කෙටියෙන්ම කිව්වොත් මම මාව මේන්ටේන් කරනවා-ටශ්නි පෙරේරා




රියැලිටි තරඟවලින් කොතරම් ගායක ගායිකාවන් සංගිත ක්ෂේත්‍රයට සම්බන්ධ වුණත් ඒ තරු ලකුණු පවත්වාගෙන යන්නේ අතලොස්සයි. මේ ඒ වගේ තරුවක්, හැමෝම අතරේ දන්න චරිතයක් නොවුණත් ඇයව රූපයෙන් වගේම කට හඬින් බොහෝ දෙනෙක් හඳුනනවා. ඇය ටශ්නි පෙරේරා. මිහිරි ලයාන්විත හඬක් ඇති ඇය බිහි වෙන්නේ දෙරණ ඩ්‍රීම්ස්ටාර් සීසන් තුන තරගයෙන්. මේ කතාබහ ඇය ගැන හා ඇගේ පුංචි පවුල ගැනයි.


ටශ්නි ගායිකාවක් විදිහට ප්‍රසිද්ධ වෙන්නේ වසර ගණනාවකට කලින්. දැන් එදා වගේම ජනතාව අතර ඉන්න ගායිකාවක් ද කියලම අපි කතාබහ පටන් ගමු..?


දෙරණ ඩ්‍රිම්ස්ටාර් තුන්වෙනි සීසන් එකේ හතරවැනි ස්ථානය මට හිමි වුණත් රසික ප්‍රතිචාර හරි ආදරණීය විදිහට එදා ලැබුණා. ඒ ගමන කටුක අත්දැකිමක්. නමුත් ජිවිතේට ගොඩක් දේවල් ඉගෙන ගත්තා. හැමෝම එක්ක එකතු වෙලා වැඩ කරන්නෙ කොහොමද, සංගීත ජීවිතේ කොහොමද පවත්වාගෙන යන්නේ කියන එක ඩ්‍රීම්ස්ටාර් තරගාවලිය තුළින් ඉගෙන ගත්තා. ඇත්තටම ඒක ලොකු පාඩමක්. ඒ නිසා අද මම යම් තැනක ඉන්නවා. ඒ ගැන අදටත් සතුටු වෙන්න පුළුවන්. ඒ නිසාම වෙන්න ඇති එදා වගේම මාව හඳුනාගෙන මගේ ගීත රසවිඳිමින් රසිකයින් මාත් එක්ක ඉන්නේ


ඔබේ නමට වඩා ඔබව හඳුනන්නේ රූපයෙන් කිව්වොත්..?


මාව ඒ කාලේ අඳුනගත්තේ පැරණී ගීත කියන ටශ්නි කියලා. ටශ්නි කිව්වම එහෙම ලොකුවට ඔළුවට යන්නෙ නැහැ. මමත් හරි ආසාවෙන් පැරණී ගීත රියැලිටිකරණය තුළදි භාවිත කළා. ඒ කාලේ මාව එස්. එම්. එස් මනාපවලින් ඉදිරියට ගෙන ආවේ ඒ ගීත ගැයූ නිසයි. මොකද මගේ ප්‍රේක්ෂකයන් වුණේ තරුණ අය නෙමෙයි, වැඩිහිටි අය. මම රුක්මණී දේවි මහත්මියගේ ගීත ගැයුවෙත් එතුමිය වගේ විලාසිතා වලින් සැරසිලා. ඒ නිසා හැමෝම මට කතා කළේ අර පැරණි ගීත කියන ටශ්නී නේද කියලයි. නමට වඩා මාව හඳුනා ගත්තේ රූපයෙන් කිව්වොත් ඇත්තටම හරි.


රියැලිටි තරගවලින් තරු බිහි වුණත් ඒ තරු පැවැත්ම හදාගෙන ක්ෂේත්‍රයේ රැ‍ෙඳන බවක් පෙන්නේ නැහැ. ඔබ ඔබව මේන්ටේන් කරනවද..?


අපිව තැනක ගෙනැත් තිබ්බට පස්සේ අපි දැනගන්න ඕන අපේ චරිතය ගොඩ නඟාගන්න. අපේ ඉමේජ් එකක් හදාගෙන අපිට ආවේණික රටාවකට අපේ ගමන යන්න ඕන. ඒ වගේම මුදලුත් තියෙන්න ඕන. මුදල් වියදම් කරන්න ඕන ගීත හදන්න. අපිට ඕන තැනකට එන්න ඒ වගේම වාසනාව බලපානවා දක්ෂතා බලපානවා. රියැලිටි වැඩසටහනකින් ආවා කියලා ඔන්න මම ආවා මාව අරන් යන්න කියලා බලාගෙන ඉන්න බැහැ. මමත් මගේ ගීත කළා. ඉදිරියේදිත් හොඳ නිර්මාණ කරන්න බලාපොරොත්තු වෙනවා. මට ඉලක්කගත බලාපොරොත්තුත් තියෙනවා. මමත් දැන් මේ ගමන යන්නේ මගේ උත්සාහයෙන් තමයි. කෙටියෙන්ම කිව්වොත් මම මාව මේන්ටේන් කරනවා.


ප්‍රසංග වේදිකාවට තියෙන ඉල්ලුම කොහොමද ..?


ප්‍රසංග වේදිකාවලට තමයි මට හොඳ ඉල්ලූමක් තියෙන්නේ. පහුගිය අවුරුදු දෙකේ ඉඳලා මම ප්‍රසංග වේදිකාවේ දිගටම ඉන්නවා. ඒ වගේම නිතරම රූපවාහිනී වැඩසටහනවලට ආරාධනා ලැබෙනවා. තරගෙන් පස්සේ මම වැඩිපුර ප්‍රේක්ෂකයන් අතරට ගියේ වැඩසටහන්වලින්. මොකද නිතරම පේනකොට ගීත ඇහෙනකොට අපිව මතක් වෙනවා. ඒ වගේම සංගීත ප්‍රසංගවලට සම්බන්ධ වෙනවා.


ටශ්නි දැන් පුතෙක් ඉන්න මවක්. කොහොමද ඔබට ඔබේ ආදරණීය සැමියා මුණගැහෙන්නේ කියලත් කියමු..?


විවාහ වෙන්නේ ආදරේ කරලා. එයා ව්‍යාපාරිකයෙක්. අපිට පුතෙක් ඉන්නවා . මට මගේ සැමියාව මුණගැහෙන්නේ ෆේස්බුක් එකෙන්. මම ගායනය කරන කෙනෙක් කියලා එයා දැනගෙන හිටියේ නැහැ. මම ඒ දවස්වල නිහඬව හිටපු කාලයක්. අපි ආදරේ කරලා එකිනෙකාව තේරුම් ගත්තට පස්සෙ විවාහයට ඔහු සුදුසු කෙනෙක් කියලා තේරුණා. ඒ නිසා මගේ ජීවිතේ එක්ක යහපත් ජීවිතයක් ගත කරන්න ඔහු සැමියා කර ගත්තා. ඉතිං මම විවාහ වුණාට පස්සේ එයා මගේ හඬේ දක්ෂතා දැක්කා. මම සංගීතය අත හැරපු කෙනෙක්. එයා තමයි ආ‍ෙයමත් සංගීතයට සම්බන්ධ වෙන්න හේතුවක්, හයියක් වුණේ.


ඔබ කිව්වා ඔබ ආයෙමත් කට හඬින් ජනතාව අතරේ ඉන්නේ සැමියා නිසා කියලා. උදව් වගේම නිතී රාමු අස්සෙද ජීවත් වෙන්නෙ..?


අද ගොඩක් වියදම් කරන්න ඕන ගීත කරන්න. මම කලින් කිව්වා වගේ. ඒ වියදම් දරන්නේ මගේ සැමියා. එයා තමයි කියන්නේ මෙහෙම අඳින්න, මෙහෙම කරන්න කියලා. මම අඳින විලාසිතාවලටත් ඔහු එකඟ වෙනවා, කවදාවත් මට නීති දාලා ඒ රාමු අස්සේ ඉන්න කියලා නැහැ. හරි සිම්පල් විදිහට රිලැක්ස් එකේ මේ ගමන යන්න දෙනවා. මයින්ඩ් රිලැක්ෂේශන් එක මේ ෆීල්ඩ් එකේදී අවශ්‍ය ම දෙයක්. අපි ඩීල් කරන්නේ ප්‍රේක්ෂකයන් එක්ක. එතකොට නිදහස තියෙන්න ඕන. ඒ සැනසිම එයා මට දෙනවා. ඔහු නීති නොදැම්ම නිසා තමයි මාව ආයේ දකින්නෙ.


මගේ සැමියා කවදාවත් මාව අප් කරලා තියන කෙනෙක් නෙමෙයි. ඔහු මගේ අඩු පාඩුමයි දකින්නේ. ඒක හොඳ පුරුද්දක්. ඒ නිසා තමයි මම ඒවා හදාගෙන මේ ගමන යන්නේ. ඒක මම හොඳ පැත්තකට මම හරවා ගත්තා


ජනප්‍රියත්වය උදෙසා කටයුතු කරන බොහෝ දෙනෙක් පවුලට මූලිකත්වය දෙනවා අඩුයි කියනවා. ඔබත් එහෙම ද..?


මම හැමදාම පවුලට මූලිකත්වය දුන්නු කෙනෙක්. හැම කෙනෙකුම මුලින්ම හිතන්න ඕන පවුල ගැන. මම ඒක මගේ හස්බන්ඩ්ට මුලින්ම කියපු දෙයක්. ඊට පස්සේ තමයි අනිත් දේවල්. මොන දේ වුණත් මම මුලින්ම පවුල ගැන හිතලා තමයි අනිත් දේ කරන්නේ. ඒ නිසා මට ගොඩක් අලාභ දේවල් වෙලා තියෙනවා. ඒත් ඒවා අලාභයක් කියලා මම භාර ගන්නෙ නැහැ , මොකද මට පවුල එක නිසා


විවාහ වෙලා කියලා දැනගෙනත් ආදරේට යෝජනා කරන රසිකයන් ඇති..?


ගොඩක් ප්‍රපෝසල්ස් එනවා. ඒක ගැහැණු ළමයින්ට සාමාන්‍ය දෙයක්. ඒ අවස්ථාවේ හැටියට මම ස්කිප් කරන හැටි, මඟ හරින හැටි හරි පරිස්සමින් කරන්නේ. මම තරහා ගන්නෙ නැහැ. ෂේප් එකේ හැමෝම තියාගෙන ඒ වගේ ප්‍රශ්නවලට මුහුණ දෙනවා. ප්‍රේක්ෂකයෝ අපිට හරි ආදරෙයි. ඒ නිසා මොකුත් කියන්න අපහසුයි. සුහදව ඒ යෝජනා ප්‍රතික්ෂේප කරනවා.


ඔබව මේන්ටේන් කරන්න රූපය ගැනත් විලාසිතා ගැනත් ඔබ වැඩිපුර හිතන කෙනෙක් ..?


මම කෑම බීම ගැන ගොඩක් දුරට හිතන කෙනෙක්. මම කෑම ළඟින් ගියත් මහත් වෙන චරිතයක්. ඒ නිසා පැණි රස වැඩිය නොකා කෑම බීම තෝරා බේරාගෙන කනවා. ඒ වගේම සතියට දවස් තුනක් විතර බර මනිනවා. බර මැනලා බර වැඩියි නම් කෑම පාලනය කර ගන්නවා. මම ඒ දේ කරන්නේ මගේ දක්ෂතා මේන්ටේන් කරනවා වගේම චරිතය මේන්ටේන් කරන්න ඕන නිසයි. රූපය ගැන හරි සැලකිලිමත්. මම ආසයි විලාසිතා කරන්න. ඒකට හස්බන්ඩ් ගෙන් තහනමකුත් නැහැ. ඒ නිසා මට ගැළපෙන විදිහට ලස්සනට විලාසිතා කරනවා.


 හර්ෂණී වීරරත්න



Previous Post Next Post