මිනිස්සු ජීවිතේට එනවා යනවා ,එයින් ජීවිතේට අත්දැකීම් එකතු වෙනවා- නිවර්තනා දේවගේ



කලකට ඉහත අපි අතර ගොඩක් ජනප්‍රිය වෙච්ච සිනමාපටයක් තමයි ‘A/L‘ චිත්‍රපටය කියන්නේ. ‘A/L‘ චිත්‍රපටය තුළින් සිනමාවට ප්‍රවිෂ්ට වුණා බොහොම හැඩකාර රූමතියක්. ඇය නමින් නිවර්තනා දේවගේ. ටෙලි නාට්‍ය රැසකම රංගන දායකත්වය ලබා දුන් ඇය නර්තනයටත් ඉතාම දක්ෂයි. ‘ලෝකා’ නාට්‍යයේ ඇය රංගනයෙන් දායක වුණ ප්‍රසාදිගේ චරිතය වෙනුවෙන් ඇය රයිගම් ටෙලීස් සම්මාන උලෙළ 2022 හි වසරේ නැගී එන ටෙලි නාට්‍ය නිළිය ලෙසින් සම්මාන ද ලැබුවා. මේ දිනවල අන්දරේ හි රන්සිනා ලෙසින් පුංචි තිරයෙන් ප්‍රේක්ෂකයින් අතරට එන නිවර්තනා සිනමා නිර්මාණ කිහිපයකටම දායක වී තිබෙනවා.


මේ පුංචි තිරයෙන් ඔබව දකින්න ලැබෙන නිර්මාණ මොනවද?


මේ දවස්වල පුංචි තිරයේ විකාශය වනවා හවස 6ට අන්දරේ ටෙලි නාට්‍යය. එහි අන්දරේගේ නෑනාගේ චරිතය වන රන්සිනාගේ චරිතය කරන්නේ. වෙනස් විදියේ වැඩක්. ඒ තුළින් මම ලබන්නේ වෙනස්ම අත්දැකීමක්. අපේ ඇඳුම් පැලදුම් කතාබහ කරන දෙබස් මේ හැමදෙයක්ම මට අලුත් අත්දැකීමක් ගෙන දුන්නා.


දැන් රංගනයට ඇවිත් කොච්චර කාලයක් වෙනවද?


මේ ක්ෂේත්‍රයට ආවේ 2015 / 2016 කාල සීමාව ඇතුළේ රොහාන් පෙරේරාගේ A/L කියන චිත්‍රපටයෙන්. සිනමාවට තමයි මම මුලින්ම එන්නේ. දැනට අවුරුදු 9ක් 10ක කාලයක් වෙනවා මේ ක්ෂේත්‍රයට ඇවිත්.


මේ කාලය තුළ ලැබුණු නිර්මාණ ගැන තෘප්තිමත් ද?


මම තෝරා ගන්නවා නම් තෝරා ගන්නේ මම තෘප්තිමත් වෙන නිර්මාණ විතරයි. ජනප්‍රියත්වයට වඩා කැමති රස වගේම බර කතා තමයි තෝරා ගන්නේ. මම තෘප්තිමත් වීම ඇතුළේ තමයි මට සාධාරණයක් කරන්න පුළුවන් වෙන්නේ. විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු එක්ක තරමක් මම කාර්යබහුල වීම නිසා නිර්මාණ කටයුතුවලින් ඈත් වෙන්නත් සිද්ධ වුණා. නමුත් ආයෙම මම වැඩ කරන්න පටන් අරන් තියෙන්නේ.


සිනමාවට ලැබුණු ඉඩ කොහොමද?


රොහාන් පෙරේරාගේ A/L චිත්‍රපටයෙන් සිනමාවට ආවේ. ඊට පස්සෙත් රොහාන් පෙරේරාගේම ඊළඟ චිත්‍රපටයටත් රංගනයෙන් දායක වුණා. ඒ නිර්මාණය එන්න තියෙනවා. ආරියරත්න ඇතුගලගේ ‘සහෝ‘ චිත්‍රපටයට මම දායක වුණා. ඒ එක්කම රංගනයෙන් දායක වුණු සොලෝ ටවුන් චිත්‍රපටය එන්න තියෙනවා. තව අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කරන නාමල් ජයසිංහ තිර රචනා කරන ධාරා හි මටත් භූමිකාවක් ලැබුණා. එහි රූගත කිරීම් මේ මාසේ ආරම්භ වෙනවා.


චරිත තෝරා බේරා ගන්නේ කොහොමද?


මම කැමති රසවත් වගේම හරවත් නිර්මාණ කරන්න. කලාව කියන්නේ මිනිසුන්ගේ ඔළුවලට දිගු කාලින බලපෑම් කරන්න පුළුවන් මාධ්‍යයක්. ඒ වගේ ලොකු ශක්තියක් කලාවට තියෙනවා. ඒ නිසා රසවත් වගේම ඒ තුළ තියෙන්න ඕනේ මිනිසුන්ට දැනෙන අලුත් අත්දැකීමක් සහ අලුතින් හිතන්න පුළුවන් විදියේ කෑල්ලක්. මම චරිතයක් තෝරා ගනිද්දී මම බලන්නේ මගේ කොටසට වඩා සමස්ත නිර්මාණය ගැන. හරවත් රසවත් නිර්මාණ තමයි මගේ තේරීම වෙන්නේ.


වේදිකාවේ මේ දවස් වල මොකද වෙන්නේ?


මේ දවස්වල නම් වේදිකාවෙන් තරමක් ඈත් වෙලා ඉන්නේ. විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ ඉඳන් මට බැරි වුණා වෙදිකාවට සම්බන්ධ වෙන්න. නමුත් ෆෝරම් තියර්ටර් කියන වේදිකා නාට්‍යය කැටගරි එකේ මම වැඩ කරනවා. මම ආදරේම වේදිකාවට. නමුත් අධ්‍යාපන කටයුතු එක්ක මට තරමක් ඈත් වෙන්න වුණා. මගේ උපාධිය රංගනයට හාත් පසින්ම වෙනස්.


වැඩි කැමත්ත සිනමාවට ද?


ඔව්. මම මේ ක්ෂේත්‍රයට අවතීර්ණ වුණේම සිනමාවෙන්. ඒ නිසා වෙන්නත් පුළුවන්. ඒ එක්කම නිර්මාණය පැත්තෙනුත් වැඩිබරක් ලැබෙනවා සිනමාව ඇතුළේ ඒ නිසා මම වැඩියෙන්ම කැමති නම් සිනමාවට.


ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?


සොලෝ ටවුන් සහ ධාරා චිත්‍රපටය. ආරියරත්න ඇතුගලගේ සිසිවන වූවන කියන ටෙලි නාට්‍යය එන්න තියෙනවා. සැප්තැම්බර් මාසයේ සුමිත් රත්නායක එක්ක අලුත් වැඩක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.


දිගටම රඟපාන්නද බලාපොරොත්තුව?


ඔව් මම ආසයි රඟපාන්න. ඒ එක්කම මගේ M Phil එකට විදෙස් ගත වෙන්නත් ඉන්නවා. එතෙක් ලැබෙන නිර්මාණ සහ එතැනින් පස්සේ ලැබෙන නිර්මාණත් එක්ක මම දිගටම ඉඳියි.


රංගන ශිල්පිනියක් නොවුණා නම් කවුරු වෙන්න තිබ්බද?


පොඩි කාලේ ඉඳන්ම මගෙ ආශාව වුණේ කථිකාචාර්යවරියක් වීම. රංගනය මම කවදාවත් වෘත්තීය කර ගන්න කැමති නැහැ. රංගනය කියන්නේ මම ආදරේ කරන කොටසක්. මගේ විනෝදාංශය, මම නිවෙන තැන තමයි රංගනය.


පෞද්ගලික ජිවිතේ නිවර්තනා මොන වගේ චරිතයක් ද?


ඒක ටිකක් බරපතළ ප්‍රශ්නයක්. මට දෙන්න තියෙන උත්තරේ මම, මම වගේ කියලා. හොඳ ඉවසීමක් තියෙන ටිකක් හිතුවක්කාර චරිතයක්. ඒක හරි අමාරු ප්‍රශ්නයක්. ඇත්තටම මම වගේ.


ආදරේ අත්දැකීම් ඇති, ආදරේ දකින්නේ කොහොමද?


ආදරේ ගැන අත්දැකීම් ගොඩක් තියෙනවා. මිනිසුන් ජීවිතේට එනවා. ආදරණීය මතක එකතු කරනවා. ඒ ආදරණීය මතක ඉතුරු වෙනවා. ආයෙමත් අපේ ජිවිතවලින් යනවා. ආදරේ කියන්නේ ලස්සන අත්දැකීම්. ලස්සන මතක ගොඩක එකතුවක්. ඒ හමුවුණු ආදරණීය මිනිසුන්ගෙන් ලැබුණු අත්දැකීම් මට මගේ ජීවිතේට සැහෙන්න වටිනාකම් එකතු කරනවා. මම ජිවිතේ දිහා ආදරේ දිහා බලන විදිය සම්පූර්ණයෙන්ම වග කිව යුතු පුද්ගලයින් තමයි මට හම්බුණු ආදරණීයන්. ඒ ආදරණීය මතක මගේ ගාව පරිස්සමට තියෙනවා. ආදරේ කියන්නේ මට වචන කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මට ආදරේ කියන්නේ ලස්සන හැඟීමක්. ඒ නිසා ඒ හැඟීම වචන කරන්න බැහැ. වචන කළොත් ඒ හැඟීම හිරවෙනවා. ආදරේ කියන්නේ දැනෙන හැඟීමක්. හැඟීම් කවදාවත් වචන කරන්න බැහැ.


ක්ෂේත්‍රයේ ඉද්දි සමහර වෙලාවට කටකතා ගොසිප් හැදෙන්න පුළුවන්, ඒ ගැන මොකද හිතන්නේ?


මට කවදාවත් හැමෝම සතුටු කරන්න බැහැ. මට වැදගත් වෙන්නේ මම සතුටින්ද කියන එක විතරයි. මම මොනවා කළත් හොඳ කියන සහ දොස් කියන මිනිසුන් ඉන්නවා. කවදාවත් අපිට මේ ලෝකයම තෘප්තිමත් කරන්න අමාරුයි. කොහොමත් කටකතා නිසා මාව මානසිකව වට්ටන්න කාටවත් බෑ.. මට උත්තර දෙන්න ගියොත් ජිවිත කාලෙම ඒ දේවල්වලට උත්තර දිදී ඉන්න වෙයි. මම වැරදි නැහැ කියන විශ්වාසය මට තියෙනවා නම් මම මානසිකව බිඳ වැටෙන්නේ නැතුව ශක්තිමත්ව ඉන්න පුළුවන් වෙයි. මම සතුටු නම් එච්චරයි.


රංගනයට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?


මුලදී නම් ලොකු සහයෝගයක් ලැබුණේ නැහැ. රොහාන් පෙරේරා දමින්ද මඩවල ඇතුළු පිරිස මගේ පාසලට මගේ ගෙදරට ලියුම් එව්වා මාව A/L චිත්‍රපටයට කැමති කරවා ගන්න. අප්පච්චි කැමති කර ගන්න. හෙට රූපගත කිරීම් සිදු වෙනවා නම් අද තමයි අපේ ගෙදරින් අවසර ලැබෙන්නේ. මගේ පළමු චිත්‍රපටයේ මංගල දර්ශනයට මට යන්න දුන්නේ නැහැ.



Previous Post Next Post