විවාහයයි තනිකමයි දෙකම දරාගෙන මේ ගමන යා යුතුයි.


“අබා “ චිත්‍රපටයේ “භූමිඛික බූනා” ගේ චරිතය හරහා සිනමාවට පිවිසි දුලානි අනුරාධා, පළමු රංගනයෙන්ම
ලාංකික රසික සිත් දිනා ගත් බව පැවසීම අතිශයෝක්තියක් නොවේ. “විජය කුවේණි” හි කුවේණි ලෙසත් ඇහැලේපොළ කුමාරිහාමි ලෙසත් ඇය ඉදිරිපත් කළ සිනමා රංගන අදටත් අපට අමතක නැත. රිදී තිරයෙන් පුංචි තිරයටද පා තැබූ ඇය වෘත්තියෙන් ගුරුවරියකි.එහෙත් බොහෝ කලක සිට අප ඇයගේ රංගනයක් දුටුවේ නැත. ඒ නිසාම ඇගේ තොරතුරු සොයා බැලීමට අප ඇය සමඟ පිළිසදරක යෙදුනෙමු.



ඔබ චිත්‍රපට හරහා කලාවට පැමිණි සම්මානනීය නිළියක්. හැබැයි මේ දවස්වල ඔබ වැඩිය පේන්න නැහැ නේද?

ඇත්තටම මම ආව මුල් දවස්වල ඓතිහාසික චිත්‍රපට ගොඩක වැඩ කළා. ඒත් එක්කම තමයි මට ගුරු පත්වීම ලැබුණේ. ඉතින් කාල වේලාව කළමනාකර ගැනීමේ අපහසුවත් එක්ක ගුරු වෘත්තියට වැඩි තැනක් දෙන්න වුණා.

දුලානි දැන් රූපවාහිනී වැඩසටහනකවත් දකින්න නැහැනේ. ඇයි මේ හැමදේම එපා වෙලාද?

අනේ එහෙම එකක් නැහැ. ඉඳලා හිටලා වැඩසටහන්වලට යනවා. මේ මෑතකදිත් මම "අම්මයි දුවයි" කියන රූපවාහිනී වැඩසටහනට ගියා. ඔබ රංගනයට බොහොම දක්ෂයි.

ඉතින් කලාවෙන් මෙහෙම ඇත්වෙලා ඉන්න හිතට දුක නැද්ද?

ඇත්තටම මම කලාවට ගොඩක් ආදරේ කරන කෙනෙක්. හැබැයි ඉගැන්වීම් කරන ගමන් රූපගත කිරීම්වලට යන එක වෙහෙසකාරී දෙයක්. වෘත්තිය නිසා දුර යන්නත් ටිකක් අමාරුයි. නර්තන ගුරුවරියක් විදිහට පාසලේදීත් මම බාහිර වැඩ ගොඩක් කරනවා. දරුවෝ එක්ක වෙනම සුන්දර කාලයක් ගත කරනවා. එහෙම බැලුවම මම කරන්නෙත් කලාවටම අයිති දෙයක් තමයි.

ගුරුවරියකට රංගන ශිල්පිනියක් වෙන්න අමාරුයි කියලා සමාජයේ මතයක් තියෙනවා. ඒ කියන්නේ ඒ කතාව ඇත්ත.

ඔව් ඇත්ත. ගුරුවරියකට රඟපාන එක ටිකක් අමාරු වැඩක්. හැබැයි ගුරුවරයෙක්ට ඒක එහෙම නැති වෙන්නත් පුළුවන්. මම කලින් ඉගැන්නුවේ පානදුර සුමංගල විද්‍යාලයේ. දැන් කළුතර බාලිකා විද්‍යාලයේ ගුරුවරියක්. මේ පාසල් දෙකෙන්ම මගේ වෘත්තීය කටයුතුවලට සහයක් ලැබුණා.

ගුරුවරියක් විදිහට චරිතයක් භාර ගන්න කොට මුලින්ම මම ගුරුවරියක් නේද කියන එක ඔළුවට එනවා. යම් චරිතයක් කරලා මම දරුවෝ ඉදිරියට යන්න ඕනේ. මේ මගේ ගුරුවරිය කියලා ඒ අය මට දණගහලා වඳින කොට ඒ අයගේ හිත්වල මගේ ගැන වැරදි ප්‍රතිරූපයක් නැති වෙන්න ඕනේ. ඉතින් ඔය දේවල් එක්ක ගොඩක් තේරීම් බේරීම් කරලා තමයි චරිත
තෝරගන්න වෙන්නේ. එක්තරා විදියකට ඒක රංගන ශිල්පියෙක්ට අභියෝගයක්.

ඇතැම් අවස්ථාවල ඔබ විවිධ මඩ ප්‍රහාරවලට ගොසිප් වලට ලක්වුණු අවස්ථා අපි දැකලා තියෙනවා. ගුරුවරියක් විදිහට ඒ දේවල් සමබර කරගත්තේ කොහොමද?

රංගන ශිල්පිනිය කියන භූමිකාව නිතර කතාබහට ලක්වෙනවා. ඒක සාමාන්‍යයි. සමාජ මාධ්‍ය අසත්‍ය තොරතුරු පවා උලුප්පලා පෙන්නනවා. ඒවා හරිද වැරදිද කියලා දන්නේ අපි විතරයි. මටත් එහෙම වුණු තැන් තිබුණා. ගුරු භූමිකාව කියන්නේ ගෞරවාන්විත රැකියාවක්. ඒ නිසා මට ඒක අභියෝගයක් වුණා. හැබැයි මතක් කරන්න ඕනේ සුමංගල බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය වගේම කාර්ය මණ්ඩලය ඒ වගේ තැන්වලදී මාත් එක්කම හිටියා.

මෙතෙක් ඔබ රඟපාපු චරිත ගැන ආපස්සට හැරිලා බැලුවහම ඒ ගැන දුලානි තෘප්තිමත්ද?

ඔව්. ඒ ගැන ගොඩක් තෘප්තිමත්. මම එදා කරපු චරිත මතක් කරලා මට අදටත් සතුටු වෙන්න පුළුවන්. කෙනෙක්ට කරන්න ලැබෙන්නෙ නැති ලංකා ඉතිහාසයේ ලස්සන, මතක හිටින චරිත මට ලැබුණා. විශේෂයෙන් ''අබා" චිත්‍රපටයේ "ගුම්බක බූතාගේ” චරිතය මගේ ජිවිතයේ හැරවුම් ලක්ෂයයි. මගේ රංගන ජීවිතයේ ගුරුපියා ජැක්සන් ඇන්තනී මහතායි. එතුමගෙ අභාවය ඇත්තටම මට ලොකු කම්පනයක්. ඒ වගේම මම වැඩ කරපු අනිත් හැම චිත්‍රපටයකම නිෂ්පාදකවරු, අධ්‍යක්ෂවරු මාත් එක්ක වැඩ කරපු සහෝදර රංගන ශිල්පීන් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ.



කලාව සහ වෘත්තිය සමබර කරගෙන ජීවිතය ගෙනියන්න ගෙදරින් ලැඛෙන සහාය කොහොමද?

අම්මගෙනුයි තාත්තගෙනුයි ලැබෙන සහාය වචනයෙන් කියන්න බැහැ. අදටත් මගේ කෑම ටික හදල දෙන්නේ අම්මා අසනීපයක් හැදුනොත් තෙල් ටිකක් ගාලා ඔළුව අතගාන්නෙ අම්මා. මම ගොඩක් වාසනාවන්තයි ඒ වගේ ආදරයක් ලබන්න.

කාන්තාවක් වුණහම විවාහ වෙන්නම නේ කියලා ඔබ
හිතනවද?

කාන්තාවක් නිරන්තරයෙන්ම ආදරය සෙනෙහස රැකවරණය ලබන්න කැමැතියි. හැබැයි ගොඩක් වෙලාවට විවාහය ඇතුළේ කාන්තාවන්ගේ නිදහස කියන එක නැති වෙනවා. සමාජශීලි නොවන කෙනෙක්ට ඒක ගැටලුවක් නොවෙන්න පුළුවන්. හැබැයි සමාජශීලී කෙනෙක්ට ඒක ගැටලුවක් වෙනවා. ඉතින් ඒ නිසා විවාහ වෙනවද නැද්ද කියන එක ඒ දේවල් මත තීරණය වෙන්න පුළුවන්. විවාහය කියන එකත් දරාගෙන යන්න ඕන ගමනක්. තනිකම කියන එකත් දරාගෙන යන්න ඕන ගමනක්. එනිසා විවාහ විය යුතුද නැද්ද කියලා අපිට කාටවත් කියන්න බැහැ.

හැබැයි ගැහැනියකට මේ සමාජයේ තනියම ඉන්න අමාරුයි නේද?

ඔව් ඒක ඇත්ත. තනි ගැහැනියෙකුට ප්‍රශ්න ඇති වෙන්න තියෙන අවදානම වැඩියි. අනික කාන්තාව ආදරයට කරුණාවට කැමති නිසා රැවටෙන්න තියෙන ඉඩත් වැඩියි. ඒ නිසා එහෙම අයට මට කියන්න තියෙන්නේ නිරන්තර සිහියෙන් වැඩ කරන්න, නිතරම තමන්ව විශ්වාස කරන්න කියන එකයි.

ඉතින් අනාගතයේදී අපිට ආයෙත් දුලානිගෙ රඟපෑම් දකින්න ලැබෙයි කියලා බලාපොරොත්තු තියාගන්න පුළුවන්ද

ඔව්. මම කරපු චිත්‍රපට දෙකක් තිරගත වෙන්න තියෙනවා. ඒ වගේම ළඟදී නාට්‍යයකුත් කළා. ඉදිරියේදී රංගනයටත් වැඩිපුර අවධානය දෙන්න හිතාගෙන ඉන්නවා. දැන් මම ගුරු වෘත්තියෙන් කෙටි නිවාඩුවක් අරගෙනයි ඉන්නේ. මේ ටික කාලෙදී මගේ හිතට ලැබෙන චරිතයක් ලැබුණොත් ඒක කරනවා.

සෙව්වන්දි හෙට්ටිආරච්චි

Previous Post Next Post