තනි ඇහැකින් අමිල එක්ක එළිවෙනකම් ගහගත්තා – කෝරළගේ සමන්




පසුගිය කාලයේ පුංචි තිරය හරහා විවිධ චරිත ඔස්සේ ඔබ හමුවට ආ කෝරළගේ සමන් මේ දිනවල ඔබ හමුවට රිදී තිරය හරහා ද පැමිණ ඇත. ඒ ප්‍රසාද් කළුපහන අධ්‍යක්ෂණය කරන ලද ‘කම්බිලි’ සිනමා නිර්මාණය හරහායි. ඔය අතරේ සමන්ව පුංචි තිරය හරහා ද දකින්න ලැබෙනවා. ඒ නිසාම අපි සමන් වෙනුවෙන් මේ ඉඩකඩ වෙන් කළා.



කම්බිලි ටයිටස්ට ලැබෙන්නේ මොනවගේ ප්‍රතිචාර ද?


ඇත්තටම ලැබෙන ප්‍රතිචාර ඉහළයි. ටයිටස් කියන්නේ කම්බිලි නිර්මාණයේ පොඩි සංධිස්ථානයක් තිබෙන චරිතයක්. ප්‍රසාද් කළුපහනගේ කුළුඳුල් අධ්‍යක්ෂණය. මම හරි ආසාවෙන් කරපු චිත්‍රපටයක්.


ටයිටස් කියන්නේ හරි දරුණු චරිතයක්?


ඔව් ටිකක් දරුණු චරිතයක්. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් විදිහට වැඩකරන චරිතයක්. නමුත් මේ චරිතය මුල සිට ම නොපෙනී සිටින චරිතයක්. මම හරි සතුටින් රඟපෑ චරිතයක්.


රිදී තිරයේ ටයිටස්ව දැක්කාම මොකද හිතුණේ?


අපේ හැමෝගේම සිහිනය චිත්‍රපටවල වැඩකරන එකනේ. ඉතින් මමත් ඒ සිහිනයට කැමැතියි. නමුත් අපි කිසිම වෙලාවකවත් මේක මෙච්චරක් කළා කියලා තෘප්තිමත් වෙලා ඉන්න කැමැති නැහැ. කොච්චර දේවල් කළත් මදි. අනික ඒ මදි කියන දේ මගේ හිත ඇතුළේ හැමදාම තියෙනවා. ටයිටස්ට මම සාධාරණයක් කළා කියලා හිතනවා.


මෙය ඔබේ කීවැනි සිනමා නිර්මාණය ද?


සිනමා නිර්මාණ නවයක් දහයක් විතර කරලා තියෙනවා. ඉදිරියේදී තිරගත වීමට නියමිත රැසක් තියෙනවා. නමුත් මේ තිරගත වුණේ මම රඟපෑ දෙවැනි හෝ තුන්වැනි සිනමා නිර්මාණය.


ටයිටස් වෙනුවෙන් මොනවගේ කැපකිරීම් ද සිදුකළේ?


ලොකුම කැපකිරීම තමයි ඇහැට කාචයක් සම්බන්ධ කරලා තිබිම. හොඳම වැඩේ කියන්නේ රාත්‍රියේ සටන් ජවනිකාවක් රූගත කරන්න තිබුණා. මොකද ඒ දර්ශනය රූගත කරනවා කියන්නේ ලේසි නැහැ. එක ඇහැක් පෙන්නේ නැහැ. ඒක හරි සංකීර්ණ ක්‍රියාවලියක්. නොපෙනෙන කාචයක් දමාගෙන සටන් ජවනිකාවක් කරනවා කියන්නේ මාර අවදානමක්. හරි වෙහෙසකාරී වැඩක්.


සටන් ජවනිකාව කා සමග ද සිදුකළේ?


රාත්‍රියේ තිබුණු සටන් ජවනිකාව එළිවෙනකම් රූගත කළා. තනි ඇහැකින් ෆයිට් කරනවා කියන්නේ ලේසි නැහැ. අමිල එක්ක තනි ඇහැකින් එළිවෙනකම් ගහගත්තා. වසන්ත කුමාරවිල තමයි මෙහි සටන් ජවනිකාව අධ්‍යක්ෂණය කළේ. ඉතාම හොඳ සහයෝගයක් ලබා දුන්නා.


මොනවද මේ දිනවල රඟපෑම් වැඩකටයුතු?


ස්වර්ණවාහිනියේ රීකන්ඩිෂන් කෙල්ල කියලා ටෙලිනාට්‍යයක් විකාශය වෙනවා. අනුර ඒකනායකගේ පළමු අධ්‍යක්ෂණය.


මේ දවස්වල තිස්සමහාරාමය පැත්තේ ත්‍රීවීලර් එළවනවා කියලත් ආරංචියි?


ඔව් ඒක තමයි අර මම මුලින් කිව්ව රීකන්ඩිෂන් කෙල්ලගේ කතන්දරය. ඔය අතරේ ස්වර්ණවාහිනියේම සී යූ ටෙලිනාට්‍යය විකාශය වෙනවා ඒකටත් හොඳ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.


වේදිකාවේ වැඩකටයුතු එහෙම කොහොම ද?


‘මම නෙවෙයි වෙන කෙනෙක්’ වේදිකා නාට්‍යය එක්ක තමයි වැඩිපුර ගැවසෙන්නේ. අපි ලබන සතියේ ඔස්ටේ්‍රලියාවේ මෙල්බර්න්, සිඩ්නි, බි්‍රස්බේන් කියන නගර හතරේ දර්ශනවාර හතරක් පවත්වනවා. ඊට පසුව සිනමා නිර්මාණ කිහිපයකුත් තියෙනවා සම්බන්ධ වෙන්න.


දැන් ගුරු වෘත්තියෙන් ඈත් වෙලා ද?


ඒකත් කරගෙන යනවා. නවත්වලා නෑ. කාර්යබහුලයි. නමුත් වැඩ කරන්න පුළුවන් කාලයේ පුළුවන් තරම් වැඩ කරන්න ඕනෑ. මම ඒකට හරි ආසයි.


මේ දවස්වල හරි බිසි එහෙම ද?


අනේ ඔව්. ඇත්තටම හරි සතුටුයි මම මේ ආපු ගමන ගැන. නමුත් රටක් විදිහට තව හොඳට මේක තිබුණානම් තවත් සතුටුයි.


ඔබේ අධ්‍යක්ෂණ කාර්යය විකාශය වෙන්නේ කවදා ද?


ඒ නිර්මාණයත් නාලිකා කිහිපයකට ලබාදීලා තියෙනවා. මම හිතන්නේ ඉදිරි මාස දෙක තුන ඇතුළත විකාශනය වේවි කියලා. දැනට හරියට ම මේ නාලිකාව කියලා කියන්න බැහැ. සාකච්ඡා මට්ටමේ තියෙනවා. මේ සතිය දෙක ඇතුළත උත්තරයක් ලැබේවි. කොටස් තිහක හතළිහක නිර්මාණයක් ඉක්මනින්ම ප්‍රේක්ෂකයාට තිළිණ කරනවා. නිලන්ත කොටිකාවත්ත තමයි ඒක නිෂ්පාදනය සිදුකළේ.


ලැබෙන ජනප්‍රියත්වය ගැන මොකද හිතන්නේ?


මිනිස්සුත් එක්ක හැමදාම හොඳින් සතුටින් ජීවත්වෙන්න තමයි ආස. මිනිස්සු බොහොමයක් ආදරය කරනවා. ඒකට මම හරි ආසයි. මේ ආපු ගමන ගැනත් සතුටුයි. හරි සාමකාමීව නිහතමානීව මේ ජීවිතය ගතකරනවා.


කම්බිලි ගැන ක්ෂේත්‍රයේ අය මොනව ද කිව්වේ?


‘කම්බිලි’ වාණිජ ධාරාවේ සිනමා නිර්මාණයක්. මේ වෙනකොට එම සිනමා නිර්මාණයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. බිමල් ජයකොඩි, සුජානි මේනකා, ධර්මප්‍රිය ඩයස් රංගනයෙන් දායක වෙනවා. සමිත සුගීශ්වරන් එකතු වෙනවා. අමිල සහ නෙත්මි තමයි ප්‍රධාන චරිත රඟපාන්නේ. ඒක වෙනස් විධියේ වැඩක්.


සමන්ට ලැබෙන්නේ ටිකක් වෙනස්ම චරිත නේද?


එකවගේ චරිත කරන්න මම ආස නැහැ. වෙනස් වෙනස් චරිත රඟපාමින් ඉදිරියට යන්න තමයි මම ආස. මම ඒ වගේ නළුවෙක්. කිසිම වෙලාවක එක රාමුවකට කොටු වෙන්න සූදානම් නැහැ.


නළුවෙක් විදිහට මුහුණ දුන් අභියෝග ගැන මොකද හිතෙන්නේ?


අභියෝග නම් එමටයි. නමුත් ඒ අභියෝග පරදවා ගන්න එපායැ. අපි ඉපදුණු තැන ඉඳලා මැරෙනකම්ම අභියෝගයක් තමයි. මනුස්සයෙක් විදිහට අපි පුරුදුවෙන්න ඕනෑ, ඒ අභියෝග මඟහැරලා වැඩ කරගන්න. අභියෝග ඇතුළේ වැඩ කරන්න පුරුදුවීම තමයි මනුස්සයකුට අවශ්‍ය වැදගත්ම කාරණාව.


දිනේෂ් විතාන



Previous Post Next Post