වේදිකාවට දශමයකවත් බොරුවක් කරන්නේ නෑ – නදීශානි පේලිආරච්චි




වේදිකාව, ටෙලිනාට්‍ය වගේම සිනමාව යන මාධ්‍ය ත්‍රිත්වයෙන්ම දස්කම් දක්වන නදීෂානි පේලිආරච්චි සමග අපි මෙවර පුංචි සංවාදයක නිරත වුණා. ඇය මේ දිනවල පුංචි තිරයේ ටෙලිනාට්‍ය කිහිපයකින්ම වගේම, රිදී තිරයේ චන්න දේශප්‍රිය අධ්‍යක්ෂණය කරන ලද ‘දූස්රා’ සිනමා නිර්මාණයෙන් ද දකින්න ලැබෙනවා.

ඔබ රංගනයෙන් දායක වුණු ‘දූස්රා’ චිත්‍රපටය තිරගත කිරීම ආරම්භ කළා නේද?


ඔව්, මට නිරූපණය කරන්න තිබුණේ කොළඹ මහත්තයාගේ බිරිඳගේ චරිතය. ඇය මධ්‍යම පාන්තික ගෘහණියක්. මේ වන විට හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා. මට ලැබුණු පොඩි කාලය ඇතුළත චරිතයට සාධාරණයක් කළා කියන දේ බොහෝ දෙනෙක් කියනවා. ඉතිං ඒ ගැන සතුටුයි.


කොළඹ මහත්තයාගේ බිරිඳව මුණගැසුණේ කොහොමද?


මම කරපු වැඩවලදී කැමරා අධ්‍යක්ෂවරයෙක් විදිහට චන්න දේශප්‍රිය අයියත් වැඩ කරලා තියෙනවා. ඉතිං ඔහු අපි කරපු වැඩ දැකලා තමයි මේ චරිතයටත් මට ආරාධනා කරන්නේ. ඒ විදිහට තමයි ‘දුස්රා’ නිර්මාණයට සම්බන්ධ වෙන්නේ.


මේ චරිතය වෙනුවෙන් මොන වගේ කැපකිරීම් ද කරන්න සිද්ධ වුණේ?


මට නිරූපණය කරන්න තිබුණෙ, දරුවෝ ඉන්න සහ තවත් දරුවෙක් ලැබෙන්න ඉන්න බිරිඳකගේ චරිතයක්. එහිදී මම චන්න අයියත් එක්ක කතාබහ කරනවා, චරිතයේ ස්වභාවය කොහොමද කියල. කොළඹ මහත්තයාගේ බිරිඳගේ හැසිරීම, පවුල ඇතුළෙ තියෙන සම්බන්ධය, කොළඹ මහත්තයා සහ බිරිඳ අතර තියෙන සම්බන්ධය ගැන අපි කතාබහ කරනවා. අපි දෙදෙනාගේ පැතිවලින් දකින කෝණ අනුව චරිතය ගැන විග්‍රහ කරලා චරිතය ගොඩනඟා ගන්නවා. හරි පහසුවෙන් මේ චරිතය නිරූපණය කරන්න පුළුවන් වුණා.


මොනවද මේ දවස්වල රංගන වැඩකටයුතු එහෙම?


පසුගිය කාලයේ රාජිත දිසානායකගේ සිහින හොරු අරන් තමයි අන්තිමටම වේදිකාගත වුණේ. දැනට අවුරුදු තුනකින් විතර වේදිකාව පැත්තෙන් අලුතෙන් වැඩක් භාර ගත්තේ නෑ.


ඇයි ඒ?


මම රජයේ සේවකයෙක්. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ උපදේශන නිලධාරිනියක් විදිහට කටයුතු කරනවා. එතැනින් මාව අනුයුක්ත කරලා රාජකාරි කටයුතු සිදු කරන්නේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ වැඩබලන නිලධාරිනියක් විදිහට මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ. මේ නිසා වැඩක් භාරගැනීමේදී කාලවේලාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා.


කොහොමද වේදිකාවේ ස්වභාවය?


මම මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක ගනුදෙනු කරන රස්සාවක් කරන්නේ. වේදිකාව කියලා කියන්නෙත් මම දශමයකවත් බොරුවක් නොකරන, අවංකවම වැඩ කරන තැනක්. එතකොට මට කාලය කළමනාකරණය කරගන්න සහ අවංකව වැඩ කරන්න බැහැ කියලා හිතපු හින්දා අවුරුදු දෙක තුනකින් වේදිකා නාට්‍යයක් කරනවා කියලා හිතුවා. අපි වේදිකාවේදී සෑහෙන මහන්සියක් දරනවා. ලොකු පුහුණුවීම් ක්‍රියාවලියක් යනවා. ඒක අපි සීරියස් කරන්න ඕනෑ වැඩක්. පිරිසක් එක්ක සජීවීව කරන ගනුදෙනුවක්. ප්‍රේක්ෂකාගාරයත් සජීවී එකක්. වගකීම් වැඩියි. ඒ වගකීම් ඒ විදිහටම ගන්න පුළුවන් වුණාම තමයි මම සාමාන්‍යයෙන් වේදිකා නාට්‍යයක් කරන්නේ.


වෘත්තීය ජීවිතයේ අත්දැකීම් මොන වගේ ද?


මට ඇත්තටම රංගන ශිල්පිනියක් සහ මනෝ උපදේශකවරියක් කියන කාරණාව දෙපැත්තටම බෙදාගන්න පුළුවන් වෘත්තීන් දෙකක්. එක වෘත්තියක් අනෙක් වෘත්තියට සහයෝගයක් දක්වනවා. රංගන ශිල්පිනියක් විදිහට අපිට චරිතයක් ලැබුණම ඒ චරිතය වෙනුවෙන් අපි සියලුම දේවල් අධ්‍යයනය කරනවා. මනෝ උපදේශන වෘත්තියේදීත් විවිධාකාර පුද්ගලයන් අපට මුණගැසෙනවා. ඒ පුද්ගලයා අපි ළඟට එන්නේ යම් ගැටලුවක් එක්ක. ඒ ගැටලුවේදී අපි ඒ පුද්ගලයාව, ඒ පුද්ගලයාගේ පැත්තෙන් දකින්න ඕනෑ. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මානසික ගැටලුවකට මුහුණදුන් අයට උපදේශනයක් තමයි මම ලබාදෙන්නේ.


මතට ඇබ්බැහිවූවන්ගේ ජීවිත ගලවාගෙන ශක්තියක් දෙන්න තමයි වැඩිපුර කාලය වැය කරන්නේ?


අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ බාහිර සේවා සහ උපදේශන නිලධාරිනියක් විදිහට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පීඩාවට පත්වෙච්ච මිනිසුන් වෙනුවෙන් තමයි මම ගොඩක් වෙලාවට මනෝ උපදේශන සේවා කාර්යය සිදු කරන්නේ. මේ වෙනකොට දරුවන් මත්ද්‍රව්‍ය සඳහා යොමුවීමේ ලොකු අවධානමක් තියෙනවානේ. ඇත්තටම මෙතන වෘත්තියකට වඩා සමාජ මෙහෙවරකුත් තියෙනවා. ඒක වෘත්තියෙන් එහාට ගිය දෙයක්. මේ කාර්යය වෘත්තියේම ඉඳගෙන කරන්න අමාරුයි. අපිට හැඟීමක් තියෙන්න ඕනෑ. මේ දෙකම අවංකවම මහන්සිවෙලා කරන්න ඕනෑ රැකියාවන් දෙකක්.


ටෙලිනාට්‍ය රංගනය ගැන කතා කළොත්?


මම රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍ය තුනක් විකාශය වෙනවා. ප්‍රියන්ත ප්‍රසාද් අධ්‍යක්ෂණය කරන ‘සැලෙනා නුවන්’ ටෙලිනාට්‍යය. ඒ ටෙලිනාට්‍යයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. චරිත් අබේසිංහ අධ්‍යක්ෂණය කරන ‘බඹරෙක් ඇවිත්’ ටෙලිනාට්‍යයත් විකාශය වෙනවා. ඒ වගේම පියල් වීරසිංහ අධ්‍යක්ෂණය කරන ‘අන්දරේ’ ටෙලිනාට්‍යයත් විකාශය වෙනවා. මට ලැබෙන චරිත සමහර වෙලාවකට එක පැත්තකට බර වැඩියි. මොකද අපි එකක් සාර්ථකව සිදු කළොත් අපිව නිර්දේශ වෙන්නේම ඒ ශානරයටම නේ. නමුත් එක පැත්තකට බරවෙන චරිතවලත් විවිධ විවිධ පරාසයන් සොයාගෙන රඟපාන්න උත්සාහ කරනවා. එක සමාන චරිතවල විවිධ පරාසයන් හොයාගෙන රඟපාන එකත් හොඳයි කියලා හිතනවා. හැබැයි ඉතිං විවිධ චරිත ලැබෙනවා නම් තමයි රංගන ශිල්පිනියක් විදිහට මම කැමැති.


මහේෂ් එදිරිසිංහ



Previous Post Next Post