අවුරුදු 50දී හරි නිවැරදි කෙනා හමුවුණොත් බඳියි ඉතින්- යුරේනි නොෂිකා




යුරේනි නොෂිකා කියන්නේ නිරන්තරයෙන්ම කතාබහට ලක් වෙන චරිතයක්. මේ දිනවල නම් යුරේනි කතා බහට ලක් වෙන්නේ ‘රීකන්ඩිෂන් කෙල්ල‘ නිසා. යුරේනි ‘දිනූ‘ ලෙසින් රීකන්ඩිෂන් කෙල්ල තුළින් සති අන්තයේදී ස්වර්ණවාහිනියෙන් ප්‍රේක්ෂකයින් අතරට එනවා. අවුරුදු කිහිපයකට පස්සේ තමයි යුරේනිව පුංචි තිරයේ චරිතයකින් දකින්න ලැබෙන්නේ.


රීකන්ඩිෂන් කෙල්ලහි දිනූ ඔබ. මේ නිර්මාණය භාර ගන්න හිතුවේ ඇයි?


වෙනස් පිටපතක්. ඒ නිසාම හිතුවා මේ අභියෝගය භාර ගන්නවා කියලා. මට සාමාන්‍යයෙන් ගැමි චරිත ලැබෙන්නේ නැති තරම්. ඒ නිසා විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා අනුර ඒකනායක අධ්‍යක්ෂතුමාට මාව විශ්වාස කරලා මේ චරිතය භාර දුන්නට.


දිනූව ගොඩනඟන්න යුරේනි මොන වගේ කැප කිරීමක් ද කළේ?


අපි මේ නාට්‍යය රූගත කළේ තිස්සමහාරාම සහ යාල ප්‍රදේශයේ. මගේ තියෙන හමේ පැහැයට වඩා හතර ගුණයකින් විතර අඩු පැහැයක් දිනූට දුන්නේ. ඒ නිසා පාන්දර 4ට මේකප් එකට ගියාම පැය 4ක් විතර යනවා මේකප් එක කරන්න. මුළු ඇඟම කළු කරනවා. අධ්‍යක්ෂවරයාට ඕනේ වුණේ ස්වාභාවික ලෙසම මගේ කොණ්ඩය පවා තියන්න. ඒ විදිහට තමයි දිනූ කියන තිස්සමහාරාම ගමේ ගැහැනු ළමයාව ගොඩනැඟුවේ. මට මුලින්ම චරිතයට අවතීර්ණ වෙන්න ටිකක් අමාරු වුණා. මම රඟපෑවෙත් ගොඩ කාලෙකට පස්සේ නිසා. හැබැයි සෙට් එකේ හිටිය හැමෝගෙන්ම මට හොඳ සහයෝගයක් ලැබුණා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ චාන්දනී සෙනවිරත්න මහත්මිය. ඇය තමයි මගේ අම්මට හිටියේ. හැම වෙලාවේම අම්මා කෙනෙක් වගේම මගේ හෙවණැල්ල වගේ ඉඳගෙන මගේ දෙබස් උච්චාරණය හැදුවා. මම ඇය එක්ක පළමු වතාවට ස්ක්‍රීන් එක බෙදා ගත්තේ. ඒ ලැබුණු අවස්ථාව මගේ රංගන ජීවිතේට ලොකු ශක්තියක්. ඇය විතරක් නෙවෙයි ධර්මප්‍රිය ඩයස් වැනි හුඟ දෙනෙක් එක්ක එකට වැඩ කරන්න ලැබුණා. දිනූ චරිතය නිසා මම ගොඩක් ටෙක්නික් ඉගෙන ගත්තා. මුල් දවස් දෙක තුනේ මට නුහුරු වුණාට ඊට පස්සේ මම දිනූම තමයි.


සිනමාවෙන් දකින්න ලැබෙන නිර්මාණ මොනවද?


සිනමාවේ වුණත් මාව ලොකුවට දකින්න ලැබෙන්නේ නැහැ. මට පිටපතක් දැනුණොත් සහ මට මේක කරන්න පුළුවන් කියලා හිතට ආවොත් මම චරිතය භාර ගන්න කෙනෙක්. පහුගිය දවසක මම Swans by the Sea කියලා ෆිල්ම් එකක් කළා. අධ්‍යක්ෂණය කළේ අමල් අල්විස්. මම හිතන්නේ මගේ ජීවිතේ මම කරලා තියෙන හැම වැඩක්ම ෆස්ට් ටයිම් අධ්‍යක්ෂණය කරන අයගේ වැඩ කරලා තියෙන්නේ. ලංකාවේ ප්‍රවීණ කියන අධ්‍යක්ෂවරු එක්ක මම වැඩ කරලා නැති තරම්. අමල් අල්විස්ගේත් පළමු සිනමා අධ්‍යක්ෂණය. චන්න දේශප්‍රිය අයියා කැමරාකරණය කළේ. ඒ චිත්‍රපටයේ මට ලැබුණු චරිතය ගැන විග්‍රහ කරද්දී මම සෑහෙන ඇල්මක් දැක්වුවා. චිත්‍රපටයේ කතා තේමාව ගත්තත් වෙනස් බව දැනුණා. එනිසා මම ඒ චිත්‍රපටය කළා.


යුරේනිව වැඩිය චරිතවලින් දකින්න නොලැබෙන්නේ චරිත තෝරන නිසාම ද?


නැහැ. හේතු දෙකක් තියෙනවා. මගේ ගාණ ගෙවනවා නම් මම ඒ චරිතය කරනවා. මොකද අපි ජීවත් වෙන්නත් එපැයි. නැත්නම් මගේ ගාණ ඉක්මවා යන විදි‍ෙහ් චරිතයක් නම් මම ඒ චරිතය මට ලැබෙන මුදලට කරනවා. මම එහෙම චරිත කරලා තියෙනවා. ඒ චරිතය ගුණාත්මක නම් මම මුදල ඉස්සර කර ගන්නේ නැහැ. හැබැයි චරිතයේ දෙයකුත් නැතුව මගේ ගාණත් ගෙවන්න බැරි නම් මම එහෙම චරිත භාරගන්නේ නෑ.


යුරේනි රඟපානවා, සින්දු කියනවා, නිවේදනය කරනවා, මේ දේවලින් වැඩියෙන්ම කැමති මොකටද?


රඟපාන්න තමයි මම වැඩියෙන්ම කැමති. මෙහෙම දෙයකුත් තියෙනවා. කෙනෙක් ට හිතෙන්න පුළුවන් රඟපාන්න ගොඩක් අවස්ථා එනවා මම ඒ අවස්ථා සියල්ල මඟහරිනවා කියලා. හැබැයි එහෙමම නැහැ. මට ලැබෙන අවස්ථා සීමිතයි. සමහර වෙලාවට මගේ අය කිරීම වැඩි නිසා මට කතා නොකරනවා වෙන්නත් පුළුවන්. රඟපාන්න ලැබෙන අවස්ථා සීමිතයි. ඒ සීමිත චරිතවලින් 90%ක්ම වගේ මම කරලා තියෙනවා. මම රඟපාන්න ආස වුණත් මේ කාලයේ නම් වැඩියෙන්ම කරන්නේ නිවේදන කටයුතු තමයි.


යුරේනි කියන්නේ ස්වාධීනව ජීවත් වෙන චරිතයක් නේ. ගැහැනු ළමයෙක්ට එහෙම ජීවත් වෙන්න පුළුවන්ද?


මම විශ්වාස කරනවා සංසාරේ මොකක් හරි පිනක් කරලා ඇති ගල් පර්වතයක් වගේ ඉන්න. ලංකාවේ වගේ රටක එහෙම ගැහැනු ළමයෙක්ට තනියම ජීවත් වෙන එක ලෙහෙසි නැහැ. මට හරි සැහැල්ලුවෙන් කියන්න පුළුවන් මයි කාර් මයි පෙට්‍රල් කියලා. ඒක කියන තරම් ලෙහෙසි නැහැ. අපි ඉන්නේ හොඳ සමාජයක නෙවෙයි. තනියම හැමදේම කරගෙන ජීවත් වෙන්න හයිය හදවතක් තියෙන්න ඕනේ. මොන දේ වුණත් දරාගෙන ඉස්සරහට යනවා කියන ආත්ම විශ්වාසය තියෙන්න ඕනේ. එහෙම තියෙන ඕනෙම ගැහැනු කෙනෙක්ට මොකක් හරි ගේමක් ගහ ගන්න පුළුවන්. එකම දේ තමයි තමන්ට තමන්ම සොරි කිව්වොත් එතැන තමයි වැටීම. අනේ මට මේ දේ නැහැ අරක නැහැ කියලා හිතුවොත් ඉවරෙටම ඉවරයි.


හැමදාම ඔහොම තනියම ඉන්නද කල්පනාව


නැහැ. බලමු ඉතින් අවුරුදු 50දී හරි නිවැරදි කෙනා හමුවුණොත් බඳියි.


වාහනයක් දැක්ක හීනේ නම් සැබෑ කර ගත්තා නේද?


ඔව් ඔව්. පොඩි පොඩි හීන සැබෑ කරගෙන තියෙනවා. මේකයි අපි හීන සැබෑ කර ගනිද්දී පොඩි ආතල් එකක් තියෙනවා. ඒක තමන්ගේ ඊගෝ එකට හොඳයි. නමුත් මනුස්සයෙක් විදිහට සතුටු වෙන්න ඕනේ. තමන් තනියම ඉන්න කොට තමන්ට මොන දේ තිබ්බත් තමන්ට හදවතට එකඟව සතුටු වෙන්න පුළුවන් සාර්ථක මනුස්සයෙක්. මගේ ජීවිතේ දැනට මට සීයට සීයක් මම සාර්ථකයි කියන්න බැහැ. මම තනියම ඉන්න වෙලාවට මම සීයට සීයක් සතුටු වෙන්නේ නැහැ. ඒ නිසා මම දකින්නේ යම්තාක් දුරට සාර්ථක වුණු කෙනෙක් විදිහට.


අනුෂා රණසිංහ



Previous Post Next Post