මට ජීවිතේ හොඳම පාඩම කියල දුන්නේ දෙවැනි ආදරය -සෙව්වන්දි හතරසිංහ



පුංචි අන්දරේ ටෙලි නිර්මාණයේ දෙවැනි අදියර ලෙස පුංචි තිරයේ දිගහැරෙන “අන්දරේ ”ටෙලි නිර්මාණයේ මුතුලතා ලෙස ඔබ හමුවට එන ඇය ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශය වන ආයාචනා ටෙලි නිර්මාණයේ ලෝයර් එලීනාගේ ඇසිස්ටන්ට් ලෝයර් අනුරුද්ධිකාය. 2023 ලක් එෆ්. එම් අවුරුදු කුමරිය තෙවැනි ස්ථානය දිනා ගනිමින් කලාවට පිවිසි ඇය සෙව්වන්දි හතරසිංහය. සිහිනය සිහිනයක්ම වීමට ඉඩ නොදී එය දෑස මානයේ ඉටු කර ගත් අපූරුව ගැන ඇය අප හා පැවැසුවාය.


“මගේ උපන්ගම මාතලේ. රංගනයට ලොකු ආසාවක් තිබුණත් කවදාවත් ටිවී එකේ දකින්න ලැබේවි කියල නම් හිතුවෙ නෑ. 2023 ලක් එෆ්. එම් අවුරුදු කුමරිය තරගයේ ජයග්‍රහණයත් එක්ක මට ජනප්‍රිය රූපවාහිනී නාළිකාවක නිවේදනය සඳහා අවස්ථාවක් ලැබුණා. ඒ හරහා නිවේදනය පිළිබඳ හැදෑරීමක් කරන්න හැකියාව ලැබුණා කිව්වත් හරි. ඒ අතරතුර රංගනයට සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබුණා. ඒක පුංචි කාලෙ ඉඳන්ම මගේ හිතේ තිබුණු ලොකුම ආසාවක්. ඒ වගේම ලොකුම හීනයක්. අද ඒ හීනෙ මගේ ඇස් ඉස්සරහම හැබෑ වෙලා තියෙනව දැක්කම හරිම සතුටුයි.“


“ආයාචනා” ටෙලි නිර්මාණයේ එලීනාගේ ඇසිස්ටන් අනුරුද්ධිකා ඇගේ රංගන දිවියේ අග්‍රඵලයක් බව ද ඇය අප හා පැවැසුවාය.


“මට ආයාචනා ටෙලි නිර්මාණයට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ කොටස් කිහිපයක් විකාශය වුණාටත් පස්සේ. ආරම්භයේදීම සෝෂල් මීඩියා හරහා ආයාචනා එපිසෝඩ් ප්‍රචාරය වෙද්දි මං හරිම ආසාවෙන් බැලුවා. ඒ අතරේ තමයි මට ආයාචනා ඔඩිෂන් එකකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ. ඒකෙන් සිලෙක්ට් වුණා කියලා මට දැන්නුවෙත් අධ්‍යක්ෂ පසිඳු නූපේආරච්චි. එලීනාගේ ඇසිස්ටන් ලෝයර් විදිහට අත්දැකීම් ලබද්දි මට පෞද්ගලිකව ලොකු සතුටක් දැනුණා. ලෝයර් කෙනෙක්ගේ නිල ඇඳුම ඇන්දම දැනෙන හැඟීම, හැසිරෙන විදිහ, කතාකරන විදිහ මට අලුත්ම අත්දැකීමක් වුණා. ඒ වගේ පරිණත චරිතයක් ලැබුණු ප්‍රථම අවස්ථාව. අනිත් එක තමයි මිෂෙල් දිල්හාරා අක්කා එක්ක එකට රඟපාන්න ලැබීමත් මට ලොකු සතුටක්.“


නීතිඥවරියක වීමට පෙර ඒ ගැන සියුම් අධ්‍යයනයක යෙදුණු අයුරු ඇය පැහැදිලි කළේ මෙලෙසිනි.


“ලෝයර් කෙනෙකුගේ චරිතයක් කියන්නේ සාමාන්‍ය චරිතයකට වඩා වෙනස්. එයාල හැසිරෙන, කතා කරන, ඇවිදින විදිහෙ වෙනසක් තියෙනවා. මං එලීනාගේ මුල් කොටස් හොඳින් අධ්‍යයනය කළා. ඒ වගේම යූටියුබ් හරහා ඒ ගැන සෙව්වා. පොත් පත් කියෙව්වා. ඒ හරහා යම් දැනුමක් ලබාගත්තා. මිෂෙල් අක්කා, සංජය අයියා ඇතුළු ප්‍රවීණයන්ගෙන් ලොකු සහායක් ලැබුණා. ඒ වගේමයි අධ්‍යක්ෂවරයාගෙන් ලැබුණු සහාය. ඔහු හරිම මිත්‍රශීලී අධ්‍යක්ෂවරයෙක්.“


ලැබෙන සෑම ප්‍රතිචාරයක්ම සිය ගමනට ශක්තියක් බව පැවසූ ඇය අන්දරේලාට පුංචි ළමුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර අගයන්නටත් අමතක කළේ නැහැ.


“අනුරුද්ධිකාගේ චරිතය ඔයා හොඳින් කරනවා කියලා බොහෝ දෙනා ප්‍රතිචාර දක්වනවා. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් අපි වගේ ආධුනිකයන්ගේ අඩුපාඩු පෙන්වා දෙමින් ඉදිරියට යන්න උදවු කරන එක ගැන ගොඩක් සතුටුයි. අන්දරේලාට ගොඩක්ම ප්‍රතිචාර ලැබෙන්නේ පුංචි ළමයින්ගෙන්. අන්දරේ කළේ රන්මිනිතැන්නේ. හරිම කාෂ්ඨක පරිසරයක් ඕන වුණා ඒ කාලෙ අන්දරේ හිටිය පරිසරය ගොඩනඟන්න. ඔහු ඉඳල තියෙන්නේ මැටි ගෙවල්වල. ඒත් මගේ මුල්ම සීන් එක කරන්න ගිය දවසේ හොඳටම වැස්ස. ඇඳුම් ඇඳගෙන, මේකප් දාගෙන දවස තිස්සේම බලාගෙන හිටියා මිසක් එදා එකම එක සීන් එකක්වත් කරන්න ලැබුණේ නෑ. ඒ අත්දැකීම් කොතරම් කටුක වුණත් ලැබෙන ප්‍රතිචාරත් එක්ක බැලුවම හරිම සතුටුයි“


සෙව්වන්දිගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය ඇගේ දෙවැනි පෙම්වතා වීමත් විශේෂත්වයකි.


“ආදරය තමයි මගේ ජීවිතේ මේ තරම් පෙරළියක් කළ අත්දැකීම වුණේ. ඇත්තම කිව්වොත් මගේ දෙවැනි ආදරය තමයි මට ජීවිතේ හොඳම පාඩම කියල දුන්නේ. එයා දුන්නු පොරොන්දු කඩ කරද්දී ඇති වුණු කඩාවැටීම තමයි මට මං ගැන හිතන්න මාව හොයන්න උනන්දුව ඇති කළේ. දැනට නම් ආදරයක් ගැන හිතන්නෑ. ජීවිතේ තැනකට ඇවිත්ම ඒ ගැන හිතනවා. ආදරය ගැන මට කියන්න තියෙන්නේ අපිට ආදරේ කළ අයට අපි ආදරේ කළේ නෑ. අපි ආදරේ කළ අය අපිට ආදරේ කළේ නෑ කියල තමයි.


නාමලී ගමගේ




Previous Post Next Post