ආදරේ ගැන අමතක කරන්න බැරි පරිච්ඡේදයක් මටත් තියෙනවා-අභිෂේක් ප්‍රමුදිත



2021 Mr. Global තරඟාවලියේ Best National Costume ටයිටල් එක ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා නාමය ලෝකය ඉදිරියේ ඔසවා තබන්නට සමත් වූ ඔහු ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වුණු ‘හදවතේ කතාව’ ටෙලි නිර්මාණය ඔස්සේ රංගනයට ද පිවිසියේය. අළුපාට දේදුණු ටෙලි නිර්මාණයේ ජීවකගේ භූමිකාවෙන් මේ දිනවල ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනා සිටින ඔහුට කඩවසම් රුවක් මෙන්ම ඉන්දීය සිනමාවට නෑකම් කියන නමක් යොදා තිබීම ද සුවිශේෂීය.


ඔහු අභිෂේක් ප්‍රමුදිතය.


අභිෂේක් කියන්නෙ නිරූපණය හරහා ලෝකය ජයගත් කෙනෙක්. ඒ ඔබේ කලාවේ පිවිසුම ද?


මගෙන් එහෙම අහන අයත් ඉන්නවා. ඒ ගැන කතා කරද්දි මතක් කරන්නම ඕන කෙනා සමීර වීරසිංහ. ඔහුගේ මඟ පෙන්වීම යටතේ, 2021 වසරේ තායිලන්තයේ දී පැවැත්වුණු Mr. Global තරඟාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් Best National Costume ටයිටල් එක ජයග්‍රහණය කළා. නමුත් මගේ කලාවට පිවිසීම සිදුවෙන්නේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වුණ ‘හදවතේ කතාව’ ටෙලිනාට්‍ය හරහා. මහේන්ද්‍ර පෙරේරා රංගන පාසැලෙන් රංගනය පිළිබඳ හැදෑරීමක් කරන අතරේ තමයි මං නිරූපණයට යොමුවුණේ. අදටත් මං ප්‍රමුඛතාව දෙන්නේ රංගනයට කිව්වොත් හරි.


නිරූපණ ශිල්පියෙක් විදිහට ඔබට ඔබේ පෙනුම නිතරම වෙනස් කරගන්න සිදුවෙනවා ඇති?


නිරූපණ ශිල්පියෙක් විදිහට අවස්ථාවන් කිහිපයකට සම්බන්ධ වුණත් පූර්ණකාලීනව මම යොමු වුණේ රංගනයත් එක්ක. කොහොමත් මම පාසල් කාලේ ඉඳලම රංගන ශිල්පියෙක් වෙන්න ආසාවෙන් හිටිය කෙනෙක්. ඒ නිසා කවදත් මම මගේ බාහිර පෙනුම ගැන හිතුවා. අදටත් නිර්මාණවලදී අධ්‍යක්ෂවරු මගෙන් බලාපොරොත්තු වෙන දේට අනුගත වෙලා ඒ වෙනුවෙන් කැප වෙන්න මම ලෑස්තියි.


එතකොට ඔබ මේ දිනවල දිගු හිසකෙස් විලාසිතාවක් පවත්වාගෙන යන්නේ?


මම මගේ රූපය එකම විදිහට තියාගන්න කැමැති කෙනෙක් නෙවෙයි. නිර්මාණවලදි වුණත් එකිනෙකට වෙනස් චරිත ලැබෙනවා නම් මම ගොඩක් කැමැතියි. කොණ්ඩය වවපු අවස්ථා කිහිපයක් තිබුණා. මේ දිනවල තරමක් දිගු කොණ්ඩයක් පවත්වාගෙන යන්නේ අලුත් චරිතයකට අවශ්‍ය පෙනුම හදාගන්න. කොණ්ඩය විතරක් නෙවෙයි තවත් පැති කිහිපයකින්ම මම ඒ චරිතය වෙනුවෙන් තරමක දිගු කාලයක් තිස්සේ සූදානම් වෙමින් ඉන්නවා.


ඒ ඔබේ කුලුඳුල් සිනමා නිර්මාණයට ද?


ඔව්. මම පොඩි කාලෙ ඉඳන්ම ආසාවෙන් හිටියේ සිනමාවට එක් වෙන්න. දැන් ඒ සිහිනය සැබැ වෙමින් තියෙනවා. මේ දවස්වල මගේ පළමු චිත්‍රපටය වෙනුවෙන් සූදානම් වෙනවා. අකාශ් තාරුකගේ Color Pencil චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙනුවෙන් මට ආරාධනාවක් ලැබෙන්නෙ මීට ටික කාලයකට කලින්. ඔහුට අවශ්‍ය වුණ චරිතය නිර්මාණය කරගන්න ඔහු එක්ක යම් කාලයක් මට අභ්‍යාසගත වෙන්න සිද්ධ වුණා. මාත් එක්ක ඒ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නෙ ශලනි තාරකා සහ මේඝ සූරියආරච්චි. එහි රූගත කිරීම් ආරම්භ වෙනකල් තමයි සූදානමින් ඉන්නෙ. ඉදිරියේ දී අපි ඒ ගැනත් කතා කරමු.


අළුපාට දේදුණු ටෙලි නිර්මාණයේ ජීවක කියන්නෙ පුංචි තිරයේ ඔබ ජනප්‍රිය කළ චරිතයක්. ඒ ගැනත් කතා කරමු?


‘අළුපාට දේදුණු’ ටෙලිනාට්‍යට මම එක් වෙන්නෙ බොහෝම මෑතකදී. ගයනි අශිංසලා අක්කා තමයි මේ වෙනුවෙන් මගෙන් විමසීමක් කළේ. නිර්මාණ තෝරාගැනීමේ දී වෙනස් වෙනස් චරිත කරන්න මගේ තියෙන කැමැත්ත නිසා මම මේ චරිතයට කැමැති වුණා. ජීවක කියන්නෙ පාරම්පරික වෛද්‍ය ක්‍රමයත් එක්ක විවිධ ප්‍රතිකාර ක්‍රම අත්හදා බලන තරුණ වෙද මහත්මයෙක්. ගැමි වටපිටාව නුපුරුදු නැතත් නුහුරු භූමිකාවක් රඟදැක්වීමේ අභියෝගය වෙනුවෙන් මම මගේ උපරිමය යොදවනවා. ජීවකට ලැබෙන ප්‍රතිචාර නිසා ගොඩක් සතුටින් ගෙවෙන කාලයක් මේක.


ඔබේ රංගන දායකත්වය ගැන කතා කළොත්?


‘හදවතේ කතාවත්’ එක්කම මං ගීත රූප රචනා කිහිපයකටම පෙනී හිටියා. ඒ වගේම ‘දිව්‍යාදරී’, ‘BIO’, ‘මන්දාරම් කතාවේ’ වැනි ටෙලිනාට්‍යවලට රංගනයෙන් දායක වුණා. ‘අළුපාට දේදුණු’ වගේම මේ දිනවල විකාශය වන ‘සැලෙනා නුවන්’ ටෙලි නාට්‍යයේත් රූගත කිරීම් කරගෙන යනවා. ඒ වගේම ‘සින්ධු’ ටෙලි නාට්‍යයත් විකාශය විමට නියමිතයි. චරිත තෝරාගැනීමේදී මට දෙයක් කරන්න තියෙන වෙනස් වෙනස් චරිත තෝරාගන්න තමයි මං උත්සාහ කරන්නේ.


අභිෂේක් කියන්නෙ‍ හැකියාවන් රැසකින් පිරිපුන් තරුණයෙක් කිව්වොත්?


රංගනයට වගේම පොඩි කාලේ ඉඳන්ම ගායනයටත් ලොකු ආසාවක් තිබුණා. ඒත් සංගීතය කියන්නෙත් පුළුල් විෂයයක්. ඒ නිසා මම ගායනය වගේම ගිටාර් වාදනය පිළිබඳවත් මේ දිනවල හැදෑරීම් සහ අභ්‍යාස කරමින් ඉන්නවා. ඉදිරියේ දී ඒකත් මට අලුත් පියවරක් තියන්න උදවු වේවි. ඒ හැරුණම ව්‍යාපාර පැත්තටත් මගේ උනන්දුවක් තියෙනවා. ඒ ගැනත් අධ්‍යයනයක් කරමින් යනවා.


අභිෂේක් වගේ කඩවසම් තරුණයෙකුට ආදර ඇරයුම්වලින් අඩුවක් නැතුව ඇති. මේ වෙද්දි ආදරවන්තයෙක් ද කියල ඇහුවොත්?


ආදරේ ගැන අමතක කරන්න බැරි පරිච්ඡේදයක් මටත් තියෙනවා. ඒත් මේ වෙද්දි මං මගේ ඉලක්ක වෙනුවෙන් වැඩි ඉඩක් දීල තියෙනවා. මේ නිදහසට මං ගොඩක් කැමැතියි. මේ මොහොතෙත් මට ආදරය කරන කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්. ඒත් මම එහෙම තැනක නැවතිලා නෑ කියන එක මට කියන්න පුළුවන්. ඒ ගැන ඉස්සරහට බලමුකෝ.


අභිෂේක්ට ආදරය කරන ගොඩක් දෙනා ඉන්නවා. ඔවුන්ට කියන්නත් යමක් ඇති?


ප්‍රේක්ෂකයෝ කියන්නෙ කලාකරුවෙක්ට තියෙන ලොකුම සම්පත. මම තවම නවකයෙක්. නිර්මාණ එක්ක ජනගත වෙමින් ඉන්න කෙනෙක්. එනිසා මේ මොහොතේ මම වුණත් ප්‍රේක්ෂකයාගේ තැන ඉඳන් ලංකාවේ නිර්මාණ, නිර්මාණකරුවන් අධ්‍යයනය කරනවා. රසවිඳිනවා. මම අනාගතය සුබවාදීව සැලසුම් කරන්නෙ එහෙමයි. රංගන ශිල්පියෙක් විදිහට මම මං ගැන තෘප්තිමත් වෙනකල් අඛණ්ඩව මහන්සි වෙනවා. ඒක තමයි මේ මොහොතේ මගේ අනාගත සැලැස්ම.


නාමලී ගමගේ



Previous Post Next Post