ඉදිරිය එහෙම ලොකුවට ප්ලෑන් කරන්නේ නෑ -උමාලි තිලකරත්න



ශ්‍රී ලාංකීය කලා ක්ෂේත්‍රයේ සිටින ප්‍රතිභාපූර්ණ, තරුණ, සුන්දර මෙන්ම ගායනය, රංගනය, නර්තනය ආදී වූ විවිධ කුසලතාවන්ට විශේෂ හැකියාවන් උරුමකම් කියන ඔබ සැම එකසේ ආදරය කරන ආදරණීය රංගන ශිල්පිනී උමාලි තිලකරත්න රංගනයෙන් දායක වන “සිහින නෙළුම් මල්” සිනමාපටය මේ දිනවල තිරගත වන නිසා ම අපි හිතුවා රිදී තිරයේත්, පුංචි තිරයේත්, වේදිකාවේත් මේ දිනවල උමාලිගේ රංගන දායකත්වයන් ගැන අසා දැනගන්නට.


උමාලි මේ දවස්වල අලුත් වැඩකටයුතු මොනව ද?


එහෙම විශේෂයක් නැහැ. සාමාන්‍යයෙන් මම ඇක්ට් කරන වැඩ ටික කරගෙන ඉන්නවා. ඩාන්සින් ෂෝ එක බොහෝ දුරට ආයෙම කරන්න සූදානමක් තියෙනවා. ඊට අමතරව වේදිකා නාට්‍යවලත් රංගන කටයුතු සිදු කරගෙන, විදේශ ගමන් කිහිපයකටත් සූදානම් වන ගමන් ඉන්නවා. ඒත් එක්කම මම රංගනයෙන් දායක වුණ “සිහින නෙළුම් මල්” සිනමාපටයත් මේ දිනවල තිරගත වෙනවා.


“සිහින නෙළුම් මල්” සිනමාපටයේ ඔබ පණ පොවන්නේ “කුමාරි” කියන චරිතය.


අපි මුලින්ම ඒ ගැන කතා කරමු?


ඔව්. “කුමාරි” කියන චරිතය ලිව්වේ ශමීර නාඔටුන්න. ශමීර නාඔටුන්නම තමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළෙත්. ඔහු ම අධ්‍යක්ෂණය කළ නිසා ඇත්තටම හරිම පහසුවෙන් රංගනයේ යෙදෙන්න මට පුළුවන් වුණා.“කුමාරි” කියන මේ චරිතය තරුණ, ගැබිනි කාන්තාවකගේ චරිතයක්. ඒ කතාවට අදාළව ඒ බාහිර ස්වරූපයට අවශ්‍ය හැඟීම්, සිතුවිලි නිර්මාණය කරගෙන මම රංගනයෙන් දායක වුණා. ඊට අමතරව මේ චිත්‍රපටයේ එන “කිරි කැටියෝ” කියන ගීතයේ ඒ භාවාත්මක භාවයන් තුළිනුත් මට “කුමාරි” කියන චරිතය හරි තදින්ම දැනුණා.


මේ චරිතය සඳහා ඔබට ඇරයුම් ලැබුණේ කොහොමද?


අධ්‍යක්ෂ ශමීර ම තමයි මට කතා කළේ. මම මුලදී එක සැරේ කැමැති වුණෙත් නැහැ. ඒකට විවිධ හේතු තිබුණා. හැබැයි ඉතිං ශමීර හරිම උනන්දුයි. උමාලි අපි මේක කරමු කිය කියා,මාව අත්හැරියේම නැහැ. මම අහපු හැම ප්‍රශ්නයකටම ශමීරට උත්තරත් තිබුණා. ඒ ගුණාංගය ඔහුගේ ඉදිරි වැඩකටයුතු සාර්ථකව කරගන්න උපකාරී වෙයි කියලත් මම හිතනවා. ඒ තියෙන ඔහුගේ උනන්දුව නිසාම තමයි මමත් “කුමාරිගේ” චරිතය කරන්න භාර ගත්තේ.


මේ කතා තේමාවත් හරිම සංවේදී කතා තේමාවක් නේද?


ඔව්, ඇත්තටම මේ කතාවේ හරිම සංවේදී තේමාවක් තමයි තියෙන්නේ. ඒක නරඹන ප්‍රේක්ෂකයන්ටත් දැනේවි. ඒකට ඉතිං මිනිස්සු ඉබේම පොඩි නැඹුරුවකුත් දක්වනවා. ඒ නිසා අපේ හැමෝමත් හරි පරිස්සමෙන්, ආදරෙන් නිර්මාණයට දායක වුණා කියලා මම හිතනවා. මටත් රූගත කිරීම් අවසන් වුණාට පස්සෙත් ලොකු පාළුවක් දැනුණා. “කුමාරි”ගේ චරිතය ගොඩක් මට මිස් වුණා කියලා මට හිතෙනවා. මොකද ආයෙම මට “කුමාරි” වෙන්න බෑනේ. ඒ පාළුව හරි තදින් මගේ හිතට දැනුණා.


“කුමාරි”ගේ චරිතය සාර්ථකව කරගන්නට සහාය වූ පිරිසවත් අපි මතක් කරමු ?


ඇත්තටම අධ්‍යක්ෂ සහ තිර රචක ශමීර නාඔටුන්න තමයි මට මේ චරිතය සාර්ථක කරගන්න පුළුවන් විදිහට සහාය වුණේ. ඒත් එක්ක අංග රචනයෙන් දායක වුණ බුවනෙක රණවක සහ කලා නිර්මාණයෙන් දායක වන මල්ලිගෙත් උපරිම උනන්දුවක් සහ කැපකිරීම් මත තමයි නිර්මාණය සිදුවුණේ. ඊට අමතරව කැමරා ශිල්පී විශ්වජිත් අයියවත් මතක් කරන්නම ඕනෑ. ඔහු රංගන ශිල්පියකුගේ රංගනයට සහයෝගයක් දක්වන්න පුළුවන් විධියේ දැනුමක් තියෙන කැමරා අධ්‍යක්ෂවරයෙක්. එහෙම අයත් හරි අඩුයි. ඇක්ටර් කෙනෙකුගේ භාවාත්මක භාවයන් ඉදිරිපත් කරන්න, ඒගොල්ලන්ට ඒකට සූදානම් වෙන්න සහයෝගයක් දක්වමින් වැඩ කරන්න පුළුවන් අධ්‍යක්ෂකවරු සහ කැමරා අධ්‍යක්ෂකවරු අපට මුණගැහෙන්නේ හරිම අඩුවෙන්. මේ නිර්මාණය සාර්ථක කරගන්න සහ නිර්මාණය තුළින් මිනිසුන්ගේ හදවතට දැනෙන්න කතා කරන්න පුළුවන් වුණා නම් ඒ ශමීරත්, විශ්ව අයියත් එකතුවෙලා මේ නිර්මාණය හසුරවපු විධියේ හොඳකම කියලා මට හිතෙනවා.


මේ චරිතය වෙනුවෙන් මොනවගේ කැපකිරීමක් ද කළේ?


ඇත්තටම එහෙම “කැපකිරීම්” කළා කියලා කියන්නත් මම අකමැතියි. මොකද රංගන ශිල්පියෙක්, ශිල්පිනියක් අනිවාර්යයෙන්ම වෘත්තීය මට්ටමෙන් කළ යුතු කාර්යභාරයක් තියෙනවා. රංගන ශිල්පීන්ට විවිධ චරිතයන්ට අවශ්‍ය විධියට වෙනස්කම් සිදු කරන්න තියෙනවා නම් ඒ දේට අපිට අනිවාර්යයෙන්ම හැඩගැහෙන්න පුළුවන්කමක් තියෙන්නම ඕනේ. ඒ විදිහට මමත් ශරීරය වෙනස් කළා, තනිවම අභ්‍යාස එහෙමත් සිදු කළා. ඉතින් මම මෙතැනදී කියන්නම ඕනේ, මේ නිර්මාණය මම ලොකු පීඩනයක් නැතුව කරගෙන ගියපු නිර්මාණයක් කියලා.


“සිහින නෙළුම් මල්” සිනමාපටය නරඹපු ආදරණීය ප්‍රේක්ෂකයන්ගෙන් මොන වගේ ප්‍රතිචාරද ලැබෙන්නේ?


දැනට බලන්න ලැබුණු යම්කිසි ප්‍රේක්ෂක කොටසක් ඉන්නවා. ඒ අයගෙන් ලැබෙන ප්‍රතිචාරවලට අනුව නම්, අපි එකතුවෙලා යම්කිසි දෙයක් කරලා තියෙනවා කියලා අදහසක් තමයි තියෙන්නෙ. තවත් කෙනකු තුළ හැඟීමක් ජනිත කරන්න පුළුවන් ප්‍රතිචාර තමයි ලැබෙන්නේ. කුමාරි ඔයා කොහොමද එහෙම කළේ? කියලත් සමහරු අහනවා. රංගන ශිල්පියෙක්, ශිල්පිනියක් විධියට අපි විවිධාකාර චරිතයන්ට සූදානම් වෙන්න වෙනවා. ඉතින් මට පුළුවන් හැම ආකාරයෙන්ම සූදානම් වෙලා හැම මඟපෙන්වීමක්ම අරගෙන මට පුළුවන් උපරිමයෙන් මමත් රංගනයෙන් දායක වුණා. ඒ ප්‍රතිඵලයන් විධියට මේ වෙද්දී සුබ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.


මේ දිනවල රංගනයෙන් දායකත්වය ලබාදෙන අනෙකුත් නිර්මාණ මොනව ද?


මේ මාසේ නම් මම බොහෝ දුරට විවේකයෙන් ඉන්නේ. තවත් සාකච්ඡා මට්ටමේ තියෙන නිර්මාණ කිහිපයකුත් තියෙනවා. ටෙලිනාට්‍ය නම් කරන්න භාරගෙන නැහැ. මොකද ඒ කර්මාන්තය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයන් ඉස්මතු වන නිසා. මම මගේම ඇතුළාන්තයට අභියෝගයක් වන භාවයන් ඉවසන්න පුළුවන් නිර්මාණ කරන්න තමයි ගොඩක්ම කැමැති. එහෙම මම දායක වෙන්න කැමැති නිර්මාණ රූපවාහිනියට ගැළපෙන්නෙ නැති ඒවාද කියලා මම දන්නේ නැහැ. ඒ නිසා මම ටෙලිනාට්‍ය භාර ගන්න එකෙන් ගොඩක් දුරට ඈත්වෙලා ඉන්නේ. නමුත් වේදිකා නාට්‍යවල නම් රංගනයෙන් දායකත්වය ලබාදෙනවා.


ඉදිරි විශේෂ වැඩකටයුතු මොනව ද?


ඇත්තටම මම එහෙම ලොකුවට ඉදිරි වැඩකටයුතු ප්ලෑන් කර කර ඉන්න කෙනෙක් නෙවෙයි. හැබැයි ලබන මාසේ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල මහත්මයාගේ කුළුඳුල් සිනමා නිර්මාණයට රංගනයෙන් දායක වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඊට අමතරව රාජිත දිසානායක මහත්මයාගේ “නැතුව බැරි මිනිහෙක්” කියන නාට්‍ය කණ්ඩායමත් එක්ක විදෙස් සංචාරයකුත් තියෙනවා. ඒවා තමයි ඉතින් මගේ දැනට තියෙන ඉදිරි විශේෂ වැඩ කටයුතු.





Previous Post Next Post