පුබුදුගේ වාහනේ ඇමිණී සැනට් දිවි ගලවාගත් විදිය

 

sanet-dikkumbura

ජයන්ත චන්ද්‍රසිරිගේ 'අත්' නාට්‍යයේ සැනට් දික්කුඹුර රගපෑවේ බාර් කීපර්වරයකුගේ චරිතයකි. එක් මොහොතක කෝපයෙන් වියරු වැටී එතැනට කඩා වදින ශ්‍රියන්ත මෙන්ඩ්ස් බාර් එක තුළ සිටින සැනට්ව ගන්නා අතර, ඒ සමහම කෙළවරක ගැට ගසන ලද අත් දෙකින් අල්ලා විදුලි වේගයෙන් එළියට ඇද ගල්කැටයක් ලණුවකින් කරකවන්නා සේ සැනට්ව තුන්වරක් වේදිකාවට ඉහළින් කරකවා බිම තබන්නේ තේන්නියෙන් පොළවේ ගසන අයුරිනි. කොහොමටත් ප්‍රේක්ෂකාගාරයේ සිට අඩි හතරක් පමණ ඉහළින් වූ නාට්‍ය වේදිකාවේ උසටත් වඩා අඩි තුනක් පමණ ඉහළ උසකින් මේ ආකාර ප්‍රවේගකාරී රංගනයක යෙදෙන සැනට් හා ශ්‍රියන්න ඒ මොහොතේ ප්‍රේක්ෂකයන් තුළ ඇති කරන්නේ අනපේක්ෂිත සන්ත්‍රාසයකි. ඉතාමත් වෙහෙසකාරී රංගන අභ්‍යාසයක් වන මෙය හරියටම නිතට අවසන් කරන ඔවුන් දෙදෙනා සිය ශරීර සමබර කර ගනිමින්ද මානසික නොසන්සුන්තාවයකින් තොරවද, එතැන් සිට දිගින් දිගටම සිය රංගනය ඉදිරියට කරගෙන යන්නේ කිසිදු වෙහෙසක් නොපෙන්වමිනි.



මෙම අවස්ථාව සඳහා බාර් එකෙහි වූ කුඩා බංකුවකට දෙපා තබා වෙර ගන්නා සැනට් තමා පිළිබඳ පූර්ණ වගකීම ශ්‍රියන්තට පවරා ලිහිල්කර ගන්නා කයෙන් යුතුව ඔහු වෙතට
පනියි. එසේ කරනු ලබන්නේ බැරිවීමකින්වත් ශ්‍රියන්තට තමාව අත හැරුණහොත්, හතර හන්දි කැඩී බිඳී සදාකාලික අබ්බගාතයකු වීමට ඉඩ ඇති බව සම්පූර්ණයෙන් අමතක කරමිනි.

ඒ මොහොතේදී තමා කෙරෙහි එවන් අසීමිත විශ්වාසයක් තැබීම පිළිබඳව සැනට් කෙරෙහි මහත් ගෞරවයකින් යුතුව ශ්‍රියන්ත මෙන්ඩිස් අප සමගද කතා කර තිබේ.ජාතික රූපවාහිනියෙන් විකාශනය වූ ළමා ටෙලිනාට්‍ය මාලාවක ලොක්කෙ මාමා වූයේද සැනට්ය

මේ අවස්ථාව පිළිබඳ අප වැඩි අවධානයකින් කතාබහ කරනු ලබන්නේ දර්ශනවාර තුන්සියයකට ආසන්න වූ 'අත්' නාට්‍ය වේදිකාවේදී අන් කිසිම නළුවකුට සැනට් නොමැති අවස්ථාවකදී ශ්‍රියන්තගේ දෙඅත්වල රැඳී එකී රංගනයේ යෙදෙන්නට හැකියාවක් නොතිබිණි. ඔහු එම අසීරු අවදානම් රංගනයේ යෙදෙන්නේ තමා විසින් අතීතයේ දිනක ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවේදී දෙස් විදෙස් ප්‍රවීණයන්ගෙන් ලැබූ සුවිශේෂ පුහුණුවක්ද මුල් කර ගනිමිනි.



ඉන් ප්‍රධාන වන්නේ තම කය ලිහිල් කර ගනිමින් අනෙක් සහෝදර නළුවා කෙරෙහි පූර්ණ විශ්වාසය තැබීමයි.
එදා එම වැඩමුළුව සඳහා ඇමෙරිකන් ජාතික නාට්‍ය ශිල්පීන් අට දෙනකු සහභාගි වූ අතර, ඒ සඳහා ට්‍රිලීෂියා ගුණවර්ධන, ස්වර්ණා මල්ලවආරච්චි ඇතුළු එවකට යම් ප්‍රසිද්ධියකට පත්ව සිටි නළු නිළියක් කිහිප දෙනකුද පැමිණ
සිටි බව ඔහු කියයි.

''ඒ මහත්තුරු අපි එක එක්කෙනා වේදිකාවේ කෙළවරට කැඳවලා, දැන් පිටුපසට හැරෙන්න කිව්වා. ඊට පස්සේ ඇඟ පණ නැති කරල පිටුපසට ඇදගෙන වැටෙන්න කිව්වා. බිම වැටෙන්න නොදී ඒගොල්ල අපිව අල්ලා ගන්නම් කියලා "

වේදිකාවේ ඉදිරිපස කෙළවර සිට ප්‍රේක්ෂකාගාරය දෙසට ඇද වැටෙනවා යනු කෙස් ගසක පමාවෙන් මරණීය අනතුරකට ලක්වීමකි. පළමු කැඳවීම එහෙත් දෙපාරක් නොසිතූ සැනට් මොහොතකින් පිටුපසට ඇද වැටුණේ සියලඟම පණ නැති කර දමමිනි. අසුරු සැණෙකින් සුද්දන් කිහිප දෙනකුගේ දෙඅත්වලින් ඔහුව සුරැකිව අල්ලා ගන්නා ලද අතර,

මේ පුංචි මිනිසා තුළ වූ විශාල ශක්තිය පිළිබඳව ඔවුන් මහත් ප්‍රසාදයකට පත්ව තිබුණහ. රංගනයට අමතරව වේදිකා පරිපාලනයද හැදැරූ සැනට්, ධම්ම ජාගොඩගේ 'කොරා සහ අන්ධයා' නාට්‍යයේද, සුගතපාල ද සිල්වාගේ 'දුන්න දුනු ගමුවේ නාට්‍යයේ වේදිකා පරිපාලකවරයා ලෙස මෙන්ම නිෂ්පාදන කළමනාකරු ලෙසද කටයුතු කළේය. හෙතෙම ජයන්ත චන්ද්‍රසිරිගේ 'මෝරා' නාට්‍යයේ අංග රචනය කිරීමෙන් රාජ්‍ය සම්මානයට පාත්‍ර වූ අතර එහි පසුතල නිර්මාණයෙහිද, තවදුරටත් සුළු චරිත නිරූපණයකද නිරත වූවා. මේ ආකාරයට සිංහල නාට්‍ය වේදිකාවට සමාන්තරව ඔහු මෙතෙක් ආ ගමන් මඟ දශක පහකට වැඩි වුවද ඔහු විසින් රඟපා ඇති සහ සම්බන්ධ වී ඇති නාට්‍ය අතර කොරා සහ අන්ධයා, සෙක්කුව, පරස්තාව, අත්, මෝරා, දුන්න දුනුගමුවේ, ගඟට උඩින් කොක්කු ගියා සහ දැති කියත ආදී නාට්‍ය ගණනාවකි.

වේදිකා නාට්‍යය හැරුණු කල ධර්මසේන පතිරාජගේ අහස් ගව්ව, ස්වරූප සහ සක්කාරං, ප්‍රසන්න විතානගේගේ පවුරු වළලු මෙන්ම පසුව නව නිෂ්පාදනයක් ලෙස එළිදුටු කොළඹ සන්නිය චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් ද ඔහු විසින් නිරූපණය කළේය. ඊට අමතරව කලකට ඉහත ජාතික රූපවාහිනියෙන් විකාශනය වූ ළමා ටෙලිනාට්‍ය මාලාවක ලොක්කෙ මාමා වූයේද සැනට්ය. මේ හැරුණු කල මෑත යුගයේ විකාශනය වූ මෙගා ටෙලි කීපයකද ඔහු විසින් චරිත නිරූපණය කළේය. මේ සමග කිවයුතු තවත් දෙයක් වන්නේ සෙක්කුව නාට්‍යයේ ආරම්භක නළුවකු වූ ඔහු එහි චරිත පහක් නිරූපණය කළ බවයි.

මේ මොහොත වන විට ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කරන නවතම චිත්‍රපටයේ ගරාජ් බාස් කෙනකුගේ චරිතයක් රඟන සැනට්, මෙහිදී ද, ඉදිරිපත්ව ඇත්තේ විදෙස් රටක නම් අනිවාර්යයෙන්ම ස්ටන්ට් කෙනෙකු පෙනී සිටින අනතුරුදායක දර්ශනයකටයි. එතනදී ඉදිරිපත් කෙරෙන්නේ පිටු පසින් වාහනයක් යටට රිංගා එහි යම් අලුත්වැඩියාවක් කරද්දී, ඔහුගේ ගෝලයා වන පුබුදු චතුරංග මේ බව නොදැන වාහනය පණ ගන්වාගෙන සිය පෙම්වතිය පසුපස යන අවස්ථාවකි.

ඒ හේතු කොට ගෙන සැනට්වද වාහනය සමග ඇදී යයි. අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ විසින් යාර දෙකක් ඇදී යද්දී වාහනය අත හරින ලෙස තබා ඇති සලකුණ සැනට් දැක නැත. දර්ශනය අවසන් වී ඇත්තේ වාහනය යාර සියයක් පමණ ඇදී යෑමෙන් පසුවයි. හැබැයි දෙයි යන්නේ පිහිටෙන් සැනා කුඩු හමවත් නොකැඩී හිනාවෙමින් එළියට ආවේය.

තිස්ස ප්‍රේමසිරි

Previous Post Next Post