සමඟ කොයි විදියටද හැසිරෙන්නේ කියලා ඔහු දන්නවා. ඒකත් එක්ක එයා මට නිදහස දීලා තියෙනවා මට කැමැති දේවල් තෝරා බේරා ගෙන කරන්න. ඩාන්සින් ෂෝ ටික ටිකක් විතර පසුබෑමකට ලක්වීම ගැන පුංචි දුකක් තියෙනවා. ඒකට හේතුව ඇත්තටම මේ හැම නිර්මාණයකටම අපේ දායකත්වය අඩුයි කියලා අද හිතෙනවා නම් ඒකට ලොකුම ප්‍රශ්නය මුදල්. අපට ගෙවන්න තියෙන ගාන ටිකක් වැඩියි. ඒක නිසා නිෂ්පාදකවරු බලනවා ටිකක් අඩුවට කරවගන්න පුළුවන් අයව. අන්න ඒ ගැටලු පමණයි තියෙන්නේ.

ඩාන්සින් ෂෝ අන්තිමට කළේ මොනවද?

මම කළා විවිධ තැන්වල. මාර්තු අප්‍රේල් අවුරුදු මාස ටිකේ ඇතිවෙන්න මම නැටුවා.



වර්තමානයේ සිනමාවේ තිබෙන ප්‍රශ්නයි, ආර්ථික වශයෙන් අපි මුහණ දිලා තිබෙන ගැටලුයි සමඟ අපේ සිනමාව ඉස්සරහට කොහොම වෙයි කියලද අනූෂා හිතන්නේ?

ඇත්තටම ඕනෑම ක්ෂේත්‍රයක ඒ අදාළ කණ්ඩායම් එකතු වෙලා තමයි තීරණ සහ තීන්දු ගන්න ඕන. සිනමාවේ සුබ සිද්ධිය උදෙසා සිනමාවේ ඉන්න අයම තමයි තින්දු තීරණ අරගෙන මේ ක්ෂේත්‍රය ඉහළට ගෙනියන්න ඕන. හැබැයි මේ කණ්ඩායම් බෙදිලා එක එක්කෙනාගේ වාසියට පමණක් වුණොත් කවදාවත් අපට සිනමාව ගොඩනඟන්න බෑ. සිනමාව කියන්නේ ටිම් වර්ක් එකක්. මේ ටිම් වර්ක් එක ඇතුළෙ ගියොත් හෙට දවසේ කිසිම කෙනෙකුට අසාධාරණයක් නොවී සිනමා කර්මාන්තය පවත්වාගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් කණ්ඩායමක් හිතුවොත් අපි විතරක් මේකේ රජ වෙනවා කියලා මං හිතන්නේ සිනමාව නැත්තටම නැති වෙලා යයි. නිර්මාණ ශිල්පින් නැතිවෙලා යයි. නිෂ්පාදකවරු නැතිවෙලා යයි. සියලු දෙනා එකතු වෙලා හරි ක්‍රමවේදයක් ඇති කරලා, ඒක ආණ්ඩුවට කියලා ජාතික ප්‍රතිපත්තියක් ඇති කරලා, මේ ගමන ගියොත් මං හිතන්නේ හෙට අනාගතේ සිනමාව වෙනුවෙන් එන්න ඉන්න නිර්මාණකරුවන් වෙනුවෙන් හොඳ දෙයක් සිදු වේවි.

මම සිනමාවට ආපු කාලේ ඉදනුත් මේ ගැන කතා කරනවා. මම දන්න කාලේ ඉදලම මේ ගැන කතා කරනවා. හැබැයි තාමත් ඊට හරි විසඳුමක් ලැබිලා නෑ. කාටවත් කරන්නත් බැරි වුණා. කිසිම ආණ්ඩුවකින් එහෙම තීන්දු තීරණ හදලා දුන්නෙත් නෑ.

සිනමාවේ පංගුකාරියක් විදියට හැට හැත්තෑව දශකයේ සිනමාව ගැන හිතත්දි ඔබට මොනවද දැනෙන්නේ?

ඇත්තටම ඒක මට නම් හීනයක් වගෙයි. හරි සුන්දරයි. හරි ලස්සනයි. හැබැයි මේ දැන් තියෙන තාක්ෂණික දියුණුව ඒ කාලේ තිබුණේ නෑ. ඒක තමයි මට තිබෙන ප්‍රශ්නය. ඒ අය ඒ තරම් ලස්සනට මේවා කළේ කොහොමද කියලා. ඒකාලේ අඩු පහසුකම් යටතේ ඒ තරම් සුන්දරවෙන්නත්, දැන් තියෙන තාක්ෂණික පහසුකම් යටතේ ඇයි අපට ගොඩ නඟා ගන්න බැරිත් කියන එක ප්‍රශ්නයක්. හැබැයි මෙහෙමයි. දැන් අපට දක්ෂයෝ නැතුව නොවෙයි. ඉතාම දක්ෂ චිත්‍රපට අධ්‍යක්ෂවරු ඉන්නවා. දක්ෂ පිටපත් රචකයෝ ඉන්නවා. දක්ෂ නළුනිළියෝ ඉන්නවා. හැබැයි මුදල්මය ගැටලුවක අපි ඉන්නවා. අපි වියදම් කරන තරමට අපට හම්බකරන්න පුළුවන් කර්මාන්තයක් නොවෙයි අපට තියෙන්නේ කියන කරුණු කාරණා මේකට බලපානවා. සමහරක් චිත්‍රපට අපට හිතා ගන්නවත් බැරි තරමට සිනමා කර්මාන්තයට ගැළපෙන්නේ නෑ. හැට හැත්තෑව කියන්නේ ස්වර්ණමය යුගයක්ම තමයි.

අපි බොහෝ විට ඔබෙන් දකින දෙයක් තමයි ඔබ තුළ සිටිනා ‘නිළිය’ කියන ප්‍රතිරූපය ආරක්ෂා කරන්න ඔබ බොහෝ වෙහෙසක් ගන්න ආකාරය ඔබ තැනකට යනකොට මේ රටේ සිනමා ප්‍රේක්ෂකයන්ගේ සිහින කුමාරිය බව ඔවුන්ට දැනෙනවා. ඇයි ඒක මෙච්චර මේන්ටේන් කරන්නේ?

මම දකින එක දෙයක් තමයි කොරෝනා වලින් පස්සේ අසීමිත ලෙස නළු නිළියන් බිහිවෙන්නට පටන් ගත්තා. ඒක වෘත්තියේ තිබුණු ලොකු වටිනාකමක් හැල්ලුවට පත් වුණා වගේ වැඩක්. මේක මොන තරම් ගෞරවණීය වෘත්තියක්ද සහ එහි වටිනාකම් අඩු වෙන්න ගත්තා. ඉස්සර අපි ගත්තොත් නළුවෙක් නිළියෙක් වෙනවා කියන්නේ ලේසියෙන් සිදු නොවන දෙයක්. අපි අපේ ජ්‍යෙෂ්ඨ නළු නිළියන්ගේ ජිවිත කතා කියවත්දි නළුවෙක් නිළියෙක් වෙන්න කොයි තරම් කාලයක් ගියාද? කොයි තරම් ඇවිද්දද?, කොයි තරම් රස්තියාදු වුණාද කියලා අහල කියවලා තියෙනවා. දැන් ඒක හරි ලේසි කටයුත්තක් බවට පත්වෙලා. ට

ෙලිනාට්‍ය කලාව හරහා හරි ඉක්මනින් නළු නිළියෝ බිහි වුණා. නළු නිළියන් කියන්නේ විශේෂ වරමක්, ආශීර්වාදයක් ලබපු පිරිසක්. ඒකත් සමඟ බලන විට ඒ අය හරිම සුවිශේෂී පිරිසක්. දැන් මම තවමත් කම්පා වෙනවා අනේ මට විජය කුමාරතුංගව දකින්න ලැබුණේ නැනේ කියලා. නළුවෙක් නිළියෙක් කියන්නේ ඒ වගේ සමාජ වටිනාකමක් තිබෙන වෙනස්ම පිරිසක්. ඒ අයට තියෙන්න ඕන නිහතමානිකම සහ ගෞරවාන්විත බව. ඒ අයත් දැන ගන්න ඕන තමන්ගේ වෘත්තියේ ගෞරවාන්විත භාවය රැක ගන්න. කවුරු හරි ලස්සනට ඇදලා හිටියොත් කියනවානේ ආ.. නිළියක් වගේ කියලා. ඇයි එහෙම කියන්නේ. නිළියෙක් විශේෂ නිසානේ. ඒ නිසා මම හිතනව අපිව ප්‍රේක්ෂකාගාරය දකින්න කැමැති ඒ නිළියකගේ ස්වරූපයෙන් තමයි. මේ වෘත්තියට ආවනම් මේ වෘත්තියේ ගෞරවය නිතරම අපි රැක ගන්න ඕන. මම ඒක හරියට කරනවා. මම ලස්සනට ඇඳ ගෙන යනවා. ලස්සනට මේක් අප් කරගෙන යනවා. මම මාව මේන්ටේන් කරනවා. මට නම් ඒක හරි සුන්දරයි.

මේ නිළිකම ලැබීම ගැන ඔබ සතුටුද?

අනිවාර්යයයෙන්. මම ආයේ ආයෙ ඉපදුණත් නිළියක් වෙන්න තමයි ප්‍රාර්ථනා කරන්නේ.

ඔබ වෘත්තිය ජීවිතේ පටන් අරන් දැන් අවුරුදු විස්සකට වැඩියි. ආපසු හැරිලා බලත්දි මොනවද හිතෙන්නේ?

මම හරි සතුටුයි. මේක ලස්සන රෝස මල් යහනාවක් නොවෙයි. එහෙම ලස්සනට ආපු ගමනක් නොවෙයි. නමුත් මම මා වෙනුවෙන් කැප වුණා. මම වෙනත් දේවල් වෙනුවෙන් කැප වුණේ නෑ. හරි ඉවසීමෙන්, දරා ගැනීමෙන් ආපු ගමනක් නිසා තමයි මට මෙච්චර කල් ඉන්න පුළුවන් වුණේ. ඒකට ලොකුම ශක්තිය වුණේ මගේ අම්මා. මම ක්ෂේත්‍රයට එන කාලයේ මට ලොකු විවේචන, ප්‍රතිචාර තිබුණා. නමුත් මට වෙනම ප්‍රේක්ෂකාගාරයකුත් තිබුණා. මගේ නර්තනය, මගේ රංගනයට ලොකු වටිනාකමක් ප්‍රේක්ෂකාගාරය දුන්නා. මම හිතන්නේ මගේ දක්ෂතාවයම සමහරුන්ට ඉවසන්නේ නැතුව ගියා. එතකොට මට කැපිලි කෙටිලි ආවා. නමුත් මම ඒවා දිහා නිහඩව බලා සිටියා. ඒවට මම උත්තර දෙන්න බැලුවේ මගේ හැකියාවෙන් දක්ෂතාවයෙන්ම තමයි. මම ලොකු කැප කිරීම් ඒ වෙනුවෙන් කළා. මගේ ජිවිතේ බොහෝ දේවල් කර ගත්තේ මම විසින්මයි. මහන්නේ මම, කොණ්ඩේ හදා ගන්නේ මම, මේක් අප් කර ගන්නේ මම, ඒ වගේ හරි මහන්සියකින් තමයි මෙතනට ආවේ. මම මගේ වෘත්තියට හරි ආදරෙයි. ඒ වගේම ගෞරව කරනවා. මම ස්තුති කරනවා ස්වභා දහමට මට මේක ලැබුණට. ඒ නිසා කොහේ තොතැන ගියත් මාව ස්වභා දහම විසින් ඔසවා තැබුවා. මම ආදරේ කළේ කලාවට, මට හම්බවුණු මිනිස්සුන්ට. මට කතා කරපු අයට ඒ හැම දෙයක්ම සංකලනය වීමෙන් තමයි මේ අවුරුදු ගණනම මම ආවේ.

නිළියෙක් කියන්නේ හැම වෙලේම චරිතවලට පෙරේතකමකින් සිටින කෙනෙක්. නිළියව බබළවන්නේ චරිත. අනූෂා මොනවද ඒ ගැන හිතන්නේ?

නිළියෙක් කියන්නේ හැම වෙලේම පිපාසිතව සිටින කෙනෙක් තමයි. මම නර්තන ශිල්පිනියක් වශයෙන් තෘප්තිමත් වුවත් රංගන ශිල්පිනියෙක් විදියට ඇත්තටම තෘප්තිමත් වෙන්න බැහැ. චරිතාංග රංගනය කියන එක සිනමාව තුළ මම හිතනවා මට ලැබුණේ නෑ කියලා. ඒකට මට ලැබුණු ඉඩ හරි සීමිතයි. මම සරත් ධර්මසිරිගේ කාලි වගේ චිත්‍රපටයක් කළා. නමුත් ඒක තිරගත වුණේ නෑ. අනේ සාධු කියලා චිත්‍රපටයක් කළා. ඒ වගේ සම්භාව්‍ය ගණයට අයිති චිත්‍රපට කීපයක්ම කළා. හැබැයි එහෙම කියලා මම කනගාටු වෙන්නෙත් නෑ. මම ලද දෙයින් සතුටු වෙනවා. සමහර විට මා තුළ තිබුණු නර්තන හැකියාව නිසා මම වාණිජ සිනමාව තුළම රඳවා තබා ගන්න ඇති.

පසුගියදා ඔබ සම්මානයකිනුත් පිදුම් ලැබුවා නේද?

මට සම්මාන කොතෙකුත් ලැබිලා තියෙනවා. ඒ අතින් මම හරි වාසනාවන්ත නිළියක්. සරසවිය සම්මාන, ජනාධිපති සම්මාන ඇතුළු සම්මාන ගණනාවක්ම ලැබුණා. මම මේ ළඟකදි සම්මාන උළෙලකට සහභාගි වුණා. ඔවුන් මට ආරාධනා කළා එන්න කියලා. ඒ වෙලාවේ නම් මට යම් කනගාටුවක් දැනුණා. සම්මාන උළෙලක් කියන්නේ ගෞරවාන්විත දෙයක්. මේක සම්මාන උළෙලක් නොවෙයි. අගය කිරිමක්. ඔබ අගය කරන්න සම්මානයක් දෙනවා එන්න කියලා කියනවා. නමුත් ගියාට පස්සේ තියෙන්නේ සම්මානයක් නොවෙයි. අන්න ඒ වගේ දේවල් තියෙනවා. අනිත් පැත්තෙන් අපේ සමහර ලෙජන්ඩ්ස්ලා අගය කිරීමක් සිදු නොවන අවස්ථාත් මම දැක්කා. ඒක මට කනගාටු දායක තත්වයක්. අපේ ලෙජන්ඩ්ස්ලට ආරාධනා කළොත් ඒ අයට ඊට වඩා වටිනාකම් දෙන්න ඕන. එහෙම නැතිවුණොත් ඔවුන් වසර ගණනාවත් තිස්සේ හදා ගත්ත වටිනාකම් නැතිවෙලා යන විදියට වැඩ සිද්ධ වෙනවා. ඒවා නොවිය යුතු දේවල් ඉතින් මම මේ වෙලාවේ අපේ කලාකරුවන්ගෙන් ඉල්ලන්න කැමතියි ඔබට කුමන හෝ අගය කිරිමකට ආරාධනාවක් ලැබුණොත් මුලින්ම එය නිසි අගය කිරිමක්ද කියලා විමසා බලන්න කියලා. සමහර අය ඒ අයගේ යටි අරමුණු ඒ හරහා ඉටු කර ගන්නවා. ඒ යටි අරමුණු වෙනුවෙන් කලාකරුවා භාවිතා කළ යුතු නෑ.

හේමාලි විජේරත්න (සරසවිය)
සේයාරූ – නිශ්ශංක විජේරත්න


Previous Post Next Post